තව ද ශීල සමෘද්ධ්‍යාදී ගුණ මණ්ඩනයෙන් මුත් පාත්‍ර චීවරාදී පරිෂ්කාර මණ්ඩනයෙන් ප්‍රයෝජනයක් නැති නියාව හඟවන්ට භද්දිය නුවර වහන්දෑ ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
භද්දිය නුවර වහන්දෑ ශික්‍ෂා පූරණ ය කුම් වුව ත් පරිෂ්කාර මණ්ඩනයෙහි නිරත ව වසන සේක. වහන්දෑ එ පවත් බුදුන්ට දැන් වූ සේක. බුදුහු ඒ වහන්දෑට නිග්‍රහ මුඛයෙන් හික්මවනු නිසා දොඩා වදාරා ‘මහණෙනි, තෙපි නො කළ මනා දෙයෙහි හැසිරෙන්නෝ හැයි දැ’යි වදාරා බණ වදාරන සේක් ‘හෙම්බා මහණෙනි, මහණ වූ තැන් පටන් අත්‍යන්ත පරිශුද්ධ සීලයෙහි පිහිටා ධුරද්වයෙහි හැසිරීමෙන් නො පමාව ධුතාඞ්ග පිරිමැස්ම ත් ඇති ව ශික්‍ෂා පූරණයෙහි තර වූ වොත් කට යුතු ය. ඒ හැර කැප සරුප් ච තිබෙන මිටි පතට කැත ඇති ව පිල් කර්මාන්ත ආදියෙන් සරහා කුඩ ඉදි කිරීම, වහන් හා මරවැඩි ඉදි කැරවීම, ඡවි නො නස්නා පමණක් හැර රිදී පත්‍ර ලෙසට පාත්‍ර සෝලු කිරීම, අනු දත් පටි දෙක හා අනුලොම් පටි හැර පටි සෝලු කැරැවීම, සිවුරු උතු ගාවා බැබළවීම යනාදි ය ශාසනිකයන් කළ මනා දෙයෙක් නො වෙයි. තොප හැම කරන ලෙසින් ඒ හැම කළ මනා වා සේ ත් සෙසු වුව මනා කටයුත්තක් නො කළ මනා ලෙසට තිබෙයි.
යම් කෙනෙක් කරන්ට කී ලෙස තබා ලා මේ ලෙස කෙරෙ ත් නම් මන් නමැති නළ පුප්වා ගෙන ඇවිදිනා උන්ට චතුරාශ්‍රවයෝ ම වඩිති. යම් කෙනෙක් කා ගියා සී කමටහනයෙහි යෙදී වෙසෙත් නම් තමන් කළ මනා දෙයෙහි ම යෙදුණු හෙයින් කිසි ලෙසකිනු ත් නො කළ මනා දෙයෙහි නො හැසිරෙති. සිහි නුවණ ඇති ව වසන්නවුන්ට ආශ්‍රවයනු ත් කට හෙන දෑ නැත. අනුන් නසන්නට ඇති වත් අන්තයෙහි තුමූ ම නසිති’ වදාළ සේක. දේශනා කෙළවර ඒ වහන්දෑ රහත් ව පරිෂ්කාර මණ්ඩන ය හැර ගුණ මණ්ඩනයට පටන් ගත් සේක.
එ හෙයින් සත් පුරුෂයන් විසින් නිවන් පුර යනු කැමැතොත් කුසල් මහ වත සරහනු මැනවි.