227. කුකුළු බිජුවට කන කුමාරිකාව ගේ වස්තුව

star_outline

තව ද පාපයෙහි ආදීනව දක්වන්ට කුකුළු බිජුවට කන කුමාරිකාව ගේ වස්තුව දක්වමු.

කෙසේ ද යත්-

සැවැත් නුවරට ආසන්නයෙහි පඬු පුර නම් ගමෙක් ඇත. එහි එක් කෙවුළෙක් එක් දවසක් සැවැත් නුවරට යන්නේ අවිරවතී ගඟින් කැසුබ් බිජුවට හැර ගෙන සැවැත් නුවරට ගොසින් එක් ගෙයක දී ඒ බිජුවට පිසවා ගෙන කන්නේ ඒ ගෙයි එක් කුමාරිකාවකට ත් ඉන් එක් බිජු වටක් දින. ඔයි ත් ඒ කා ලා එ වක් පටන් අනික් දෙයක් කන්ට නො සිත යි. ඇගේ මවු ද කිකිළියක් බිජු වට ලූ තැනින් බිජුවටක් ගෙනවු ත් දුන. ඕ එයි ත් කා ලා රස තෘෂ්ණාවෙහි බැඳී ගොසින් එ වක් පටන් තොමෝ ම කිකිළියන්ගේ බිජු වට ගෙනවු ත් කයි. කිකිළිත් තමා ම ලා ලූ බිජුවට කන්නි ය දැක අනික් කට හැක්කක් නො පෙනෙන හෙයින් වෛර බැඳ ගෙන මිය ගොසින් එම ගෙයි බැළැල් ව උපන. කුකුළු බිජු වට කෑ කුඩා කෙළි ද මිය ගොසින් බඩ ලූ කුකුළු බිජු වටින් ඇති වුවා සේ එ ම ගෙයි කිකිළි ව උපන. ඈ ලූ ලූ බිජු වටෙක් ඇත් නම් ප්‍රාර්‍ථනා බලයෙන් කිකිළි බැළැල් ව උපන් තැනැත්තී ත් අවුත් ලා කයි. කිකිළි ද ‘තුන් වරෙක ලා ලූ බිජු වට ත් කා ලා ඉතිකින් මා ත් කන්නිහි වේ ද? මම ත් මෙයින් මිය තී වදාලූ දරුවනුත් තීත් කා හෙම්ව’යි පතා මිය ගොසින් දිවි දෙන්ව උපන. බැළැල් මිය ගොසින් මුව දෙන් ව උපන. ඒ මුව දෙන් වදා ලන්නා ම දිවි දෙන් අවුත් මුව දෙන වදා ලූ දරුවනු ත් මුව දෙන ත් කැව.

මෙ සේ කා ඇවිදිනාහු නැතක් කලෙක පටන් පැවැති වෛර හෙයින් පන්සියයක් අත් බැව්හි ඔවුනොවුන් කා ඇවිද්දහ. අපගේ බුදුන් සමයෙහි එක් කෙනෙක් යකිනි ව උපන්හ. එක් කෙනෙක් සැවත් නුවර කුල ගෙයක උපන්හ. ඒ කුල දුවණියන් දරුවන් වැදූ නියාවත් වැදූ දරුවන් යකින්න අවුත් කෑ නියාවත් බුදුන් කරා පැමිණි නියාව ත් කැලි නම් යකින්නණියන්ගේ වස්තුවෙහි කී ලෙසින් ම දත යුතු.

මෙහි දී බණ වදාරන බුදුහු යම් කෙනෙක් අනුන්ට දුක් එලවී මෙන් තුමූ මෙ ලෝ සුව විඳිනා කැමති වෙත් ද, ඌ තුමූ බිණව වුන්ට පෙරළා බිණීමෙන් මැරුවන් පෙරළා මැරීමෙන් යනාදීන් ඇති වූ වෛරයෙක් ඇත් නම් එක් තැනෙක තර ව වැද ගෙන යන ගින්නක් පැන් ඇති තැනකට පැමිණ නිවෙත් මුත් සෙසු ලෙසක නො නිමෙන්නා සේ බුදු කෙනකුන් කරා පැමිණියො ත් මුත් ඒ වෛරය සන් නොහිඳෙයි’ වදාළ සේක. දේශනා කෙළවර යකිනි සරණ සීලයෙහි පිහිටා පන්සිල් සමාදන් ව වෛර ය හළහ. කුල දුවණියෝ සෝවාන් ව වෛර ය හළහ. බොහෝ දෙන ද නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් වෛර ය නම් කපක් මුළුල්ලෙහි ත් වැඩියෙක ත් බොහෝ වූ අනර්ථ එළවන්නේ ය යි සිතා එ විට උපන් වෛර ය එ විට ම සන්හිඳුව ත් මුත් පසුවකට නො තබා සියල්ලවුන් කෙරෙහි මෙත් සිත් පවත්වා මෛත්‍රියෙහි අළොස[1] ලබන්ට උත්සාහ කට යුතු.

  1. මිරිවැඩි - මරවඩි