21. සාමාවතීන් ගේ කථාව

star_outline

මෙ සේ ම ඝෝෂක සිටාණන් පහළ වූ සමයෙහි භද්‍රවති නම් නුවර භද්‍රවති නම් සිටාණෝ ඝෝෂක සිටාණන් හා එක් ව ඔවු නොවුන් නොදැක ම මිත්‍ර ව ඉඳිති. ඒ දෙ දෙන ම ඔවුනොවුන් ගේ රටින් ආවා වූ වෙළඳුන් අතින් ඔවුනොවුන්ගේ සම්පත් හා වයස් පමණ අසා ඔවුනොවුන්ට පඬුරු යවා මිත්‍ර කම ස්ථිර කොට ගෙන වෙසෙති. එ සමයෙහි භද්‍රවතිය සිටාණන්ගේ ගෙයි අහිවාතක නම් රෝගයෙක් උපන. ඒ රෝගය උපන් කල්හි පළමු ඒ ගෙයි මැස්සෝ මියෙති. එ තැන් පටන් අනුක්‍රමයෙන් ගෙයි වසන සුහුණෝද, මීයෝද, කුකුළෝද, බළල්ලුද, බල්ලෝ ද, ගව, මී ආදීහු ද, දැසි දස් ආදී වූ කම් කාරයෝ ද, මියෙති.

සියල්ලවුන්ට පසුව ගේ හිමි මනුෂ්‍යයෝ මියෙති. ඔවුන් අතු රෙන් යම් කෙනෙක් භිත්ති බිඳ ගෙන ගියාහු වී නම් ඔහු ජීවත් වෙති. එ සේ හෙයින් සිටාණෝ තමන්ගේ දාසි දාසාදීන් ඇතුළු ව හැම දෙන රෝගයෙන් මියන්ට වන් කල්හි ඇඹේණියන් හා දියණියන් කැඳවා ගෙන ගෙයි භිත්ති බිඳ ගෙන නික් ම ‘අප ගේ මිත්‍ර වූ කොසඹෑ නුවර ඉඳිනා ඝෝෂක සිටාණන් නිසා ජීවත් වම්හ’යි සිතා මඟට පිළිපන්හ.

ඔවුන්ට අන්තර මාර්‍ගයෙහි ම මාර්ගොපකරණ නිමා ගිය හෙයින් ඉතා දුර්‍වල ව අවු සුළඟින් හා සා පිපාසායෙන් පීඩිත ව ක්ලාන්ත වූ ශරීර ඇති ව මහත් වූ දුකින් කොසඹෑ නුවරට පැමිණ පැන් ඵාසු තෙනකට බැස ඉස් සෝධා නහා නුවර වාසල් දොර සමීපයෙහි එක් ශාලාවකට වන්හ. එ තැන්හි සිටාණෝ ඇඹේණියන් කැඳවා කියන්නාහු ‘සොඳුර, මෙ සේ ඉතා අනාථ වශයෙන් ගිය කල වැදූ මව වී නමුත් ප්‍රිය ව නො බලන්නාහ. එ බැවින් මෙ බඳු දුර්‍වල වේශයෙන් ගොසින් අපගේ මිත්‍රයාණන් කෙ සේ දකුමෝ දැ’යි ‘ඒ අපගේ මිත්‍රයාණෝ දවස් පතා දහසක් වියදම් කොට දන් දෙත් ල. ඔවුන්ගේ දන් හලට අපගේ දියණි. යන් යවා දන් බත් ගෙන්වා ගෙන කා බී මඳක් ශරීරය පුෂ්ටි කොට ගෙන කීප දවසක් සැතපී ගෙන ගොසින් යහළු සිටාණන් දකුම්හ’යි කීහ. එ තෙපුල් අසා සිටු දියණියන් ‘යහපතැ’යි ගිවිසි කල්හි එදවස් එ ම ශාලාවෙහි ම වැස දෙවන දවස් දියණියන් දන් හලට යවූහ.

බොහෝ සම්පත් ඇති කුලෙහි උපන් ඒ සිටු කුමාරිකාවෝ දුකට පැමිණ ලජ්ජා ශුණ්‍ය වුවත් ලජ්ජාව කරබා ගෙන තළියක් අතින් ගෙන සිඟන මිනිසුන් හා සමග අහර සඳහා ගොස් සිඟා සිටියාහු ‘තොපට කී කොටසක් වුව මනා දැ’යි කී කල්හි ‘තුන් කොටසක් වුව මැනවැ’යි කියා තුන් කොටසක් ගෙන අවුත් මවු පියන් හා එක් ව බත් කන්ට බැස උන්හ. එ කල මෑණියෝ ‘දුක් නම් දෙය මහතුන්ට ත් වන දෙයෙක. මුඹ වහන්සේ ජීවත් වුවහොත් අපි ත් සුව සේ ජීවත් වම්හ. අප නො බලා මුඹ වහන් සේ මේ ආහාර ය කැව මැනවැ’යි කියා සිට සිටාණන් බඩ පුරා බත් කැවූහ. සිටාණෝ දවස් ගණනක් බත් නොකා සිස් බඩ හෙයින් බත් බොහෝ කොට කා ලා දිරවා ගත නොහී එ ම දවස් අළුයම් වේලෙහි ම මළහ. මෑණියන් හා දියණියෝ ද යන දෙන්න ශෝකයෙන් හඬා වැලප මිනි ය දවා දෙ වන දවස් මෑණියෝ ශාලාවේ හිඳ සිඟා යවූහ. එ දවස් දියණියෝ ‘තොපට කී කොටසක් වුවමනා දැ’යි කී කල්හි දෙ කොටසක් වුව මැනවැ’යි ගෙන අවුත් තමන් ගේ මෑණියන් යාඥා කොට බත් කැවූ හ. මෑණියෝ ද බත දිරවා ගත නො හී ඵ දවස්හි ම කාල ක්‍රියා කළහ.

කුමාරිකාවෝ උදෙකලා ව ම හඬා වැලපී දෙමවුපියන් මළ ශෝක දුක් හා ආහාර වෛකල්‍යයෙන් උපන් දුක් හා දෙ දුකින් ඉතා සය ඉවසිය නොහී දෙ වන දවස් හඬ හඬා යාචකයන් හා එක් ව අහර නිසා ගොස් සිටියාහු ‘අද කී කොටසක් වුව මනා දැ’යි කී කල්හි ‘එක් කොටසක් වුව මැනැවැ’යි කීහ. දන් විධාන කරණ කෙළෙඹියා පළමු දෙ දවස් දෙ පරිද්දෙකින් ගෙන තුන් වන දවස් එක් කොටසක් ගත් බව දැන ‘පෙරෙචි දා තුන් කොටසක් ගතු ව. ඊයේ දෙ කොටසක් ගතු ව. අද එක කොටසක් ගන්ට කාරණ කිම් දැ’යි තොපගේ කුස පමණ දත්තේ අද දවස් දැ’යි කී ය.

ලජ්ජා සම්පන්න වූ සිටු දියණියෝ ඒ වචන ය අසා මර්‍මස්ථානයක පහළ ආයුධ ප්‍රහාරයක් මෙන්ද, වණයෙක ක්‍ෂාරොදකයක් වත් කළ කලක් මෙන් ද ලජ්ජා ක්‍ෂමා කොට ගත නො හී කියන්නාහු ‘ස්වාමීනි, මට මමා ගත්තෙ කොටසෙක් නො වෙයි. මා ගේ මෑණියන් හා පියාණන් හා දෙන්නා ඇති දවස් උන්ට ත් මට ත් තුන් කොටසක් ගත්මි. අද මා උදෙකලා හෙයින් එක කොටසක් ගත්මී’ කියා ආදියෙහි පටන් තමන්ගේ මවු පියන්ගේ භා තමාගේ හා ස්වරූප වූ නියායෙන් ඇති සැටියේ ම කීහ. ඒ සියල්ල ම දන් විධාන කරණ කෙළෙඹි පුත්‍රයා අසා කඳුළු ධරා ගත නො හී ශෝකයෙන් හඬා වැලප සිටු දියණියන් ළඟට කැඳවා සිඹ සනසා ‘තොප භද්දවතිය සිටාණන් ගේ දියණියන් පසු මාගේ ම දියණියෝ ය. දෙ මවු පියෝ මළෝ වෙද්දැ යි මෙ තැන් පටන් ශෝක නො කරව’යි අස්වසා ගෙට කැඳවා ගෙන

දු තනතුරෙහි තුබූහ.

කුමාරිකාවෝ දන් හල අරගල අසා මේ අරගල සන්හිඳුවා දන් දිය නො හැකි දැ’යි විචාරා ‘නො පිළිවනැ’යි කී කල්හි ‘මම උපදෙසක් කියමි’ කියා ‘මේ දන් හල එකකු වැද පිටත් වන පමණ දොර දෙකක් යොදා එක් දොරකින් වැද දන් ගත්තවුන් අනික් දොරින් පිටත් ව යන්ට කිව මැනව. එ සේ කල්හි අරගල නො වෙ’යි කීහ. දන් හල විධාන කරණ කෙළෙඹියා ද ‘ඒ උපාය යහපතැ ‘යි ගිවිස එ පරිද්දෙන් දොර දෙකක් යොදා කුමාරිකාවන් කී ලෙස ම දන් දෙමින් අරගලය සන්හිඳවි ය. ඒ කුමාරිකාවෝ වනාහි පළමු නමි සාමා නම් වෙති. අරගල නො වන සේ දොර වල් යොදා වැට කර වූ හෙයින් එ තැන් පටන් සාමාවතී නම් වූහ. මෙ සේ එ තැන් පටන් දන් හල අරගල සන්හිඳින. ඝෝෂක සිටාණෝ පළමු යාචකයන් ගේ අරගල අසා “මාගේ දන් හල අරගල බොහෝය’ කිය කියා සතුටු වෙති. දෙ තුන් දවසක් අරගල නැති හෙයින් දන් දෙන මිත්ත නම් කෙළෙඹි පුත්‍රයා තමන් කරා ආ කල්හි ‘මාගේ දන්හල අරගල නැත්තේ දන් නැති හෙයින් දැ’යි විචාරා ‘ඇම දවස් ම දන් ඇත. යාචකයෝ දන් ගනිති’ කී කල්හි ‘එ සේ කල දැන් දෙ තුන් දවසක් නිශ්ශබ්ද ව තුබූයේ කුමක් නිසා දැ’යි විචාරා ‘නිශ්ශබ්ද ව දන් ගන්නා සේ මම උපායක් කෙළෙමී’ කී කල්හි ‘පළමු එ සේ කුමක් නිසා නො කළා දැ’යි විචාරා ‘නො දන්නා හෙයිනැ’යි කී කල්හි, ‘දැන් තෙපි ඒ උපාය කා අතින් උගතු දැ’යි විචාරා ‘මාගේ දියණියෝ උපාය කිවු ය’යි කී කල්හි ‘තොපගේ මා නො දන්නා දියණි කෙනෙක් ඇද්දැ’යි විචාළහ.

එ කල්හි ඒ කෙළෙඹි පුත්‍රයා භද්දවතිය සිටාණන් ගේ ගෙයි අහිවාතක රෝගය ය උපන් තැන් පටන් භද්දවතිය සිටාණන්ගේ සියලු ම පවත් ඝෝෂක සිටාණන්ට කියා ඔවුන්ගේ දියණියන් තමාට දු තනතුරෙහි තුබූ බව කිව. ඉක්බිති සිටාණෝ ‘එ සේ කල මට කුමක් පිණිස නො කීයෙහි දැ’යි ‘මාගේ යහළු සිටාණන් ගේ දියණියෝ නම් මාගේ ම දියණියෝ වේ දැ’යි සාමාවතීන් කැඳවා පුත, තෙපි භද්‍රවතිය සිටාණන්ගේ දියණියෝ දැ’යි විචාරා ‘එ සේ ය. සිටාණන් වහන්සැ’යි කී කල්හි ‘එ සේ කල සැකයක් නො සිතව. තෙපි මාගේ දියණියෝ ම ය’යි කියමින් ළං කොට ගෙන සිඹ සනහා ඔවුන්ට පිරිවර කොට පන් සියයක් ස්ත්‍රීන් පාවා දී තමන්ට දූ කොට වැඩූහ.

ඉක්බිති එක් දවසෙක නුවර නකත් කෙළි නම් වූ සැණකෙළියෙක් විය. ඒ සැණ කෙළි දිනයෙහි උඩු මහලින් බිම් මහලට නො බස්න, බිම් මහලින් පිටතට නො නික්මෙන ඉසුරුමත් කුල ස්ත්‍රීහු පවා තම තමන්ගේ පිරිවර හා සමඟ පයින් ම නික්ම ගං හෝ ආදියට ගොස් සිත් සේ දිය කෙළ ඉස් සෝධා නහා මල් සුවඳ පැළඳ කෙළ ඇවිදිති. එ සේ හෙයින් එ දවස් සාමාවතී නම් කුමාරිකාවෝ ද තමන්ගේ පන් සියයක් පිරිවර ස්ත්‍රීන් පිරිවරා උත්සව කෙළියට සැරසෙන්නා සේ ඉස් සෝධා නහන පිණිස ගඟ බලා රාජාඞ්ගණයෙන් නික්මුණාහ. උදේනී රජ්ජුරුවෝ සී මැඳුරු කවුළුව සමීපයෙහි සිටියාහු ඔවුන් දැක මොහු කවුරුන්ගේ නාටක ස්ත්‍රිහු දැ’යි විචාරා කිසි කෙනෙකුන් ගේ ත් නො වෙයි කී කල්හි ‘එසේ කල මොහු කවුරුන්ගේ දරුවෝ දැ’යි විචාරා ‘ඝෝෂක සිටාණන්ගේ දූ වූ සාමාවතී නම් මූ ය’යි කී කල්හි රජ්ජුරුවෝ පළමු දැක්මෙහි ම උපන්නාහු ස්නේහ ඇති හෙයින් ඵ පවත් අසා සිටාණන්ට කියා යවන්නාහු ‛තමන්ගේ දියණියන් අපගේ අන්තඃපුරයට එවුව මැනවැ’ කියා යවූහ.

සිටාණෝ ‘අපගේ දියණියෝ පාවා නො දෙම්හ. කුමක් පිණිස දැ යි යත හොත් අප ගොවීන්ගේ චාරිත්‍ර නම් අප ගේ ගැහැණු දරුවන්ට නින්දා කොට වෙහෙසා කියන බසට ලජ්ජා ඇතියම්හ. එ සේ හෙයින් නින්දා බසට භයේ නො දෙම්හ’යි කීහ. එපවත් අසා රජ්ජුරුවෝ කිපී සිටාණන්ගේ ගෙය අස් ඔබ්බවා සිටාණන් හා ඇඹේණියන් පමණක් ගෙන් පිටත් කර වූහ. සාමාවතී ඉස් සෝධා නහා අවුත් ගෙට වදින්ට අවසර නො පෙනෙන හෙයින් මේ කිම් දැ’ යි විචාරා ‘හෙම්බා පුත, රජ්ජුරුවෝ තොප තමන් ගේ අන්තඃපුරයට කැඳවා එවුව. ඒ අසා ‘අපි අපගේ දරුවන් පාවා නො දෙම්හ’යි කීම්හ. එ හෙයින් රජ්ජුරුවෝ අප ගෙය අස් ඔබ්බවා අපත් ගෙන් පිටත ලවා පු ය’යි කීහ.

එ පවත් අසා සාමාවතී ‘රජ්ජුරුවන් කී බස් නො ගිවිස්සේ නපුර. ඉදින් කියතො ත් ‘මාගේ දියණියන් ඔවුන් පිරිවර හා සමඟ ගන්නා සේක් වී නම් දෙමි’ කිය යුතු ය’යි කිව. එ තෙපුල් අසා සිටාණෝ ‘එ සේ කල, පුත, තොපගේ අභිප්‍රාය ඇත් නම් එ පරිද්දෙන් ම කෙරෙමි’යි ගිවිස සාමාවතින් කී ලෙස ම රජ්ජුරුවන්ට කියා යවූ ය. රජ්ජුරුවෝ ද ‘යහපතැ’යි ගිවිස සාමාවතීන් හා පරිවාර ස්ත්‍රීන් පන් සියය ත් රජ ගෙට ගෙන්වා ගෙන සාමාවතීන්ට අභිෂේක කොට තමන්ට අග මෙහෙසුන් තනතුරෙහි තබා සෙසු ස්ත්‍රීන් පළමු පරිද්දෙන් ම ඔවුන්ට පරිවාර ස්ත්‍රීන් කළහ.

මෙ සේ මවු පිය ආදි හැම දෙනා නට කල්හි ද පෙර කළ කුසල් ඇත්තවුන් තමන් ගේ කුසලානුභාවයෙන් සම්පත් ලද පරිදි ඇසූ සත් පුරුෂයන් විසින් සත්‍වයන්ට පිටි වහලෙක් නම් කුසල් ම යයි දැන තම තමා ශක්ති පමණින් පිළිවන් කුසල් කොට සසර සිටිනා තෙක් සියලු දෙවි - මිනිස් සම්පත් විඳින්ට උත්සාහ කටයුතු.

මේ සාමාවතීන් ගේ උත්පත්ති කථාව ය.

___________