තව ද සත්‍වයන්ට සැදෑ ඇති වනු නිසා චිත්ත නම් සිටාණන් ගේ වස්තුව දක්වමු.
කෙසේද යත් -
ඒ චිත්ත සිටාණන්ගේ කථාව බාල වග දී කිම්හ. මෙතැන්හි අනඳ මහ තෙරුන් වහන්සේ ‘ස්වාමීනි, චිත්ත සිටාණන් මුඹ වහන්සේ ළඟට එන ගමනේ ම මේ සත්කාර ය ඇති වී ද? අනික් තැනකට යෙත ත් වේ දැ’යි විචාළ සේක. ‘ආනන්‍දයෙනි, මා ළඟට එත ත් ඔබ්බකට යත ත් මේ වන සැටි ම ය. හෙම්බා මූ තුමූ බලව ත් සැදෑ ඇත්තෝ ය. තුනුරුවන්හි පැහැද වෙසෙති. ඒ හෙයිනැ’යි වදාරා බණ වදාරන බුදුහු ‘යම් කෙනෙක් ලොවී වූ ත් ලොවුතුරා වූ ත්, සැදෑ ඇත්තෝ ද, ශීල ගුණෙනු ත් යුක්තයෝ ද, සැදෑ ඇති ව පින් කරන හෙයින් භජන ය කරන්නවුන් බොහෝ හෙයින් පරිවාර සම්පදා ත් ඇත්තෝ ද, තව ද ධන ධාන්‍යසම්පත්තීන් හා ආර්‍ය්‍ය ධන යම්පත්තීනු ත් සමන්විතයෝ ද, එ සේ වූවෝ ගිය ගිය යම් ම තැනෙක මේ චිත්ත නම් සිටාණන් මෙන් ප්‍රසිද්ධ වෙතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් කවර ත් කුසලට මුල් ව සිටිනා ශ්‍රද්ධාව හෙයින් අතින් මිලයක් දී ලැබ ගන්නා දෙයක් නොවන බැවින් තම තමන්ගේ ම අදහස පමණෙකින් වන දෙයක් හෙයින් සැදෑ ඇති ව කුසල්හි හැසිරිය යුතු.