තව ද නිවන් පුරයට මං දක්වනු සඳහා ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ ගේ වස්තු දෙක පඞ්ක්තීන් දක්වමු.
කෙ සේ ද යත් -
එක් දවසක් බුදුන් දවල් වැඩ හිඳිනා තැන වැඩ හුන් කලට බොහෝ ආගන්තුක වහන්දෑ අවුත් බුදුන් වැඳ ලා එකත් පස් ව හුන් සේක. ඒ වේලාට ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ බුදුන් වැඩ හුන් තැනින් වඩනා සේක. බුදුහු ද ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ දැක ආගන්තුක වහන්දෑ සිතූ සිතිවිල්ල දැන ‘මහණෙනි, මේ මහණ මවුපියන් මරා නිදුක් ව වසන්නේ ය’යි වදාරා ඒ වහන්දෑ බුදුන් වදාරන්නේ කිම් දැ යි සැක ව ඔවුනොවුන් වහන්සේ මූණු බලා ‘ස්වාමීනි, වදාරන්නේ කිම්දැ’යි කී කල්හි බණ වදාරන බුදුහු ‘හෙම්බා මහණෙනි, සත්‍වයන් තුන් භවයෙහි උපදවන හෙයින් මවක වැනි හෙයින් තෘෂ්ණාව මවු නම් වෙයි. ‘මම අසවල් රජ්ජුරුවන්ගේ පුතණු වෙමි. අසවල් අමාත්‍යයාණන්ගේ පුතණු වෙමි. මන්[1] උපදනා හෙයින් පියාණකෙනකුන් වැනි හෙයින් මාන ය පිය නම් වෙයි.
‘ලෝ වැස්සන් රජ දරුවන්ට අයති වන්නා සේ සියලුම දෘෂ්ටියෙක් ඇත් නම් ශාශ්වත දෘෂ්ටි-උච්ඡේද දෘෂ්ටි දෙකට අයති වෙයි. එ හෙයින් ඒ දෘෂ්ටි දෙක ප්‍රාධාන්‍යයෙන් රජ දරුවන් වැනි හෙයින් රජ දරුවෝ දෙ දෙනෙක් නම් වෙයි. දෙළොස් ආයතනයේ පැතිර පැවතීම් අර්ථයෙන් රට වැනි හෙයින් රට නම් වෙයි. සන්තාන වර්ති වූ රාග ය සියල්ලෙක ම බැඳෙන හෙයින් රට විචාරන ධුරයකු වැනියහ. එ හෙයින් තුලූ අර්හත් මාර්‍ග ඥාන නමැති කඩුවෙන් තෘෂ්ණා නමැති මෑණියන් ද, මාන නමැති පියාණන් ද; දෘෂ්ටිද්වය නමැති රජ දරුවන් දෙන්නා ද රාග නමැති රට විචාරන ධුරයා ද නසා නිදුක් ව සුව සේ ඇවිදිතී’ වදාළ සේක. දේශනා කෙළවර බුදුන් දකින්ට අමුතු ව ගිය වහන්දෑ රහත් වූ සේක.
තව ද එක් දවසක් බුදුන් වැඩ හුන් තැනට අමුතු වහන්දෑ වැඩි සේක. එ දවසු ත් බුදුන් ලඟින් වඩිනා ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ දැක වහන්දෑ බණවා ලා ‘මහණෙනි, තෙල මහණ දෙමවුපියන් මරා නිදුක් ව වෙසෙයි’ වදාළ සේක. වහන්දෑ ද එ බසෙයි නීතාර්ථය මුත් නෙය්‍යාර්ථය දත නොහී ‘ස්වාමීනි, කුමක් වදාළ නියා දැ’යි විචාළ සේක. බුදුහු ත් ඒ මුඛයෙන් වහන්දෑට බණ වදාරන සේක් ‘හෙම්බා මහණෙනි, තෙල මහණ මවක වැනි වූ තෘෂ්ණාව ද, පියකු වැනි වූ මාන ය ද, රජ දරුවන් දෙ දෙනකු වැනි වූ දෘෂ්ටිද්වය ද උපද්‍රව සහිත මඟක් වැනි වූ විචිකිත්සා නීවරණය ද තත් මුඛයෙන් සෙසු නීවරණ ද රහත් මගින් නසා නිදුක් ව වෙසෙතී’ වදාළ සේක. දේශනා කෙළවර ඒ වහන්දෑ රහත් වූ
සේක.
එ හෙයින් නුවණැත්තවුන් විසින් මවක වැනි ය යි කී හෙයින් තෘෂ්ණායෙහි ත් පියකු වැනි ය යි කී හෙයින් මානයෙහි ත් කරන මමායන ය හැර රජ දරුවන් වැනි ය යි කී හෙයින් දෘෂ්ටි දෙක ත් භජන ය නොකොට රට විචාරන ධුරයකු වැනි ය යි කී හෙයින් රාග සන්නිශ්‍රිත ත් නො ව උපද්‍රව සහිත මඟක් වැනි වූ පස් නීවරණයන් කෙරෙන් දුරු ව මවුපියන්ට ත් වඩා රජ දරුවන්ට ත් වඩා රට නායකයන්ට ත් වඩා සියලු ලෙසින් නිරුපද්‍රව වූ නිවන් ම අත් කටයුතු.
-
මුන් ↑