232. කුඩා සුභද්‍රාවන්ගේ වස්තුව

star_outline

තව දසත් පුරුෂ ගුණයෙහි පිහිටියවුන්ගේම යහපත දක්වන්ට අනාථපිණ්ඩික සිටාණන්ගේ දූ වූ කුඩා සුභද්‍රාවන් ගේ වස්තුව කියමු.

කෙසේද යත් -

අනේපිඬු මහ සිටාණන් බාල කල පටන් උග්ග නම් නුවර වසන උග්ග නම් සිටු පුත්‍රයාණෝ යාලු මිත්‍ර ව වෙසෙති. ශිල්ප උගන්නා ගමනේත් එක ආචාරීන් කෙරෙහි ශිල්ප ඉගෙන කතිකාවක් කරන්නාහු අප වැඩි විය පැමිණි කල්හි යම් කෙනකුන්ගේ පිරිමි පුත්තු ඇත්නම් යම් කෙනකුන්ගේ දූ ඇත් නම් ඒ දූන් අර පිරිමි පුතුන්ට විචාළ කළ අප දෙ පක්‍ෂය ම බාධා කටයුතු නො වෙ’යි කියා කතිකා කළහ. ඌ දෙ පක්‍ෂය ම වැඩි විය පත් ව තමන් තමන්ගේ නුවරවල සිටු තනතුරු ලත්හ.

එක් සමයෙක උග්ග සිටාණෝ වෙළඳාමෙහි යන්නෝ පන්සියයක් ගැල්වලින් බඩු ගෙන්වා ගෙන සැවැත් නුවරට ගියහ. අනේපිඬු මහ සිටාණෝ ද තමන්ගේ කුඩා සුභද්‍රා නම් දුවණියන් බණවාලා ‘පුත, තොපගේ පියාණෝ උග්ග සිටාණෝ අවුය. උන්ට කළ මනා සාද සාමීචියෙක් ඇත් නම් තොපට ම භාර ය’යි කීහ. උයි ත් ‘යහපතැ’ යි ගිවිස ඒ සිටාණන් ආ දවස් පටන් සිය අතින්ම බත් මාළුත් ඉදි කොට දෙති. සුවඳ විලවුන් ආදියත් සපයා දෙති. බත් කන වේලේ ත් නහන පැන් උණු කරවා දෙවා ලා නා නිමන තෙක් කැරවුව මනා දෙයත් කරවා ලති. උග්ග සිටාණෝ ත් උන්ගේ තරම් යහපත් නියාව පිළිපැද ලන ලෙසින් ම දැන ගෙන උන් කෙරෙහි පැහැද එක් දවසක් අනාථ පිණ්ඩික සිටාණන් හා කථා කොට කොට හුන්නාහු ‘අපි බාල කල කතිකාවක් කළමෝ වේ දැ’ යි කළ කථාව සඳහන් කරවා ලා කුඩා සුභද්‍රාවන් තමන්ගේ පුතණු කෙනකුන්ට විචාළහ.

උග්ග සිටාණෝ පියවින් ම සැදෑ නැත්තෝ ය. එ පවත් බුදුන්ට දන්වා ලා බුදුනුත් උග්ග සිටාණන්සෝවාන් වන නියා ව දැක අනුදත් කල්හි ඇඹේණියන් හාත් කථා කොට ලා ‘යහපතැ’යි ගිවිස විශාඛාවන් සරණ දෙන ධනඤ්ජය සිටාණන් මෙන් මඟුල් පෙරහර බලවත් කොට කුඩා සුභද්‍රාවන් බණවා ලා ‘පුත, නැඳි මයිලන් ළඟ වසන කල නම් ඇතුළතින් ගිනි පිටත නො ලිය යුතු ය’ යනාදීන් ධනඤ්ජය සිටාණන් විශාඛාවන්ට කියා ලූ මාලු කම් දස යත් කියා ලා ‘ඉදින්ම දූන් සරණ ගිය තැන බාලදරුවන් හෙයින් පෙනුණු වරදෙක් ඇත්නම් විචාරා ලව’යි කෙළෙඹියන් අට දෙනකු සම්මත කොට කැටිව යන්ට නිල කොට ලා දුවණියන් සරණ යන දවස් බුදු පාමොක් මහ සඟනට දන් දී ලා සසර සිටිනා කල දුවණියන් කළා වූ සුචරිතයෙහි ඉෂ්ට විපාක ය ලෝ වැස්සන්ට පහළ කරන්නාක් මෙන් බොහෝ මඟුල් පෙරහරින් යවූහ.

උන් උග්ග නුවරට ආසන්න ව ගිය කලට නැන්දණියෝ ත් තවත් බොහෝ දෙන ත් මහ පිනැති තැනැත්තවුන් ගියා නියා ව අසා රඳා පියන්ට බැරි හෙයින් පෙර ගමන් කොට ගියහ. උයි ත් තමන්ගේ රූප ශෝභාව හැම දෙන ම දක්නා නිසා රථයකින් නුවරට වැද නුවර ඇත්තවුන් එවූ පඬුරු හැර ගෙන දෙකක් කොට පියා එකක් තුමූ හැර ගෙන එකක් එවූ එවුවන්ට ම තමන්ගෙන් යවා ලා නුවර වැස්සන් මුළුල්ල ම නෑයන් පරිද්දෙන් සිත් ගත්හ.

මඟුල් දවස් මයිලණුවෝ නිවටුන්ට සත්කාර කරන්නෝ අපගේ යේළණියනු ත් රහතන් වැන්ද මැනවැ’යි කියා යවූහ. පිළී නැති ව හිදිනවුන් හෙයින් දකිනට විළි ඇති ව නොයෙති. දෙ තුන් විටක් කොට කියා යවා ත් නො එන හෙයින් මුසුප්පුව පියාගෙන් යන්ට විධාන කළහ. කියා ලූ විට ම යාම යුක්ති නො වන හෙයින් කෙළෙඹියන් අට දෙනා කැඳවා ලා එපවත් කිවු ය.

උයි ත් ආද්‍යන්ත විචාරා ඊ වරදක් නැති නියාව දැන ලා බුදුන් කෙරෙහි භක්ති ඇත්තවුන් නිවටුන් කරා එළඹීම යුක්ත නො වෙ’යි යනාදීන් කියා සිටාණන් ගිවිස්වා පීහ. සිටාණෝ ද තමන්ගේ ඇඹේණියන්ට ‘මූ අපගේ රහතන් ලජ්ජා නැතැ’යි කියා ලා නො වඳිති’යි කිවු ය. සිටු දුවණියෝ ද ‘මූ තමන්ගේ රහතන් ගේ ගුණ මුඛ නො පොහෝනා පරිද්දෙන් එක් වන් කියති. ගුණ ඇතැ යි කියා ලූ පමණෙකින් ම දැනේද, මුන්ගේ රහතන්ගේ ගුණ මුන් අතින් විචාළ මනා වේදැ’යි උන් කැඳවා ලා තෙපි එක් වන් තොපගේ රහතන්ගේ ගුණ කියව. උන්ගේ සැටි කවරේ ද, උන්ගේ ස්වරූප අපට කියව’යි කීහ.

ඉක්බිත්තෙන් කුඩා සුභද්‍රාවෝ ද බුදුන්ගේ ත් බුදු සවුවන්ගේත් ගුණ කියන්නාහු අපගේ රහතන් වහන්සේ සියලු ඉරියවුවෙහි ම නිසල පියෝ ඇති හෙයින් සන්හුන් සේක. කෙලෙස් සිත් නැති බැවින් සිතිනු ත් සන්හුන් සේක. සකසා හැඳ පෙර ව ගමන් වඩනා සේක් වී නම් දවසක් මුළුල්ලෙහි වඩිත ත්, එ ම පිය සිටිතත්, හිඳිතත්, වැද හොවිතත්, එක ද ඉරියවුවක් නපුරැ යි කියා ඉන්ට බැරි ය. සිඟා යන කලත් උවදුරක් ඇත හොත් දුර බලා පියතොත් මුත් විය දඬු පමණෙකින් වඩා නො බලන සේක. කියන බණන දෙයත් ධර්‍ම නිශ්‍රිත කථාවක් මුත් ස්වර්‍ග-මොක්‍ෂ බාධක කථා අත්හැර වසන හෙයින් මිතභාණි සේක. නැවත අපගේ රහතන්ගේ දැගුම් හැමදුම් තණ කසළ ගැනුම් ගෙත්තම් පන්නම් ආදී වූ දෙය ත් නිකසළ ය.

මෘෂාවාදාදී චතුර්විධ වාග් දුශ්චරිතයන් නැති හෙයින් දවා පිරිසුදු කළ රත්රනක් සේ තෙපුල් ඉතා යහපත. කුදෘෂ්ට්‍යාදී මලාපගමයෙන් සිත් සතනු ත් අති පවිත්‍ර ය. නැවත මේ ලෙව්හි සමහර කෙනෙක් බැලුවන්ට රිසියෙන පියෝ ඇති ව ත් අදහස් නපුරු වෙති. සමහර කෙනෙක් පියෝ නපුරු වුවත් අදහස් යහපත් වෙති. පුරා දෙක ම සම්භවන්ට නැත. අපගේ රහතන් වහන්සේ ඇතුළතිනුත් පිටතිනු ත් ඉතා යහපත් සේක. රුවන් පුරා ලූ කරඬු මෙන් ගුණෙන් ම කෙලෙස් කසලකට අවසර නො පෑ පිරී සිටිනා සේක. තව ද මෙලෝ වැස්සෝ ලාභයක් දුටු කල රත්රන් සතර වියට ලත් කටුස්සා රජ දරුවන් හා සරිගැස්සුවා සේ උඩඟු වෙති. ලද සම්පත් නට කලට මුසුප්පු වෙති. අපගේ රහතන් වහන්සේ පිළිගත යුත්තක් පිළිගන්නා කලත් පමණ දැන ම හෙයින් ලාභ ය දැක උඩඟු ත් නො වන සේක. නො ලදුම් හ’ යි මුසුප්පු ත් නො වන සේක. තව ද මෙ ලෝ වැස්සෝ කීර්තියෙක් පතළ නම් හෝ පරිවාර සම්පදාවෙක් ඇති වී නම් උඩඟු වෙති. ඒ දෙකට ම පතා නො සම්භ වී නම් මුසුප්පු වෙති. මාගේ රහතන් වහන්සේට ඒ දෙකෙයි ම අමුත්තෙක් නැත. තරාදියක් මෙන් මැදහත් ව සිටිනා සේක.

තව ද මෙ ලෝ වැස්සෝ නැති ගුණයක් වුව ත් කියා පී කල සුළං දැඩි තැන බැඳපු ආස්පතක් සේ ඉපිලෙති. නුගුණයක් කියා පු කෙනෙක් ඇත් නම් ඊට තරයේ රැහැණි වෙති. අපගේ රහතන් වහන්සේ කවුරුන් ගුණ කීවත් නු ගුණ කීවත් දෙ පක්‍ෂයෙහි ම මෙත් සිතින් සම අදහස් ඇති වතොත් මුත් ඊට ඉපිලෙන්නේ ත් නැත. මුසුප්පුත් නැති. තව ද මෙලෝ වැස්සෝ යන්තම් සැපයක් ලද්දු නම් ඒ තරපාරු කටයුත්තක් සේ සිතා ගෙන උඩඟු වෙති. දුකක් වැද ගන්නා ම මුසුප්පු වෙති. අපගේ රහතුන් වහන්සේ කර්ම ප්‍රත්‍යවෙක්‍ෂාව කොට ගෙන ඒ දෙකට ම සම අදහස් ඇති ව ගෙන වැඩ හිඳිනා සේක. යනාදීන් බුදුන්ගේ ත් බුදු සවුවන්ගේත් බොහෝ ගුණ තමන් දත් තරමෙකින් කියා නැන්දණියන් සතුටු කැරවූහ.

සතුටු වූ නැන්දණියනුත් ‘තොපගේ රහතන් අපට පාන්ට පිළිවන් දැ’යි විචාළ කල්හි ‘පිළිවනැ’යි කිවු ය. ‘එ සේ වී නම් යම් ලෙසකින් අපි උන් දකුමෝ නම් එ ලෙසක් කරව’යි කිවු ය. උයි ත් යහපතැ යි බුදු පා මොක් මහ සඟනට දන් සරහා ලා මාළිගාවේ මතුමාලේ සිට දෙව්රම් වෙහෙර දිසාවට මූණ ලා ලා පසඟ පිහිටුවා වැඳගෙන බුදුගුණ සඳහන් කොට මල් පුදාලා සෙට දවසට බුදු පාමොක් මහ සඟනට ආරාධනා කෙරෙමි. මේ සලකුණෙන් මා ආරාධනා කළ නියාව බුදුහු දන්නා සේක්ව’යි කියා ලා දෑ සමන් මල් අට මිටක් ආසට දමා ලූ ය. මලු ත් පලා ගොසින් සිවුවනක් පිරිස් පිරිවරා දෙව්රම් වෙහෙර බණ වදාරන බුදුන් හිස් මුඳුනෙහි මල් වියනක් ව සිටියේ ය. අනේපිඬු මහ සිටාණෝ බණ අසා ලා සෙට දවසට බුදුන්ට ආරාධනා කළහ. ‘සිටාණෙනි, සෙටයට අපට ආරාධනා ඇතැ’යි වදාළ සේක. ‘මට පෙරාතුව ආ කෙනකුත් නැත. ආරාධනා කොළෝ කවුරු දැ’යි විචාළහ.

‘තොපගේ දුවණියෝ කුඩා සුභද්‍රාවෝ ය’යි වදාරා, ‘ඇයි ස්වාමීනි, මදූ කුඩා සුභද්‍රාවෝ මෙ තැනට සාර සිය අසූ ගවුවෙකින් ඔබ්බෙහි වේද? උන් ආරාධනා කරන්නේත් මුඹ වහන්සේ ඉවසා වදාරන්නේ ත් කෙ සේ දැ’යි විචාළ කල්හි ඒ වදාරන බුදුහු ‘සිටාණෙනි, රැස් කළා වූ කුසල් මුල් ඇති මහ පින් ඇති සත් පුරුෂයෝ දුර වූ නමුත් සාර සිය අසූ ගවුවෙකින් ඔබ්බේ හුන් කුඩා සුභද්‍රාවෝ අපගේ නුවණැසට පෙනුණා සේ පහළ වෙති. කුමක් මෙන්ද යත් - තුන් දහසක් යොදුන් දිග ඇති, එ පමණ පළල ඇති නව දහසක් යොදුන් වට ඇති, පන්සියයක් යොදුන් උස ඇති, සුවාසූ දහසක් පමණ රුවන් කුළින් හෙබියා වූ හිමාල ය පර්වතය දුර සිටියවුන්ට ත් පෙනේද - එ මෙනි. යම් කෙනෙක් පරලොව අත් හැර මෙ ලොවම ගරු කරන පවිටු පුද්ගලයෝ සර්වඥවරයන්ගේ දකුණු දණ මඬල ගාවා හුනත් නො පෙනෙති. කුමක් මෙන් ද යත් - රෑ අඳුරෙහි වලට විද පූ හී දඬු මෙන් උපනිශ්‍රයක් නැති බැවින් නො පෙනෙතී’ වදාළ සේක.

ශක්‍රයෝ ද බුදුන් කුඩා සුභද්‍රාවන්ගේ ආරාධනාව ඉවසූ නියා ව දන විස්කම් දෙව් පුතුන්ට කුළු ගෙවල් පන් සියයක් විචර මවා ලා බුදු පාමොක් සඞ්ඝයා වහන්සේ උග්ග නුවරට වඩාලව’යි විධාන කළහ. විස්කම් දෙවිපුත් ද උදාසනම කුළු ගෙවල් පන් සියයක් මවා ලා දෙව්රම් වෙහෙර වාසල ගාවා සිටුවා ලී ය. බුදුහු ත් සුභද්‍රාවන් කියා ලූ ගුණ ගිය වහන්දෑගෙන් ම පෙනෙන ලෙසට රහතන් ම පන්සියයක් තෝරා ලා පිරිවර සහිත ව කුළු ගෙවල වැඩ හිඳ උග්ග නුවරට වැඩි සේක. උග්ග සිටාණෝත් සහපිරිවරින් පෙර මඟ බල බලා සිටි තැනැත්තෝ සුභද්‍රාවන් කියා ලූ ලෙසට මහත් වූ බුද්ධානුභාවයෙන් බුදුන් වැඩි නියාව දැක පහන් සිත් ඇති ව සුවඳ මල් ආදියෙන් පූජා කෙරෙමින් වැඳ ආරාධනා කොට ගෙන සතියක් මුළුල්ලෙහි මහ දන් දුන්හ. බුදුහු ත් උන් හැම දෙනාගේ ම අදහස් බලා රුචි බලා දෙන බතක් මෙන් බණ වදාළ සේක. උග්ග සිටාණන් ඇතුළු ව සුවාසූ දහසක් දෙන නිවන් දුටහ. බුදුහු ත් සුභද්‍රාවන් කෙරෙහි අනුග්‍රහයෙන් ‘තෙපි මුඹ රඳව’යි කියා ලා අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ රඳවා ලා සැවැත් නුවරට ම වැඩි සේක. එ වක් පටන් එ නුවර ඇත්තෝ සැදෑ ඇති වූහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් සත් පුරුෂොපාශ්‍ර ය නො හැර උන්ගේ අනුශාසනාවෙහි පිහිටා නිවන් පුර අත් කටයුතු.