තව ද ඒ සාමාවතීන්ගේ ස්වාමි පුත්‍ර වූ උදේනි රජ්ජුරුවන් ගේ වාසුලදත්තා නම් අනික් බිසෝ කෙණෙකුදු ඇත. ඒ බිසවු නම් උදේනියෙහි චණ්ඩපජ්ජොත රජ්ජුරුවන්ගේ දියණියෝ ය. ඔවුන් රජ්ජුරුවන්ට අග මෙහෙසුන් වූ පරිදි කි සේ ද යත්- උදේනියෙහි චණ්ඩපජ්ජොත රජ්ජුරුවෝ එක් දවසෙක උයන් කෙළ නුවරට එන්නාහු තමන් ගේ මහත් වූ සම්පත් බලා මනුෂ්‍ය ලෝකයෙහි අන් කිසිවක් හට මෙ බඳු සම්පතෙක් ඇද්දැ යි විචාරා ‘මේ කවර සම්පතෙක්ද? කොසඹෑ නුවර උදේනී රජ්ජුරුවන්ගේ සම්පත් මීට වඩා ශත සහස්‍ර ගුණයෙන් අධික ය’යි අමාත්‍යයන් කී කල්හි ‘එ සේ වී නම් ඔවුන් අල්වම්හ’යි කීහ. එ තෙපුල් අසා අමාත්‍යයෝ ‘මහ රජ, ඒ රජ්ජුරුවන් එ සේ ඇල්විය නො හැක්කැ’යි කීහ. රජ්ජුරුවෝ ‘කවර උපායකින් වුව ත් ඒ රජහු අල්වම්හ’යි කියා ‘නැවත ත් නො පිළිවනැ’යි අමාත්‍යයන් කී කල්හි ‘කාරණ කිම් දැ’යි විචාරා ‘මහ රජ’ ඒ රජ්ජුරුවෝ හස්තිකාන්ත නම් වූ ශිල්පයක් දනිති. මන්ත්‍ර පිරුවා වීණා ගායනා කොට නො කැමති ඇත් කෙනෙකුන් ලුහු බඳවා පියති. කැමති ඇත් කෙනෙකුන් අල්වා ගනිති. ඒ රජ්ජුරුවන් වැනි අනික් ඇත් වාහන ඇති රජෙක් නැතැ’යි කී කල්හි ඒ රජ්ජුරුවන් කිසියම් උපායකින් ඇල්වුව මනා ම ය යි කීහ.
මෙ සේ සාහසික ව රජහු කියන බස් අසා අමාත්‍යයෝ කියන්නාහු ‘මහ රජ, ඉදින් ඒ රජ්ජුරුවන් අල්වනු කැමති වුව හොත් දණ්ඩෙන් ඇතකු ඉදි කොට ඒ රජ්ජුරුවන් ගේ නුවරට ආසන්න ස්ථානයකට යවුව මැනව. රජ්ජුරුවෝ ඇත් වාහනයෙක, අස් වාහනයෙක, නමක් ඇසූ නම් දුරට ත් ගොසින් අල්වති. එ සේ දුරට ගිය කල්හි ඒ රජ්ජුරුවන් අල්වා ගත හැක්කැ’යි කීහ. චණ්ඩපජ්ජොත රජ්ජුරුවෝ ‘ඒ උපාය යහපතැ’යි දණ්ඩෙන් ඇතකු ඉදි කරවා පිටත කඩ රෙදි අලවා චිත්‍රකාරයන් ලවා ජීවමාන ඇතකු මෙන් සිතියම් කරවා ඇතු කුස මිනිසුන් සැට දෙනෙකු සක්මන් කරණ පරිද්දෙන් සලසා ඒ රජ්ජුරුවන් ගේ විජිතයට ආසන්න ස්ථානයෙහි එක් විලක් අසල රඳවා ඇත් බෙටි ද ඒ ඒ තැන් හි රැස් කර වූහ.
ඉක්බිති එක් වැද්දෙක් ඒ දැක ‘මේ ඇත් අපගේ උදේනී රජ්ජුරුවන් වහන්සේට සුදුසු ය’යි සිතා නුවරට දිව ගොස් ඇතු ගේ රූප සම්පත්තිය වර්ණනා කොට රජ්ජුරුවන්ට කියනුයේ ‘මහ රජ, රිදී පර්‍වතයක් සේ ඉතා ධවල වූ ශරීර ඇති මනහර ඇත් රුවක් දිටිමි’ කී ය. උදේනි රජ්ජුරුවෝ ඔහු ලවා ම මඟ පෑවා ගෙන උතුම් ඇත් වාහනයකට පැන නැගී සහපිරිවරින් නික්මුණාහ. චණ්ඩපජ්ජොත රජ්ජුරුවෝ ද උදේනි රජ්ජුරුවන් නික්මුණු බව චර පුරුෂයන් අතින් අසා තුමූ ද නික්ම ගොස් මඟ මධ්‍යය සිස් කොට දෙ පස සේනාව සිටුවා ලූහ. උදේනි රජ්ජුරුවෝ චණ්ඩපජ්ජොත රජ්ජුරුවන් ආ බව නො දැන දඬු ඇතු දැක සැබෑ ඇතෙකැ යි සිතා ලුහුබඳවා ගත. ඇතුළෙහි සිටි මනුෂ්‍යයෝ යන්ත්‍රයෙන් ඇතු ඇර ගෙන දිවන්ට පටන් ගත්හ. උදේනි රජ්ජුරුවෝ මෙ තෙක් දවස් සේ මන්ත්‍රය මතුට වීණා ගායනා කළහ. රජ්ජුරුවන් වීණා ගායනා කරත් කරත් ඒ දඬු ඇත් තෙම වීණා ශබ්ද ය නො ඇසුවාක්හු මෙන් දිවන්නේ ම ය. රජ්ජුරුවෝ ඇත් වාහනයෙන් ලුහුබඳවා ගොස් ඒ ඇතු අල්වා ගත නොහී අසකු නැඟී ඇතු ලුහුබඳවන්ට වන්හ. උමංදාවෙහි අවකප්පන සැත්මෙන් සැදූ අසු රඳවන්ට කඩියාළම ඇදි ඇදි සේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් ගෙන උත්තර පඤ්චාල නුවර බලා දිවුවා සේ දඬු ඇත්තු ද නො රඳා ම දිවති. රජ්ජුරුවන් යුහු යුහු වත් සේනාව පසු ගියහ.
එ කල දෙ පාර්ශ්වයෙහි සිටි චණ්ඩපජ්ජොත රජ්ජුරුවන්ගේ සේනාව උදේනි රජ්ජුරුවන් මැද කොට අල්වා ගෙන රජ්ජුරුවන්ට පාවා දුන්හ. උදේනි රජ්ජුරුවන්ගේ සේනාව ද රජ්ජුරුවන් සතුරන්ට අසු වූ බව දැන එ තැන්හි ම කඳවුරු බැඳ උන්හ. චණ්ඩපජ්ජොත රජ්ජුරුවෝ උදේනි රජ්ජුරුවන් ජීවග්‍රාහ කොට අල්වා ගෙන එක් සිර ගෙයක ලවා ලා දොර වස්වා රකවල් ලවා තුන් දවසක් මුළුල්ලෙහි ජය පාන ය බොන්ට පටන් ගත්හ. උදේනි රජ්ජුරුවෝ තුන් වන දවස් ‘තොප ගේ රජ්ජුරුවෝ කුමක් කෙරෙද්දැ’යි රකවල සිටියවුන් අතින් විචාරා සතුරු රජ්ජුරුවන් ඇල්ලීමි’යි සන්තෝෂයෙන් මත් ව ජය පානය බොන සේ කැ’ යි කී කල්හි ‘තොපගේ රජ්ජුරුවන් කරන්නේ ගැහැණු විසිනුත් නොකළ මනා කට යුත්තෙක. සතුරන් අල්වා ගත් කල මරා හෝ නොපියා නොහොත් ඇර නොපියා උන් දුක්පත් කොට සිර ගෙයි වසා හිඳුවාලා කුමන ජයපාන ද බොන්නේ ය’යි කීහ.
රකවලුන් ගෙන් එ පවත් අසා උදේනි රජ්ජුරුවන් උන් තැනට අවුත් මෙ සේ කීයේ සැබෑ දැ යි විචාරා’සැබව මහ රජ’යි කී කල්හි එ සේ වුව හොත් තොප අරුම්හ. තොප දන්නා මන්ත්‍ර ය. අප උගන් ව’යි කීහ. ඒ අසා උදේනි රජ්ජුරුවෝ‛යහපත, මන්ත්‍රය උගන්නා පරිද්දෙන් උගනු නම් උගන්වමි. කිමෙක් ද? තෙපි මා වඳු දැ’යි කීහ. ඒ අසා චණ්ඩපජ්ජොත රජ්ජුරුවෝ ‘මන්ත්‍රයක් පිණිස මම තොපට වඳිම් ද? නො වඳිමි’යි කීහ. උදේනි රජ්ජුරුවෝ ‘එ සේ කල තොප මා නො වඳු නම් මම ත් මන්ත්‍ර ය නො උගන්වමි” කීහ. ඉක් බිති චණ්ඩපජ්ජොත රජ්ජුරුවෝ ‘එ සේ ම තෙපි මන්ත්‍ර ය මා නූගන්වා නම් රාජාඥා කරවමි’ යි කීහ. ඒ අසා උදේනි රජ්ජුරුවෝ ‘යහපත, රාජාඥා කරව. තොපගේ ආඥාව මාගේ ශරීරයට විනා සිතට ත් ඇද්ද ? කෙ තෙක් රාජාඥා කළත් මා නො වඳිනා කෙනකුන්ට මන්ත්‍රය නූගන්වමී ‘ කීහ.
චණ්ඩපජ්ජොත රජ්ජුරුවෝ උදේනී රජ්ජුරුවන්ගේ නිර්භීත ශූරවීර ගර්ජනා අසා කෙසේ මන්ත්‍ර ය උගනිම් දෝ හෝ යි සිතා මේ මන්ත්‍ර ය අනුන් උගන්වන බව සුදුසු නො වෙයි. මා දියණියන් වාසුලදත්තාවන්ට උගන්වා ගෙන උන් අතින් පසුව උගනිමි’ යි සිතා ඉක් බිති ‘මහ රජ, තොප වඳිනා කෙනකුන්ට සැබවින් මන්ත්‍ර ය උගන්වාදැ’යි විචාරා ‘එ සේ ය. උගන්වමි’ කී කල්හි ‘එසේ වී නම් අපගේ රජ ගෙයි එක් කුදක් ඇත. ඈ කඩ තුරාවක් මුවායෙහි සිටුවා ලා මන්ත්‍රය උගන්වව’යි කීහ. එ තෙපුල් අසා රජ්ජුරුවෝ ‘කුමක් වේව යි මා වඳිනා කෙනකුන්ට මන්ත්‍ර ය උගන්වමි. හෙ ද වනාහි මා වඳිනවුන් නැති හෙයින් වැඳුම් ගන්ට ආසාවෙන් කියන දෙයෙක් නො වෙයි. වැඳීම් නම් ගුරුන්ට කළ මනා උපචාර ය. එ පරිද්දෙන් ගුරුන්ට උපචාර කොට උගත්තා වූ ශාස්ත්‍ර ය සඵල වෙයි. එ සේ හෙයිනැයි’ කීහ. ඒ අසා රජ්ජුරුවෝ දියණියන් වාසුලදත්තාවන් උන් තෙනට ගොස් ‘පුත, ඉතා නො බැලිය හැකි ශ්වෙත කුෂ්ඨයක් ඇති මිනිසෙක් අනර්ඝ වූ මන්ත්‍රයක් දන්නේ ය. ඒ මන්ත්‍ර ය අනික් කෙනකුන් උගැන්විය නො හැක්ක. ඒ තෙම නොවැඳි කෙනකුන්ට මන්ත්‍රය නූගන්ව යි. තෙපි ගොසින් කඩ තුරාවකින් පිටත සිට ඔහු වැඳ ඒ මන්ත්‍ර ය ඉගෙන ගනුව. මම පසු ව තොප අතින් ඉගෙන ගනිමී’ කීහ.
මෙ සේ රජ්ජුරුවෝ ඔවුන් දෙදෙනා ඔවුනොවුන් කෙරෙහි අනුරාගයක් කෙරෙති යන භයින් තමන් දියණියන් කුදියක කොට ත් රජ්ජුරුවන් ශ්වෙත කුෂ්ඨයකු කොට ත් සඟවා කීහ. ඉක්බිති උදේනි රජ්ජුරුවෝ කඩ තුරාව ඇතුළේ හිඳ මන්ත්‍රය කියති. වාසුලදත්තාවෝ කඩ තුරාවෙන් පිටත සිට උගනිති. දවසෙක මන්ත්‍ර ය විටින් විට කී කී සේම වාසුලදත්තාවන් වරදවා කියන හෙයින් උදේනි රජ්ජුරුවෝ කිපී ‘එම්බල දුෂ්ට කුද, තී ගේ දිව හා දෙතොල බොල් ව ගිය ද? දවස් පතා කියවා ත් මන්ත්‍රය වරදවා කිය යි. මෙසේ කිය නො හෙයි දැ’ යි කීහ. ඒ අසා බිස වු කිපී ‘එම්බල ශ්වෙතකුෂ්ඨය, තා කියන්නේ කිමෙක්ද? අප සේ වූවෝ ත් කුදුන් කෙරෙහි ඇතුළත්හු දැ’යි කඩතුරා ව ඔසවා ඔවුනොවුන් බලා ඔවුනොවුන් ගේ ස්වරූප විචාරා තත් වූ පරිද්දෙන් දැන ‘රජ්ජුරුවෝ අප දෙ දෙනා ඔවුනොවුන් හා විශ්වාස වෙති යන භයින් වළහා කී වන්හ’යි නිශ්චය කොට ඔවුනොවුන් කෙරෙහි අනුරාග ඇති ව ජවනිකාව ඇතුළෙහි දී ම ඔවුනොවුන් හා සහවාස ය කළහ.
එ තැන් පටන් මන්ත්‍ර ඉගැන්වීම් නැති විය. මන්ත්‍රය ඉගැන්වීම් තබා තමන් දියණියන් උගන්වා ගෙන යන බව නොදැන චණ්ඩපජ්ජොත රජ්ජුරුවෝ ද නිරන්තරයෙන් ම ‘පුත, මන්ත්‍ර උගතු දැ’යි විචාරා ‘උගනිමින් සිටියෙමි’ කී කල්හි සැබවින් ම මන්ත්‍ර ය උගනිති යි සැක නැති ව සිතති. එක් දවසක් උදේනි රජ්ජුරුවෝ වාසුලදත්තාවන් බණවා ‘සොඳුර, ගැහැනුන්ට ගේ හිමියන් කරණ උපකාර මවු පියෝ සෙසු කුසෙහි හොත් මෑ බුන් ආදිහු ද කොට ගත නො හෙති. ඉදින් මාගේ ජීවිතය මට රැක දී පු නම් මාගේ අන්තඃපුරයෙහි බිසෝවරුන් පන් සියයකට තොප ම ප්‍රධාන කොට අග මෙහෙසුන් කෙරෙමි’ කීහ. ඒ අසා බිසවු ‘මහ රජ, නුඹ වහන්සේ කී බස නමුත් සිත තබා ස්ථිර කළ මැනවැ’ යි කියා පිය රජ්ජුරුවන් කරා ගොස් වැඳ එකත් පස් ව සිට මන්ත්‍රය උගතු දැ’යි විචාළ කල්හි ‘එ සේ ය, මන්ත්‍ර ය උගතිමි. ඒ මන්ත්‍රයට උපචාර පිණිස තරු ලකුණෙන් ගන්නා එක් ඖෂධයෙක් ඇත් ල. ඒ ඖෂධය ඇර ගන්ට යන වේලෙහි නැඟී යන වාහනයක් වුව මැනව. එයි ත් වැඩක් සිතා යන ගමන හෙයින් කැමැති දොරකින් යන වේලෙහි නො වළකන පරිද්දෙන් සම්මතත් කළ මැනවැ’ යි කීහ. රජ්ජුරුවෝ ද ඒ අන්තරාය නො දැන මන්ත්‍ර ලෝභයෙන් යහපතැ’යි ගිවිස්සාහ. ඔහු ද තමන් යන්ට කැමැති දොරක් ම අත් ගෙන තුබූහ.
රජ්ජුරුවන් ගේ වනාහි වාහන පසෙක්වි ය. කවරේද යත්- දවස පනස් යොත්නක් යන්නා වූ භද්‍රාවති නම් ඇතින්නක, සැට යොත්නක් යන්නා වූ කාක නම් දාසයෙක, සියක් යොත්නක් යන්නා වූ තෙලකණ්ඨිය-මුඤ්ඡකෙසිට්ඨි යයි අශ්වයෝ දෙදෙනක එක් සිය විසි යොත්නක් යන්නා වූ නාළාගිරි නම් ඇතෙකැ යි මෙ සේ වාහන පසෙක් වී ය. එ ද වනාහි පෙර ගිය ජාතියෙහි ඒ රජ්ජුරුවෝ එක් තරා ප්‍රධාන පුරුෂයක් හට උපස්ථාන කෙරෙති. එක් දවසෙක ඒ ප්‍රධාන පුරුෂයා නුවරින් පිටත් ව ඉස් සෝධා නහා නුවරට එන කල්හි එක් පසේ බුදු කෙනකුන් වහන්සේ නුවරට පිඬු සිඟා වැඩ සියලු නුවර වාසීන් ඇඟ මාරයා ආවේශ වූ හෙයින් එක් බත් සැන්දකුත් නො ලැබ පාත්‍ර ය සේධු වන ම ගෙන නුවරින් නික්මුණු සේක. ඉක්බිති නුවර වාසල් දොරට පසේ බුදුන් පැමිණි කල්හි මාර තෙම එක්තරා මනුෂ්‍ය වේශයකින් පසේ බුදුන් කරා එළඹ ‘ස්වාමීනි, කිසිවක් ලත් සේක්දැ’යි විචාරා ‘කිමෙක්ද, මාර ය, තෝ බත් ලබන ලෙසක් කෙළෙහි දැ’යි කී කල්හි ‘එ සේ වී නම් නැවත නුවරට වැඩිය මැනවි. දැන් බත් ලබන සේ කෙරෙමී’ කීය.
පසේ බුදුහු එ තෙපුල් අසා ‘ඉදින් මම පෙරළා නුවරට වනිම් නම් නැවත මේ මාරයා මුළු නුවර වාසීන්ගේ ශරීරයෙහි ආවේශව අතින් අත් පැහැර සිනා සී කෙළනා පරිද්දෙන් කරන්නේ ය’යි ඔහු ගේ බස් නො ගිවිස ම නික්මුණු සේක. ඉක්බිති ප්‍රධාන පුරුෂ තෙම පාත්‍ර ය සේදූ වන ම ගෙන නුවරින් වඩනා පසේ බුදුන් දැක ‘ස්වාමීනි, අහර ලත් සේක් දැ’යි විචාරා ‘නුවර ඇවිද පිටත් වූම්හ’ යි කී කල්හි කිමෙක් දෝ හෝ යි සිතනුයේ ‘පසේ බුදුන් වහන්සේ මා විචාළ දෙය නො කියා අනික් පරිද්දෙකින් කියන සේක. අභර නොලත් සේක් වනැ’යි සිතා පාත්‍රය බලා සිස් පාත්‍ර ය දැක ගෙයි බත් පිසූ බවත් නොපිසූ බව ත් නො දැන අතර මඟ දී පාත්‍රය ගත නො හී ‘ස්වාමීනි, මඳක් වැඩ සිටිය මැනවැ’යි කියා වහා ගෙට ගොසින් බත් පිසූ දැයි විචාරා ‘එ සේ ය, බත් උදවු විය’යි කී කල්හි උපස්ථායකයා කැඳවා ‘දරුව, තොප විනා මේ වේලෙහි දිවන්ට නිසි කෙනෙක් නැත. වහා දිව ගෙන ගොස් පසේ බුදුන් වහන්සේ ගේ පාත්‍ර ය වැඳ පවරා ඇරගෙන එව’යි කීහ.
හෙ ද එක බසින්ම දිව ගෙන ගොස් පාත්‍රය ගෙන අවුත් දින, ඒ ප්‍රධාන පුරුෂයා තමාට පිසූ බත පාත්‍රයෙහි පුරා ලා ‘මේ පාත්‍රය නො පමා ව ගෙන ගොස් පසේ බුදුන් වහන්සේට පිළිගන්වා පියව. මම මෙහි පින් තොපට දෙමි’යි කී ය. එතෙම යහපතැ යි ගිවිස යුහු ව දිව ගෙන ගොස් පසේ බුදුන් වහන්සේට පාත්‍ර ය පිළිගන්වා පසඟ පිහිටුවා වැඳ ‘ස්වාමීනි, මම ඉතා වේලා ආසන්න හෙයින් වළඳන වේලා ඉකුත් ව යේ දෝ හෝ යි සිතා යුහු ව පාත්‍ර ය ගෙන ගියෙමි. එ පරිද්දෙන් ම නැවත බත් පාත්‍රය ඇර ගෙන එන වේලෙහි ද යුහු ව ම ආමි. මේ දැන් මා පිඋදෙසා දිවූ දැවයෙහි අනුසසින් මතු මට දවස පනස් යොදුනක් යන්නා වූද, සැට යොදනක් යන්නා වූ ද, සියක් යොදුන් යන්නා වූ ද, දවස එක් සිය විසි යොදනක් යන්නා වූ ද, මෙ සේ ගමනෙහි සමර්ථ වූ වාහන පසෙක් පහළ වේව යි. යන එන ගමනෙහි මාගේ ශරීර ය සූර්‍ය්‍ය තාපයෙන් ඉතා ම තැවින. එ ද පින් නිසා ම තැවුණු හෙයින් ඒ කුසල ය හේතු කොට ගෙන මා උපනුපන් තන්හි මුදුන් පත් හිරු මඬල සේ ආඥා තේජස් ඇති වෙම්ව යි මේ ආහාර දානයෙහි පින් දායකයන් අතින් සම සිතින් අනුමෝදන් වූ කුශලයෙන් මුඹ වහන්සේ දුටු නිවන් දහම් පසක් කට හෙම්ව’යි ප්‍රාර්ථනා කළහ. පසේ බුදුන් වහන්සේත් ‘ඒ තොප සිතූ පැතූ සියල්ල ම එ පරිද්දෙන් ම වේව’ යි වදාරා-
‘ඉච්ඡිතං පත්‍ථිතං තුය්හං-ඛිප්පමෙව සමිජ්ඣිතු,
පූරෙන්තු සබ්බෙ සඞ්කප්පා-චන්දො පණ්ණරසී යථා
ඉච්ඡිතං පත්‍ථිතං තුය්හං-සබ්බමෙව සමිජ්ඣතු,
පූරෙන්තු සබ්බෙ සඞ්කප්පා-මණි ජොතිරසො යථා’යි.
අනුමෙවෙනි බණ වදාරා වැඩි සේක. මේ ඔවුන්ගේ පූර්‍ව චරිතය යි. එ කල්හි චුල්ලුපස්ථායකයා නම් මෙ කල්හි මේ චණ්ඩ පජ්ජොත රජ්ජුරුවෝ ය. එ කල්හි පසේ බුදුන් වහන්සේට වේලා ආසන්නයෙහි බත් පාත්‍රය ඇර ගෙන යුහු ව ගොස් පිළිගන්වා ලූ කුශලයෙන් මෙ කල්හි මේ වාහන පස ඇති වී ය.
ඉක්බිති චණ්ඩපජ්ජොත රජ්ජුරුවෝ එක් දවසක් උයන් කෙළියට නික්මුණාහ. උදේනි රජ්ජුරුවෝ එ පවත් දැන ‘අද මේ අවසරෙහි පලා ගිය මැනවැ’යි සිතා මහත් වූ සම් පසුම්බි වල රත්රන් පුරා භද්දවතී නම් ඇතින්න පිටට නංගා ගෙන වාසුලදත්තාවන් හා සමඟ එ ම ඇතින්න පිටට නැගී නික්ම ගත්හ. චණ්ඩපජ්ජොත රජ්ජුරුවෝ පුර රක්නවුන් අතින් එ පවත් අසා ‘කොල වහා නික්මෙව’යි පස්සෙහි බල සෙනඟ යැවූහ. උදේනි රජ්ජුරුවෝ පස්සෙහි පිරිස් එන්නා දැක ඇතින්න පිට තුබූ මසුරන් පසුම්බිය උනා විසුරුවාපූහ. සේනාව රන් අවුළා ගෙන නැවත පස්සෙහි ලුහුබඳවා ගත්හ. උදේනී රජ්ජුරුවෝ රන් පසුම්බිය උනා එළා සේනාව ධනලෝභයෙන් රත්රන් ගනුම්හ’යි පමා වූ ඇසිල්ලෙහි දිව ගෙන ගොස් තමන්ගේ සේනාව කඳවුරු බැඳ ගෙන හුන් තෙනට වැද ගියහ. ඉක්බිති දුරින් එන රජ්ජුරුවන් දුටු සේනාව පෙර ගමන් ගොස් රජ්ජුරුවන් පිරිවරා මහත් උත්සවයෙන් කැඳවාගෙන නුවරට වන්හ. එ කල රජ්ජුරුවෝ නුවරට වැද පළමු තමන් කී පරිද්දෙන් ම වාසුලදත්තාවන් අභිෂේක කොට අග මෙහෙසුන් තනතුරෙහි තුබූහ.
මේ වාසුල දත්තාවන් ගේ කථාව යි.