තව ද ප්‍රතිපත්තියෙහි විසීම මඳ ව හෝ ගං ආදියෙන් එ තරව ගත නො හෙන්නවුන් පෙරළා ආ පස්සේ යන්නා සේ ශාසනාභිරති ය මඳව ගිහි වියටි වෙත් නම් ශාසනාභිරතිය කරවනු නිසා වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේගේ වස්තුව දක්වමු.
කෙසේද යත් -
ඒ භික්ෂූන් වහන්සේ විසල් මහ නුවර රජ්ජුරු කෙණෙක වාරයෙන් පැමිණි රාජ්‍ය ය හැර මහණ වූ සේක. විසල් මහ නුවර ත් හිල් මස මැදි පොහෝ දවස් කාර්තිකොත්සව ය රාත්‍රි ය මුළුල්ලෙහි පවත්නා කල්හි විසල් මහ නුවර සත් දාස් සත් සිය සත් දෙනකු පමණ වොටුනු පළන් රජුන් හා එ පමණම යුව රජ සෙනෙවිරත් ආදීන් නො එක් වෙස් ගෙන සැරසී උත්සව නිසා විථිවලට බට කල්හි සැට රියන් පමණ සක්මන සක්මන් කරන ඒ තෙරුන් වහන්සේ පසළොස්වක් දවස් පයියකින් මෑත් කළ රිදී කැට පතක් වැනි වූ පුන් සඳ මඬල දැක සක්මන් කෙලවර පෝරුවෙහි වැතිර ගෙන සිටි සේක් -
“එකකා මයං අරඤ්ඤ විහරාම - අපවිද්ධංව වනස්මිං දාරුකං,
එතාදිසිකාය රත්තියා - කොසුදා’නි අම්හෙහි පාපියො”
යනු හෙයින් ආභරණ ලා සැරහීමක් නැති ව සිටි හෙයින් තමන් වහන්සේ වල දමා පූ දඬු කඳක් මෙන් සිතාගෙන අපට ත් අඩු තරම තැන් ඇත් දෝ හෝ’ යි සිතී ගොසින් අපිස් සතොස් ගුණෙන් යුක්ත වුවත් මහ වත යෙමින් සිට වල් හසරකට යන්නා සේ නිවන් පුරයට මහ වත් වූ පිළිවෙත් මඟ යෙමින් සිට උකටලී වල් හසරට නික්මෙන්ට සිතා පී සේක. ඒ වේලාවට ඒ වෙනෙහි වසන දෙවියෙක් උන්දෑ ලා[1] බුදුන් කරා යවනු නිසා-
“එකකො ත්‍වං අරඤ්ඤෙ විරහසි - අපවිද්ධංව වනස්මිං දාරුකං
තස්ස තෙ බහුකා පීහයන්ති - නෙරයිකා විය සග්ගගාමිනං”
යන ගාථාව කී ය. උන් වහන්සේද ඒ ගාථාව අසා උකටලි ය ත් තුනී ව බුදුන් කරා ගොසින් වැඳ ගෙන වැඩ හුන් සේක. බුදුහු ත් උන් වහන්සේගේ අදහස් දැන ලා ගිහි කම්කටුලෙහි දුක් හඟවනු නිසා දුක් පසක් වදාරන සේක් ‘හෙම්බල මහණ, සියයෙන් මෑත වූ යන්තම් සැපතක් හෝ දාසින් ඔබ්බේ වූ බොහෝ සම්පත් හෝ හැර මැඳ වූ ත් බොහෝ වූ ත් නෑයන් සියන් හැර පියා මේ සස්නෙහි ල දී මහණ වීම ත් එ බඳු අදහස් ඇති ව මුත් බැරි හෙයින් දුක. දුකින් මහණ වුවත් සිඟා වැළඳීම් හා වත් පිළිවෙත් පිරීම් හා බැරි හෙයින් එයි ත් දුක. ගිහිගෙයි වසන කල රජ දරුවන්ට රාජකාරි ය හෝ කළ මැනව. පොහොසත් කෙනකුන් නිසා වසතොත් උන් කියා ලූ දෙය ත් කළ මැනව. තමා නිසා වසන්නවුනු ත් රැක්ක මැනව.
සිල්වත් වූ මහණ බමුණන්ට සංග්‍රහ කළ මැනව. එ හෙයින් ගිහි ගෙයි විසීම නම් සිල් කළයක් මෙන් ද, මහ මුහුදක් මෙන් ද පුරා ලිය නො හැක්ක. එ හෙයින් ගිහි කම්කටුලු ත් දුක. තව ද ගිහින් වුවත් ශාසනිකයන් වුව ත් ජාති ගෝත්‍ර කුල භෝගාදීයෙන් හා බහුශ්‍රැතත්‍වාදීන් හරිගස්වා හිඳිත් නම් වාද විවාදයට මුත් අනිකකට අවසර නැති හෙයින් එයි ත් දුක. ඒ හැමට ත් වඩා යම් කෙනෙක් සසර රඳා හිඳීම කැමැති වූ නම් දුක් නම් ඒ ය. යම් කෙනෙක් මේ දුක් මුළුල්ල ම හළ වූ නම් යහපතැ’ යි වදාළ සේක. දේශනා කෙළවර ඒ භික්ෂූන් වහන්සේද පස් තැනක ම දක්වා ලූ දුකින් ඔරම්භාගිය වූත් සංයෝජනයන් පස් දෙනා නසා රහත් වූ සේක.
එ හෙයින් නූවණැත්තා වූ සත් පුරුෂයන් විසින් සසර දුක් සලකා කුසල්හි හැසිර සියලු දුක් ගෙවා නිදුක් ව නිවන් අත් කටයුතු.
-
උද්දා ලා - උද්දලා ↑