තව ද විවේක වාසයෙහි යහපත දක්වන්ට එකවිහාරීය තෙරුන් වහන්සේගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
ඒ තෙරුන් වහන්සේ හිඳිනා කලත් තනි ව ම හිඳිනා සේක. සක්මන් කරන කල ත් තනි ව ම සක්මන් කරන සේක. සිටිත ත් තනි ව ම සිටිනා සේක. මෙ ලෙසින් සිවුවනක් පිරිස් අතුරෙහි ප්‍රසිද්ධ වූ සේක. වහන්දෑ ද මුන් වහන්සේගේ තරම් බුදුන්ට දැන්වූ සේක. බුදුහුත් ඔබගේ ගුණයට ප්‍රශංසා කරන සේක්- තුන් විටෙක සාධුකාර දෙවා වදාරා සෙසු ත් වහන්දෑ විවෙක වාසයෙහි යොදනු පිණිස විවේකයෙහි අනුසස් දක්වන සේක්− ‘හෙම්බා මහණෙනි, දහස් ගණන් වහන්දෑ මධ්‍යයෙහිත් මුල් කමටහන නො හැර මනසිකාරයෙහි යෙදී යම් කෙනෙක් හිඳිත් නම් ඔහු තුමූ ගණ සඞ්ගනිකාදී නැති බැවින් තනිව ම හුන්නා නම් වෙති. තවද යම් කෙනෙක් ලෝවාමහාපාය වැනි වූ ප්‍රාසාදවල යහපත් කොට අතුරන ලද යහන්වල බොහෝ වහන්දෑ පිරිවරා මුල් කමටහන නො හැරීමෙන් සිහි නුවණ එළවා ගෙන දකුණු ඇළයෙන් වැද හොවිත් ද, එසේ වූවෝ කෙතෙක් දෙන පිරිවරා වැද හොවිත් නමුත් තනිව ම වැඳ හොත්තෝ නම් වෙති.
යම් කෙනෙක් කමටහන් මෙනෙහි කිරීමක් නැති ව තනි වම වැද හොවිත් නමුත් කෙලෙසුන් කෙරෙන් නො වෙන් වූ හෙයින් තනි ව වසන්නෝ නම් නො වෙති. එ හෙයින් විවේක වාසයෙහි ම ඇළුම් කරව. තව ද යම් කෙනෙක් අනලස් ව ජඞ්ඝා බලය නිසා ජීවත් වීමෙන් නු කුසී ව සියලු ඉරියවුවෙහි තනි ව ම වෙසෙත් ද, රෑ වසන තැන් දාවල් වසන තැනට වැද කමටහන්හි යෙදී මාර්‍ග ඵලයට පැමිණීමෙන් හුදකලාව ම තම තමන් හික්මවා ගනිත් ද, එ සේ වූවෝ ගණ සඞ්ගනිකා හැර පවිත්‍ර වූ අදහසින් ආරණ්‍ය – වෘක්‍ෂ මූලාදියෙහි ඇලුම් ඇති ව වෙසෙතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් කෙ තෙක් දෙනා එක් වසත ත් එක් ව නො විසු ව මනා කෙලෙසුන් හා එක් නො ව සත් පුරුෂ සේවන ය කොට කෙලෙස් සතුරන් සාදා නිවන් රට අත් කටයුතු.