තව ද කුශලයෙහි ම අනුසස් දක්වන්ට ඛෙම නම් උපාසක යන්ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
ඌ තුමූ අනේපිඬු මහ සිටාණන්ගේ බෑණනුවෝ ය. රූපත් වන පින් කළ හෙයින් බලවත් රූ ඇත්තෝ ය. බොහෝ සේ ගෑනු මිනිස්සු උන් දැක රාගයෙන් මඬනා ලදු ව සිටි සේ සිට පිය නො හෙති. උයි ත් ගෑනු මිනිසුන් තමන්ට නැමෙන හෙයින් පරදාර කර්මයෙහි ඇලී වෙසෙති.
එක් දවසක් ගම් රකවල්ලු ගෙයක හසු කොට ගෙන ගසා අල්වා ගෙන රජ්ජුරුවන්ට පෑවු ය. රජ්ජුරුවෝ ද සිටාණන් කෙරෙහි කළ සම්භාවනායෙන් සිතින් මුසුප්පු ඇත ත් කිසිවකුත් නො කියා හරවා පූ ය. උයිත් බරළින්[1] නැවැති පමණක් මුත් පරදාර කර්‍මයෙන් නො නැවත්තෝ ය. දෙ වැනි වත් ගෙවල දී හසු කොට අල්වා ගෙන රජ්ජුරුවන්ට පෑවු ය. රජ්ජුරුවෝ සිටාණන් කෙරෙහි කළ දෙයින් ම හරවාපූ ය.
අනේපිඬු මහ සිටාණෝ ද එ පවත් අසා කැඳවා ගෙන බුදුන් කරා ගොසින් බුදුන් කෙරෙහි ලජ්ජාවෙනුත් හැර පිය ත් දෝ හෝ යි සිතා බුදුන්ට දැන්වූහ. දන්වාලා ‘ස්වාමීනි, මුන්ට මෙලෝ පරලෝ දෙකින් ම වන්නා වූ භය දක්වා බණ වදාළ යහපතැ’යි කිවුය. බුදුහු ත් උන්ට පරදාර කර්මයෙහි දොස් දක්වන සේක් ‘හෙම්බල සිටු පුත්‍ර ය, පරදාර කර්මයෙහි නියුක්ත වීමෙන් පමා වූවාහු දුක් සතරකට පැමිණෙති. කවර දුක් සතරකට ද යත් - බොහෝ අකුසලු ත් රැස් වෙයි. සිත සේ නිඳා පියන්ට නැති හෙයින් නිඳි මැරීමෙනු ත් දුකෙක් සම්භ වෙ යි. තව ද බොහෝ නින්දා පරිභව ත් ලැබෙති.
‘එ හැම නුවූවා සේ සතර වැනි ව කටු හිඹුල් වනයට හෝ ලෝ කුඹු නරකයට හෝ පැමිණ බොහෝ දුක් විඳිති. මෙ සේ අකුශල ය නිසා අපායොත්පත්ති ය වන හෙයින් ගති ශුද්ධිය ත් නැත. තමා ත් කුමකින් කුමක් වේ දෝ හෝ යි භය පත් ව එ සේ ම භයපත් වූ ස්ත්‍රීන් හා කරන සහවාසයක් හෙයින් එයින් අකුශල සිද්ධි ය වන පමණක් මුත් ස්වල්ප සැපයෙක. රජ දරුවෝ ත් අත් පා කැපීම් ආදි විසින් බොහෝ බරළ කෙරෙති. එහෙයින් පරදාර කර්‍මයත් සෙසු ත් අකුසල් කළමනා දෙයෙක් නොවෙ’යි වදාළ සේක. දේශනා කෙළවර ඛෙම නම් සිටු පුත්‍රයාණෝ සෝවාන් ව පරදාර කර්‍මය හළවු ය. එවක් පටන් බොහෝ දෙන ත් සුවසේ වැඩ හුන්හ.
මෙ ලෙස මුන් දුටු දුටුවන්ට ප්‍රසාදාවහ වන්ට පෙර කළ පින් කවරේ ද යත් - මූ තුමූ කසුප් බුදුන් සමයෙහි මල්ලව ව ඉපැද වෛවර්ණ පිළියෙන් පතාක දෙකක් කසුබ් බුදුන්ගේ ධාතු වඩා කළ සතර ගවුවක් උස රන් දාගබ් වහන්සේට පුදා ලා පතන තැනැත්තෝ නෑ සිය ලේ ගෑනු මිනිසුන් හැර සෙසු කවර ත් ගෑනු මිනිස්සු මා කෙරෙහි ඇලුම් ඇති වෙත්ව’යි පතා ගත්හ. එ හෙයින් මුන් උපනුපන් තැන ගෑනු මිනිස්සු සිටි සේ සිටි ය නො හෙතී’ වදාළ සේක.
එහෙයින් නුවණැත්තවුන් විසින් පරදාර කර්‍මයෙහි ආදීනව අසා ඒ හරනා සේ සෙසු ත් පවු හැර කුසල්හි හැසිර නිවන් අත් කටයුතු.
-
වරලින්-වරදින්, බමරළින්, වරනින්, බරවූ මරණින් ↑