තව ද සම්‍යක් දෘෂ්ටික වීමෙහි යහපත හඟවන්ට දාරුසාකටිකයන් ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
රජගහා නුවර සම්‍යක් දෘෂ්ටි කෙනකුන්ගේ ත් මිථ්‍යාදෘෂ්ටි කෙනකුන්ගේ ත් බාල දරුවෝ දෙදෙනෙක් ගුළ කෙළි කෙළිති. ඉන් සම්‍යක් දෘෂ්ටික තැනැත්තන්ගේ පුතණුවෝ ගුළ කෙළි කෙළි නා කල හූවට දමන ගමනේ ම බුදු ගුණ සඳහන් කෙරෙමින් හූවට දමති. මිථ්‍යාදෘෂ්ටික තැනැත්තන් ගේ පුතණුවෝ හූවට දමන කල පූරණ කාශ්‍යපාදීන්ට නමස්කාර කොට හූවට දමති. ඉන් බුදුන්ට නමස්කාර කොට ලා හූවට දැමූ තැනැත්තෝ හැම විට ම දිනති. තීර්‍ථකයන්ට නමස්කාර කළ තැනැත්තෝ පරදිති. පරදනා තැනැත්තෝ අරුන් දිනන නියා ව දැන මූ මෙ ලෙසක් කියා ලා හූවට දමා නිරන්තර ම දිනති. මම ත් එ ලෙස කෙරෙමි’ බුදුන්ට නමස්කාර කිරීමෙහි අභ්‍යාස කළහ.
එක් දවසක් අමුතු ව ලා බුදුන්ට නමස්කාර කිරීමෙහි අභ්‍යාස කළ තැනැත්තවුන්ගේ පියාණෝ ගැලක් හැර ගෙන දර සොයා යන්නෝ පුතණුවන් කැඳවා ගෙන මිල දී දර ගැලක් පුරා ගෙන එන තැනැත්තෝ නුවරින් පිටත වාසල බඩ දී ගැල රඳවාලා ගොන් උනා පියා හිඳ බත් කැවු ය. උන්ගේ ඒ ගොන් ද පළමු සේ ම මෙ තෙක් දවස් අභ්‍යාසයට නුවර ඇතුළට ම නැඟී ගියහ. ගොන් ඇති තැනැත්තෝ ද ගොන් බලා ඇවිද නුවරට ගොසින් ඉතා සවස් ව ගිය කල ගොන් දැක බැඳ ගෙන යන තැනැත්තෝ වාසල්වල යතුරු නො හෙළන තෙක් යා නො හිණ. ඌ නො යන තෙක් ම වාසල් යතුරු ලා පීහ. දර පමණක් වස්තු වූවා සේ පුතු කැටිව කැඳවා ගෙන ත් නො ගියෝ ය. පුත් පැටවා ද රෑ දවස් තනිය ම ගැල යටට වැද ලා වැද හෙව නිඳා පී ය.
රජගහා නුවර පියවින් ම යක්කු බොහෝ ව. කුමාරයෝ ද වැළිත් සොහොනක් බඩ ම හොත්හ. එ තැන්හි දී යක්කු දෙන්නෙක් ඔහු දුටුවු ය. එකෙක් මිත්‍යා දෘෂ්ටික හෙයින් ශාසනයට පටහැණිය. එක් කෙනෙක් තමන් සම්‍යක්දෘෂ්ටික හෙයින් ශාසනයට පක්‍ෂයහ. ඉන් මිථ්‍යාදෘෂ්ටිකයා ‘මේ අපට ගොදුරු වේ ද, මූ කම්හ’යි කී ය. සම්‍යක් දෘෂ්ටික තැනැත්තෝ නො කැමැත්තේ ය’යි නැවතූහ. උන් නැවතුවත් උන්ගේ බස් නො ගිවිස බාලදරුවන්ගේ පය අල්වා ගෙන ඇද ලී ය. ඌ තමන් බුදුන් සඳහන් කොට පුරුදු හෙයින් ඒ ඇසිල්ලෙහි ‘නමො බුද්ධාය’යි කිවුය. යකාත් බා ගොසින් ඉවත් ව ලා සිටියෝ ය.
ශාසන භක්තික යක්‍ෂයාණෝ ‘කළ දෑ වැරැද්දේ ය. දඬුවම්[1] කරම්හ’යි කියා ලා ‘තෝ මේ කුමරුවාට බත් ගෙන ත් දී ලා රාත්‍රිය මුළුල්ල මුරෙහි හිඳුව’යි කීහ. සම්‍යක් දෘෂ්ටික යක්‍ෂයාණන් එ තැන කුමාරයාණන්ට රකවලට සිටිය දී මිථ්‍යා දෘෂ්ටික යක්‍ෂයා නුවර ඇතුළට ගොසින් රජ්ජුරුවන් අනුභව කරන්ට ඉදි කළ බතින් රන් තළියක් පුරා ලා ගෙනා ය. ඉක්බිත්තෙන් ඌ දෙන්න උන්ගේ දෙමවුපියන්ගේ වෙස් මවා ගෙන ඌ නඟා සිටුවා පියා බත් කවා ලා බත් ගෙනා තළියේ එ පවත මුළුල්ල ලියා ලා ‘මේ අකුරු රජ්ජුරුවන් මුත් අනෙක් කෙනෙක් නො දකිත්ව’යි ඉටා ලා තළිය ද දර ගැල හස්සේ ලා ලා රෑ දෙ වරු රකවල් ගෙන සිට ලා උදාසන නැඟී ගියහ.
දෙවන දවස් රජ ගෙයි භාණ්ඩාරයෙක් අපවතැ’යි කෝලාහල කෙරෙමින් වාසල්වල යතුරු ලා ගෙන මිනිසුන් පිටත යා නොදී බලාත් නොදැක නුවරින් නික්ම ඈත මෑත බලන්නෝ දර ගැල රන් තළිය තුබූවා දැක ‘මේ සොරා ය’යි කියා ලා අර දරුවන් ගෙන ගොසින් රජ්ජුරුවන්ට පෑවු ය. රජ්ජුරුවෝ ද තමන්ගේ තළියේ තුබූ අකුරු දැක ‘දරුව, මේ කුමන අකුරෙක් දැ’යි විචාරා ‘මම, ස්වාමීනි, නොදනිමි. අපගේ දෙමවුපියෝ ගොසින් මා බත් කවා ලා රැකගෙන හුන්හ. මම ත් මාගේ මවුපියෝ ම ය’යි සිතා භයක් නැති ව නිදා පීමි. මා දන්නේ මෙතෙකැ’යි කී ය. දෙමවුපියෝ ත් පුතණුවන් රජ ගෙට ගෙන ගිය හෙයින් රජ ගෙට ගියහ. රජ්ජුරුවෝ උන්ගෙනු ත් වෙන ම පවත ත් අසා උන් තුන් පක්‍ෂයම කැඳවා ගෙන බුදුන් කරා ගොසින් සියලු ම පවත් බුදුන්ට දන්වා ලා ‘ස්වාමීනි, තුනුරුවනින් බුදු රුවන් සඳහන් කිරීමෙන් ම රක්‍ෂාව වේ ද ? ධමුරුවන් සඟුරුවනුත් සිහි කල යහපත් දැයි විචාළෝ ය.
බුදුහු ත් ‘මහරජ, හුදෙක් බුදුන් සඳහන් කිරීම ම රක්‍ෂා ය’යි කියන්නේ කිම්ද? බුද්ධානුස්මෘති ආදිවූ සයෙක් යම් කෙනකුන්ගේ සිත්හි හට ගෙන තිබේ නම් උන්ට මන්ත්‍රෞෂධාදියකින් ප්‍රයෝජන නැතැ’යි වදාරා ලා ඒ සය විභාග කොට වදාරන සේක්- ‘යම් කෙනෙක් දාවල් වේ ව යි, හිඳිනා කල වේ ව යි, සිටිනා කල වේ ව යි, යන කල වේ ව යි, එන කල වේ ව යි, කන කල වේ ව යි, බොන කල වේ ව’ යි නව අරහාදී බුදු ගුණ සිහි කෙරෙත් ද, නැවත නව ලොවුතුරා දහම්හුගේ පෙළ ධම් හා සමඟ දස වැදෑරුම් වූ දහමෙහි ගුණ සිහි කෙරෙත් ද, තව ද සියල්ලවුන් කෙරෙහි පතළ කරුණා ඇති සැරියුත්-මහ මුගලන් දෙ අග සවු පරම්පරාවෙන් ආ සු පිළිපන් සඞ්ඝයාගේ ගුණ සිහි කෙරෙත් ද, නැවත කා ගියා සී කමටහන් එක් වන් මෙනෙහි කෙරෙත් ද, තව ද සියල්ලවුන් කෙරෙහි පතළ කරුණා ඇත්තෝ ද, තව ද සියල්ලවුන් කෙරෙහි මෙත් ඇත්තෝ ද, එ සේ වූ බුදු සවුවෝ නිදන කල ත් මෙ ම මෙනෙහි කෙරෙමින් සුව සේ නිදා පුබුදිනා කලත් මේම මෙනෙහි කෙරෙමින් සුව සේ පුබුදිතී’ වදාළ සේක. දේශනා කෙළවර ගුළ කෙළියෙන් දිනන්ට වුව ත් බුදු ගුණෙහි අභ්‍යාස කළ කුමාරයෝ ත් උන්ගේ දෙමවුපියෝ ත් එ දවස් සෝවාන් ව පසු ව සසුන් වැද මහණ ව රහත් වූ හ. තවත් බොහෝ දෙනාට මේ දේශනා ව සප්‍රයෝජන වී ය.
එ හෙයින් නුවණැත්තවුන් විසින් සෙසු පින් බැරෑරුම් වී නමුත් තුනුරුවන්හි ගුණ පමණක් සැලකීම හා කා ගියා සී භාවනාව හා සියල්ලන් කෙරෙහි කරුණා පමණක් හා මෙත් පමණක් වුව ත් ඇති ව සසර දුක් ගෙවන්ට උත්සාහ කටයුතු.
-
හඬුහම් ↑