තව ද දුශ්චරිතයෙහි නපුර හඟවන්ට දුශ්චරිත ඵලානුභව ය කරන සත්වයන් ගේ වස්තුව දක්වමු.
කෙ සේද යත් -
මුගලන් මහ තෙරුන් වහන්සේ ලක්‍ෂණ මහ තෙරුන් වහන්සේ හා සමඟ ගිජු කුළු පවුවෙන් බස්නා සේක් නො එක් ප්‍රේතයන් ගේ ඇටසැකිලි ආදී වූ අත් බැව් දැක සිනා පහළ කොට ලක්‍ෂණ මහ තෙරුන් වහන්සේ සිනාවට කාරණ විචාළ කල්හි ‘දැන් සිඟා යන වේලාව හෙයින් සිඟා යමින් සිට කරන කථා නම් වත් නො වන හෙයින් යුක්ත නො වෙයි. බුදුන් ළඟ දීම විචාළ මැනැ වැ යි කියා ලා සිහිමත්[1] තැන් හෙයින් සිත තබා ගෙන බුදුන් ළඟ දී විචාළ කල්හි ප්‍රේතයන් දැක සිනා පහළ කළ නියාව වදාරන සේක් ‘මම, ඇවැත්නි, ගිජු කුළු පව්වෙන් බස්නෙම් තුන් සිවුරු පාත්‍රත් ගිනි ගෙන දිලිසෙන්නා වූ ඇට සැකිල්ලක් භික්ෂු ලෙසින් හා භික්ෂුණී ලෙසින් හා සාමණේර ලෙසින් හා සාමණේරී ලෙසින් හා හික්මන් ලෙසින් ඇවිදි ප්‍රේතයන් දිටිමි. මම උන් දැක සංසාර දෝෂයෙන් මම මිඳිණි යි’ සිනා පහළ කෙළෙමි’ යනාදීන් මහණ ප්‍රේත වත ආ ලෙසට වදාළ සේක.
බුදුහු ත් ප්‍රේත වත ආ ලෙසින් ම කසුප් බුදුන්ගේ සස්නෙහි මහණ වුව වුන් කළ මනා ලෙස තිබිය දී දුශ්ශීල ව විසූ නියාව වදාරා ඒ ඇසිල්ලෙහි එ තැන රැස් ව හුන්නා වූ පවිටු අදහස් ඇති වහන්දෑට දුශ්ශීල ව වැස නරක දුක් බොහෝ කලක් විඳ තව ත් කර්මය නොගෙවුණු හෙයින් ප්‍රේත ව ඉපැද ගන්නා දුකු ත් වදාරා බණ වදාරන බුදුහු ‘මහණෙනි, යම් කෙනෙක් අදහස නපුරු හෙයින් මෙලොව ජීවිකාව නිසා සිවුරු පෙර ව ගෙන දුශ්ශීල ව වෙසෙත් ද, කළා වූ අකුසල් බලයෙන් නිරා දුක් විඳ ගින්නේ පැළහී ගිය වුන් අවුවේ ලූවා සේ ප්‍රේත ව ත් ඉපැද බොහෝ දුක් විඳිති’යි වදාළ සේක. දේශනා කෙළවර පවිටු අදහස් ඇත්තාහු ඒ හැර කුසල් අදහස් ඇති ව බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් කවර ලෙසිනුත් පවෙහි නො හැසිර ත්‍රිවිධ ශික්‍ෂාව පුරා අධිමුක්ති වූ ලෙසින් තුන් බෝධීන් එක්තරා බෝධියකට පැමිණිය යුතු.
-
සිඟමත්-සිඟීමත් ↑