238. දුර්‍වච නමකගේ වස්තුව

star_outline

තව ද ධර්‍ම ගෞරව ය නැති වීමෙහි නපුර දක්වන්ට දුර්‍වච නමක ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් -

එක් භික්ෂු කෙනකුන් වහන්සේ නො දැන එක තණ ගසක් කඩා පියා පසු ව සැක ව ගොසින් එක් නමක් කරා එළඹ ‘ඇවැත් නි, කෙනෙක් තණ පතක් කඩා පූ නම් උන්ට කුමක් වේ දැ යි’ විචාළ සේක. අනික් නම ත් තණ පතක් කැඩී ගිය යි කියා ලෝක වැද්දයක් නො වන බැවින් ‘කුමක් ද? දෙසා ගන්නා වරද නැතැ යි’ කියා ස්වල්ප මාත්‍ර වැද්දෙ ත්[1] භයක් නොවන ලෙසට විචාළ නම ත් යොදා ලා තමන් වහන්සේ ත් දෑතින් තණ දෙ මිටක් කඩා ගත් සේක. වහන්දෑ එ පවත බුදුන්ට දැන් වූ සේක.

බුදුහු ද ඒ නමට බැණ දොඩා බණ වදාරන සේක් ‘යම් සේ කර තණ ආදි ය අල්වන සේ නො දැන ඇල් වූ කල අල්වා ගත් අතම කපා ද එ පරිද්දෙන් කරන ලෙස තබා ලා නො කරන ලෙස කළා වූ මහණ ධමුත් අපායෙහි උපදවා දුක් එළවන පමණක් මුත් වැඩක් සාදා ලිය නොහෙයි. කරමෝ දෝ නොකරමෝ දෝ හෝ යි සිතා පසු බැස කළ මහණ ධමු ත් නො එක් ලෙසින් කිලුටු ලෙසට පවත්නා පැවතීමු ත් සංඝසන්නිපාතයට එළඹෙන කල නිරාශඞ්ක ව එළඹ පියන්ට නැති වීම ත් යහපත් නොවෙ යි. එහෙයින් කරන දෙයක් කළමනා ලෙසක කරත් මුත් නො කළ මනා ලෙස කිරීමෙන් ප්‍රයෝජන නැතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ. නොකීකරු නම ත් නො කීකරු කම් හැර විවසුන් වඩා රහත් වූ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් දුර්වත්‍ව ය සග මොක් දෙකට ම බාධා හෙයින් ඒ හැර සුවචත්‍ව ය කරත්. මාළුවකට ලුණු දිවීම හිතයා සේ කවර ත් කුශලයට අනුකූල බැවින් එහි පිහිටා ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කටයුතු.

  1. වැරැද්දෙක්