234. සුන්දරී පරිබ්‍රාජිකාවන්ගේ වස්තුව

star_outline

ද නිරපරාධයන් කෙරේ කළා වූ අපරාධ ය දැමු දැමූ ගොන් මැස්සන් දැමූවන් කරා ම යන්නා සේ අපරාධ ය කළවුන් කරා ම පැමිණෙන නියා ව හඟවන්නට සුන්දරී පරිබ්‍රාජිකාවන්ගේ වස්තුව දක්වමු.

හේ කෙසේ ද යත් -

එක් සමයෙක නො එක් ගංවලින් මහ වතුරු මුහුදට හඬා වදනා සේ බුදු සසුන් නමැති මුහුදට ලාභ සත්කාර නමැති මහ වතුරු අවුත් හඬා වදනා කල්හි අමුණු බැඳලූ කලට ඇළවල පැන් සිඳෙන්නා සේ ලාභ සත්කාර නැති වූ තිථයෝ හිරු නැඟි කලට කදෝපැණියන් මෙන් නිෂ්ප්‍රභා ව පියා එක් ව රැස් ව ‘අපි මහණ ගොයුම්හු ඇති වූ තැන් පටන් ලාභ සත්කාරයෙන් පිරිහුණම්හ. ලාභ සත්කාර තබා අප ඇති නියාව දන්නෝත් නැත. කවුරුන් හා එක් ව මහණ ගොයුම්හට අයසක් උපද වා පියා ලාභ සත්කාර නැති කරවා පියමෝ දෝ හෝ’යි කථා කළහ. කථා කොට ලා උපදෙස සොයන්නෝ ‘සුන්දරී නම් පරිබ්‍රාජිකාවන් හා එක් වූවෝ නම්එ බන්දක් කට හෙම්හ’යි සිතා ඒ තිථයෝ එක් දවසක් සුන්දරී නම් පරිබ්‍රාජිකාව තමන් වසන තැනට අවුත් වැඳ ලා සිටි තැනැත්තියට බැන නො නැංගාහ.

ඕ තොමෝ තව ත් තව ත් කථා කොට ත් බස් පමණක් නොලදින් ‘ස්වාමීනි, මුසුප්පු කුමක් දැ”යි විචාළීය. ‘හැයි පරිබ්‍රාජිකාවෙනි, මහණ ගොයුම්හු අපට උපදනා ලාභ සත්කාරත් තමාට කොට ගෙන අපට කරන ගහට නො දකු ද? තවත් ගහටයක් ඇත මනා දැ’යි කිවු ය. ‘මා කළ මනා කුමක් දැ’යි විචාළ කල්හි ‘තෙපි පරිබ්‍රාජිකාවෙනි, මනහර වූ රූ ඇත්ත ව. මිනිසාවන් කම ත් තොපගේ ඇත. මහණ ගොයුම් හට නො මිනිසාවන් කමක් උපදවා පියා තොපගේ බස් බොහෝ දෙනා ගිවිස්වා ගෙන එක් අතෙක යන පැන් වැටියක් බැඳ අනික් අතකට නමා ලන්නා සේ මහණ ගොයුම් හට උපදනා ලාභ සත්කාර ය අප කරා නම්වා ලව’යි කිවු ය.

ඔයිත් ඒ ගිවිස එවක් පටන් මල් ගඳ විලවුන් කපුරු තකුල් ලමඟ ආදි ය ගෙන්වා ගෙන සවස් වේලෙහි බොහෝ දෙනා ගොසින් බුදුන්ගේ බණ අසා නුවරට වදින වේලාවට අඳුරු ගස්වා ගෙන තොමෝ විහාර ය බලා යෙයි. බණ අසා එන්නවුන් ‘කොයි යවු දැ ‘යි විචාළ කල්හි ‘මම මේ වේලේ අනික් කොයට යෙම් ද? එක ගඳ කිළියේ ලගිනා ලෙසට මහණ ගොයුම්හු කරා යෙමි’ කියා ලා තිථයන් හිඳිනා තැනෙක ලැග ලා උදෑසනක් සේ ම දෙව්රම සිට එන මඟට බැස ලා නුවර බලා එයි. දුටු දුටු කෙනකුන් ‘කුමක් ද? සුන්දරීනි, කොයි සිට එවු දැ’යි විචාළ කල්හි ‘වෙහෙරට ගොසින් මහණ ගොයුම්හු’ හා සමඟ එක ගඳ කිළියේ ලැග උන්ගේ අදහසට ලැබී ලා එමී කිය යි. කීප දවසක් ගිය කල තිථයෝ වැන්දඹ[1] ලෙස ඔළ මොළ ව ඇවිදිනා නිකම් කොලු කෙනකුන්ට අත්ලස් දී ලා ‛යව, ගොසින් සුන්දරී නම් පරිබ්‍රාජිකාව මරා පියා මහණ ගොයුම්හුගේ ගඳ කිළි ළඟ මල් කසළ හස්සේ ලා පියා එව’ යි කිවු ය. උයි ත් එලෙසම කළහ.

තිථයෝ ද ‘සුන්දරී නම් පරිබ්‍රාජිකාවන් නො දකුම්හ’යි කොලාහල කොට රජ්ජුරුවන්ටත් කියා ‘සැක ඇත්තේ කා කෙරේ දැ’යි විචාළ කල්හි ‘මේ මේ දිවස් දෙව්රම රඳා හුන්නු ල. ගියේත් ඊට ල. දැන් කොයි බවක් නො දනුම්හ’ යි කියා ලා ‘ එසේ වී නම් ගොසින් විමසව’ යි රජ්ජුරුවන් කී කල්හි තමන්ගේ උපාසකවරුන් හැර ගෙන දෙව්රමට ගොසින් සොයන්නාහු මල් කසළ හස්සේ මිය පියා හොත්තවුන් දැක ඇඳෙක ලා ගෙන ඇතුළු නුවරට හැර ගෙන ගොසින් ‘මහණ ගොයුම්හුගේ සවුවෝ තමන්ගේ බුදුන් කළ වරද සඟවනු නිසා සුන්‍දරීන් මරා පියා මල් කසළ හස්සෙහි ලා සඟවා පී ය’යි රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ ‘එ සේ වී නම් ගොසින් නුවරත් කියා ඇවිදුව’ යි කිවුය. උයි ත් නුවර විථිවල රජ්ජුරුවන් කී ලෙසම කියා ඇවිද පියා නැවතත් රජ්ජුරුවන්ගේ මාළිගා දොර කඩට ගියහ. රජ්ජුරුවෝත් සුන්දරීන්ගේ මළ සිරුර අමු සෝනෙක මැස්සක් නංවා ලා ඊ තබ්බවා ලා රැකවල් ලවා ලූහ.

සැවැත් නුවර ඇත්තවුන්ගෙනුත් නිවන් දුටුවවුන් හැර සෙස්සෝ බොහෝ සේ ම ‘මහණ ගොයුම්හු ත් ලෝක ප්‍රසිද්ධ ව හිඳ කළ දෑ බලව. උන් කළ තරමට ත් වඩා උන්ගේ සවුවන් කළ දෙයත් බල ව‍්’ යනාදී කිය කියා ඇතුළු නුවර ත් පිටි නුවරත් ඇවිදිති. සමහරු සිඟා ආ වහන්දෑට බෙණෙති. වහන්දෑ එ පවත් බුදුන්ට දැන් වූ සේක. බුදුහු ද ‘එ සේ වී නම්, මහණෙනි, තෙපිත් බැණ ඇවිදිනා මිනිසුන්ට මෙ ලෙස කියව” යි වදාරන සේක් “අනුන්ගේ වරද නො දැකම බොරුවෙන්ම අනුන්ට දොඩත් ද ඌ තුමූ නරකයට යෙති. යම් කෙනෙක් පව් කම් කොට පියාත් ‘නො කෙළෙමි’ කිය ත් නම් උයි ත් නරකයට යෙති. ඒ දෙ පක්‍ෂයේ ඇත්තෝ ම නරකයට යෑමෙන් සරියෝ ය, නො සරි කවරෝ ද යත හොත් - යම් කෙනෙක් බොහෝ කොට පව් කම් කොළෝ නම් බොහෝ කලක් නරකයෙහි පැසෙති. පව් කම් මඳ කොට කළාහු නො බෝ කලක් පැසෙති. කළා වූ පාප ය කළ කළ ලෙසින් අනිෂ්ට විපාක ය දී මුත් නො හරන්නේ ය” යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙනා නිවන් දුටහ.

රජ්ජුරුවෝ ද සුන්දරී නම් පරිබ්‍රාජිකාව වහන්දෑ නො මරණ නියාව දැන ‘ඈ මැරූ කෙනකුන් දනුව’යි මිනිසුන්ට විධාන කළහ. ඉක්බිත්තෙන් මැරූ ධූර්ත කොල්ලෝ ද අත් ලස් රනින් රා හැර ගෙන බොන්නාහු ඔවුනොවුන් හා ඩබරකට පටන් ගත්හ. එකෙකුට ‘තෝ සුන්‍දරිය එකපහරින් මරා පියා මල් කසළ හස්සේ ලා අත්ලස් රනින් රා හැර ගෙන බොන්නෙහි වේ ද? තට රා ත් අරුම ද? රනුත් අරුම ද? තව ත් රා මුට්ටු විටෙක අත්ලස් හැර ගෙන මිනී මරණ බව වේ දැ’යි කී ය. රාජ පුරුෂයෝ ද ධූර්තයන් අල්වා ගෙන රජ්ජුරුවන්ට පෑවු ය. රජ්ජුරුවෝ ත් ‘ඒ පරිබ්‍රාජිකාව මැරුවෝ තෙපි දැ’යි විචාරා ‘එ සේ ය’යි කී කල්හි ‘තෙපි ම සිතා ගෙන මැරූ ද? අනුන්ගේ විධානයෙකින් දැ’යි විචාළෝ ය.

තිථයන්ගේ විධානයෙන් නියාව කී කල්හි රජ්ජුරුවෝ තිථයනු ත් ගෙන්වා ලා වරද මුන් කෙරෙහිම පිහිටුවා ලා “තෙපි නුවරට පලා ගොසින් ‘මහණ ගොයුම් හට අයසස් උපදවනු නිසා සුන්‍දරීන් අපි ම මැරුම්හ. සුන්‍දරීන් කියා ඇවිදි කටයුතු ත් අප ගේ උගැන්මෙනැ’ යි කියාත් ‘මහණ ගොයුම්හුගේ හා ඔහුගේ සවුවන් ගේ කිසි ත් වරදෙනැත. වරද අපගේ ම ය’ යි කියා ත් නිරපරාධ බුදුන් හා බුදු සවුවන් වහන්සේගේ නැති වරද සිතට නැඟුවන්ට තොපගේ ඇති වරද කියා වරද තොප කෙරේ ම නියාව කියා සිතට නංවා ලව’ යි කීහ. උයිත් එ ලෙස ම කළහ. කිය කියා ලූ දෙයක් ම හදහන්නෝ එයි ත් හදහා ගත්හ. තිථයෝ ත් මනුෂ්‍ය වධ ය මුල් ව ලද මනා දඩ ලත්හ. එ වක් පටන් බුදු සස්නට සුන්දරිය බලා අයසස් උපදවන්නන් නැති හෙයිනු ත් තිථයන්ට ළං වන්නවුන් නැති හෙයිනු ත් ලාභ සත්කාර බලවත් වීය.

එ හෙයින් සුජනයන් විසින් ලාභ සත්කාරාදි ය නිසා අනුන් කෙරෙහි ඊර්ෂ්‍යා නූපදවා ලාභ සත්කාරාදියෙහි ගිජු නො ව දැහැමින් සෙමෙන් දවස් යවා නිවන් අත් කටයුතු.

  1. අපි ම මෙවා වැනි දඹ ලෙස, කුණු වැනි දඹ ලෙස.