තව ද ස්ථානයෙහි කරන ලද ලඝු තරම් වූ ත් පූජා සත්කාර මහත් විපාක සාදා දී ලන හෙයින් ලඝු නොවන නියාව හඟවන්ට ගඞ්ගාරෝහණ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
එක් සමයෙක දඹදිව විසල් මහ නුවර බතින් පැනින් ඉතා සමෘද්ධය. විපත්තියකු ත් ආසන්න හෙයින් රට මුළුල්ලේ වස්තු ගෙනවු ත් ලා ලූවා සේ එ නුවර පිරී සිට්ටි. අතිසුඛිත වූ බොහෝ මිනිස්සු ත් එහි ඇත. දවස එක් කෙනෙකුන්ට වන නියායෙන් එ නුවර රජකම් කරන රජ දරුවෝ සත් දාස් සත් සිය සත් දෙනෙක. උන් වසන මාළිගා ත් කුළු ගෙවලු ත් උයන් කෙළි කෙළනා උයනුත් පුෂ්පාරාම-ඵලරාමාදියත් වෙන වෙන ම සත් දාස් සත් සිය සත ම ය. වොටුනු පළන් රජුන් ම සත් දාස් සත් සිය සත් දෙනකු හෙයින් මින් එක් කෙණෙකුන්ට රාජ්‍ය පැමිණෙන්නේ එක් විසි හවුරුදු සාරමස් සත් විසි දවසක් විතර ගිය කලට ය. ඒ නුවර දිගිනු ත් පළලිනු ත් තුන් තුන් ගවු විතර ය. තුන් වරෙකින් කැටි ව විසල් වූ හෙයින් විසල් මහ නුවර ය යි නමින් ප්‍රසිද්ධ වී ය. විසල් මහ නුවර ද දඹදිව් නමැති වොටුන්නෙහි ඔබාලූ රුවන් පෙළ වැනි මාළිගාවලින් හා කුළු ගෙවලින් බබළයි. මැණික් කර්‍මාන්ත ගාවා ඔබාලූ මුතු පෙළ සේ උඩු මාල් බිම් මාල් ගෙවලින් සැදී සිටි වීථි වින්‍යාසයෙන් ම ඉතා ශෝභාවත.
භූරිදත්ත ජාතකයෙහි සමුද්‍රජාවන් තමන්ට සරණ දෙන්ට මැළි වූ නියාව අසා ධෘතරාෂ්ට්‍ර නම් නා රජ්ජුරුවන් අවුත් බරණැස් නුවර දරණ ගබින් මැඳ කළා සේ එ නුවර වට ලුවා වූ උසින් අටළොස් රියන් උස් ව සුණුවමින් බබළන පවුරු වළල්ල නම් එ නුවර රජ දරුවන්ට පැවැති කීර්ති ය ඇතුළු නුවර ජනගහන ය බලවත් හෙයින් ඉන් අවසර ලද නො හී අත් හැර යන්ට ත් මැළි ව වටා සිටියාක් වැන්න.
එනුවර වාසල් සතර නම් චතුර් විධ මාර්‍ග ඥාන නමැති වාසල් වලින් අච්ඡන්‍දික ව නිවන් පුරයට වැද්ද නො හෙන[1] ලිච්ඡවීන්ට මෙ පමණකු ත් වුව මනා වේදැයි ලවා ලූ වාසල් වැන්න. එ නුවර පොකුණු නම් විවසුන් නමැති දියෙන් පිරී සිටිනා පඤ්චවිධ විමුක්ති නමැති පස් පියුමෙන් ගැවසී ගත් නිවන් විලට බැස නා පියා නො හෙන්නවුන්ට මෙ පමණකුත් ඇත මනා වේ දැ’යි කළාක් වැන්න. තපෝවනයට වැද්ද නො හෙන්නවුන්ට මෙ පමණකු ත් ඇත මනා වේ දැ යි ඇති කළාක් වැනි වූ මල් පල් ලෙන් ගැවසී ගත් පුෂ්පාරාම-ඵලාරාම ත් ඇත.
එ සේ වූ නුවර කලක දි ඒ නුවර වසන්නවුන්ගේ පුරා කෘත අකුසලයට අවසර පානාක් මෙන් සායෙක් ගසා පියා බත් පැන් නැති වි ය. බත් බිජු වට නැති ව ගොයම් කරන්නවුන් නැති හෙයින් ගොයමු ත් නැති ව සාය තර වත් වත් නියඟට පෙරාතු නොවන හෙයින් දෙසි ගස් මියන්නා සේ පළමු කොට බත් පැන් නො ලදින් දුක් පත්තු මියන්ට වන්හ. ඇඟ හුණු පණුවන් දවන්ට මැළි කරන්නා සේ ඒ ඒ තැනට දමා පූ මිනී කුණෙයි ගදින් එළවුවට එන්නවුන් මෙන් යක්කු නුවරට හඬා වන්හ. බත් පැන් නැති තැනට යකුන් ඇති වූ හෙයින් මිනී මස් ලබන්ට යකුන්ගේ දෛව බොහෝ වූවා සේ බොහෝ දෙන මියන්ට වන්හ. කුණප ගන්ධ ය බොහෝ ව ගොසින් එයිත් මුල්ව දුකට නො තබා නිමවන්ට කරන්නා සේ සත්‍වයන්ට අභිවාතක ලෙඩ ඇති වි ය. මෙ භය තුන විසල් මහ නුවරට සෙණ තුනක් මෙන් පහළ වි ය.
භයින් තැති ගත් නුවරවැස්සෝ නො මිය රඳා හුන් කෙනෙක් රැස් ව එ දවස් රජ කරන රජ්ජුරුවන් කරා ගොසින් ‘මහ රජ, මෙ නුවර මුහුද හඬ කෙවිලියන්ට නො දැනෙන්නා සේ මුඹ වහන්සේට නොදැනෙන බව මුත් එකි එකී භය ම සත්‍ව විනාශයට සෑහෙන තරම් දුර්භික්‍ෂ භයා දී වූ භය තුනක් ඇති වි ය. මෙයට පෙරාතු සත්වන රජ පරම්පරා දක්වා මෙ බඳු වූ භයෙක් නූපන් විරී ය. ධර්මිෂ්ඨ රජ දරුවන් සමයෙහි මෙ බඳු භයෙක් උපදනේ නැතැ’යි කිවු ය.
රජ්ජුරුවෝ ද සම්මන්ත්‍රණයට[2] රැස්වන්නා වූ ශාලාවට හැම දෙනා රැස්කරවා ලා ‘තුමූ ත් ගොසින් ඉඳින් මාගේ නො මැදහත් කමෙක්[3] ඇත් නම් විමසව’යි කිවු ය. විසල් නුවර ඇත්තෝ ද නො එක් ලෙසින් පරීක්‍ෂා කොට රජ්ජුරුවන් ගෙන් කිසි වරදක් නො දැක ‘රජ්ජුරුවන් වහන්ස, මුඹ වහන්සේගේ කිසි වරදෙක් නැතැ’යි කියා ‘මේ අපට පැමිණි භය කවර ලෙසකින් සන්හිඳීයේ දෝ හෝ”යි කථා කළහ. සමහර කෙනෙක් බිලියම් කළ කල සන්හිඳෙයි කිවු ය. සමහර කෙනෙක් දෙවතා ආරාධනාවෙන් සන්හිඳෙයි කිවු ය. සමහර කෙනෙක් විෂ්ණු ඊශ්වරාදීන්ට පූජා කළ කල සන්හිඳෙයි කිවු ය.
ඒ හැම ම පුරා කෘත අකුශල කර්‍ම ප්‍රතිබාහනයෙක්හි සමර්ථ දෙයක් නොවන හෙයින් ඒ හැම ම කොටත් භය සන්හිඳුවා ගත නුහුණු වූ ය. භය නො සන්හිඳෙන නියාව දැක සමහර කෙනෙක් හුණට තියඹරා යාපතැ’යි යන්නවුන් මෙන්, සෙමට උක් සකුරු යාපතැ යි යන්නවුන් මෙන්, උන් හැම අවත් දිවුණ තොත් මුත් නො සන්හිඳෙන භය පූරණ කාශ්‍යප ය, මක්ඛලීගෝසාලය, අජිතකෙශකම්බලීය, නිගණ්ඨනාථපුත්‍ර ය, කකුධකාත්‍යායන ය, සඤ්ජයබෙලට්ඨි ය යන බුදුවරුන් වහන්සේ ලා ස දෙනා මහානුභාව සම්පන්න සේක. උන් වහන්සේ ලා මීට වැඩියො ත් මේ භය සන්හිඳෙයි කිවු ය.
එ ලෙස කොට ත් ඒ භය නො සන්හිඳෙන හෙයින් ඉන් ම සමහර නුවණැති කෙනෙක් ‘තොප හැම කරන කටයුතු නම් පාන ඇවිළෙමින් සිටිය දී ගිනි සොයා ගොසින් කණමැදිරියකු දැක ගිනි ය යි සිතා පිඹින්නාක් වැන්න. නැවත කිරින් ප්‍රයෝජනයක් ඇති විටෙක දෙනගේ දෙව ගන්ට පිළිවන් ව තිබෙන මොළොක්ව තිබෙන තන තිබිය දී කෙතෙක් වේලා දෙවිය ත් අතට වන ආයාස පමණක් මුත් කිරක් තමා ම නැති හඟ අල්වා ගෙන සැලෙන්නවුන් වැන්න. තිලෝගුරු බුදු රජුන් වහන්සේ සම තිස් පෙරුම් පුරා බුදු ව වදාරා සියල්ලවුන්ට හිත පිණිස බණ වදාරණ සේක. මේ භය සන්සිඳුවත ත් මහානුභාව සම්පන්න හෙයින් ඔබට පිළිවන. සියල්ලවුන් කෙරෙහි කරන ලද කරුණාවත් අප හැර නො වන හෙයින් ඔබ මුඹ නො වඩිනේ ත් නැත. ඔබ ඉදින් මුඹ වැඩි සේක් වී නම් මේ භය තුන සන්හිඳෙ’යි කිවු ය. උන්ගේ බස් හැම දෙනම ගිවිස, කරන්ට ත් සිතා ගෙන ‘ඒ බුදුහු දැන් කොයි වසන සේක් දැ’යි කිවු ය.
එ කලට බුදුහු වස් වසන ආසන්නයෙහි බිම්සර මහ රජුන්ගේ ආරාධනා ඉවසා වස් වසන තෙක් වෙළුවන විහාරයෙහි වසන සේක. ඒ රාජ සමාගමයෙහි[4] හෙවත් බිම්සර මහ රජ්ජුරුවන් බුදුන් දක්නට ගිය දවස් උන් හා එක්ව ම සෝවාන් වූ මහාලී නම් ලිච්ඡවි රජ්ජුරුවෝ ඒ රැස් වූ පර්‍ෂත් හි හුන්හ. විසල් නුවර වැසියෝ ද දී සිත් ගන්නා නිසා බොහෝ පඬුරුත් නිල කරවා බිම්සර මහ රජ්ජුරුවන්ට කියා ගිවිස්වා ගෙන බුදුන් මොබ වඩා ගෙනෙව’යි ආර්‍ය්‍යශ්‍රාවක ව සිටි මහාලි ලිච්ඡවි රජ දරුවන් ද පුරෝහිත බමුණන්ගේ පුතණුවන් ද යවූ හ. උයි ත් ගොසින් බිම්සර රජ්ජුරුවන්ට පඬුරු ගෙන ගියා දී ලා කන්නලව්ව ත් කියා ලා ‘මහ රජ, බුදුන් අපගේ නුවරට වැඩි ය මනා කටයුතු ඇත. වඩා යවන්ට වුව මැනැවැ’යි කීහ.
රජ්ජුරුවෝ ඒ අසා ‘මාගේ නුවර වැඩහුන් බුදුන් මා එ සේ වඩනට කියන්ට යුක්ති නොවෙයි තෙපි ම දනුව’යි කීහ. උයිත් බුදුන් කරා ගොසින් බුදුන් වැඳ ලා ‘ස්වාමීනි, විසල් මහ නුවර දුර්භික්‍ෂ භය ත්, යක්‍ෂ භයත් රෝග භයත් තුන ඇති වි ය. මෙ කී භය තුන නිසා මියන්නෝ ත් බොහෝ ව. මුඹ වහන්සේ ඔබ වැඩියොත් සදහම් නමැති වැසි වස්නා ම සාය ත් නැති වෙ යි. සදහම් නමැති ප්‍රල ය මන්ත්‍රානුභාවයෙන් යක්‍ෂොපද්‍රව ත් දුරුවෙයි. සදහම් නමැති දිව බෙහෙදින් රෝග භය ත් නැති වෙයි. දිය ඩබර නිසා බොහෝ නෑයන් නස්නා නියාව දැක ඔබ වැඩියා සේ විසල් මහනුවර ත් නස්නා බොහෝ දෙනා දැක උන් කෙරෙහි කළ කරුණාවෙන් ඔබ වැඩිය යහපතැ’යි ආරාධනා කළහ. බුදුහු ත් උන්ගේ බස් අසා බුදු නුවණින් පරීක්‍ෂා කරන සේක් ‘විසල් මහ නුවර දී රුවන් සූත්‍රය දෙසූ කල්හි ඒ ආඥාව කෙළ ලක්‍ෂයක් සක්වළ පැතිර සිට්ටි. සූත්‍ර ය දෙසා නිමි කල්හි සුවාසූ දහසක් සත්‍වයෝ නිවන් දක්නාහ. ඒ භය තුන ත් සන්හිඳෙන්නේ ය’යි දැක ආරාධනා ඉවසූ සේක.
බිම්සර මහ රජහු ද බුදුන් විසාලා මහ නුවරට වඩනට කළ ආරාධනාව ඉවසූ නියාව අසා නුවර වැස්සන්ට මං පෙත් ඉදි කරන්ට විධාන කොට ලා තුමූ බුදුන් කරා ගොසින් ‘කුමක් ද,
ස්වාමීනි, විසල් මහ නුවරට වැඩීම ඇත් දැ’යි විචාරා ‘එ සේ ය, මහ රජ’යි කී කල්හි මා මං පෙත් ඉදි කරන තෙක් රඳා වදාළ මැනැවැ’යි කියා ලා රජගහා නුවරට ත් ගඟටත් අතුරෙහි විසි ගවුවක් විවර මඟ කණු මුල් උදුරුවා සමතල කරවා ලා සතර ගවුවෙන් සතර ගවුවට විහාර ත් කරවා ලා බුදුන් විසල් මහ නුවරට වඩනට ආරාධනා කළහ. බුදුහු ද නිත්‍ය පරිවාර පන්සියක් දෙනා වහන්සේ පිරිවරා වඩනට මඟට පිළිපන් සේක.
රජ්ජුරුවෝ ද විහාර පසට මධ්‍යයෙහි සතර ගවු සතර ගවු විචර මග පය ඔබා ලු කල දන දක්වා එරෙන තරමේ පස් වනක් මල් අතුරුවා ලා පස් වනක් පිළියෙන් ධජ පතාක ත් නංවා ලා කෙහෙල් තොරන් ආදි වූ දෙ පස තොරණ ත් ලවා ලා නැවත දෙ පස පුන් කලස් පුන් පැණ ත් තබවා ලා බුදුන්ට කුඩ මත්තේ කුඩයක් වන නියායෙන් කුඩ දෙකක් ලවා ලා එකි එකී නමට එකි එකී කුඩයක් වන නියායෙන් පන්සියක් දෙනා වහන්සේට කුඩ පන් සියයකු ත් ලවා ලා සෙනඟ පිරිවරා මහ පුද කෙරෙමින් කරවා ලූ විහාරවල සතප්වා මහ දන් දී පස් දවසකින් ගංතෙරට වඩා ගෙන ගොසින් එ තෙරට වඩා ගෙනයන්ට හඟුලක් කරවා සිට ම විසල් නුවර ඇත්තවුන්ට ගඟ පටන් තමන්ගේ නුවරට මං[5] ඉදිකරවා ලා පෙර ගමන් කොට අවුත් වඩා ගෙන යව’යි කියා යැවූ ය.
උයි ත් ‘තනි රජ්ජුරු කෙනකුන් විසිගවුවක් විචර මඟ සරහා ඉදි කරවා ලූ කල අප සත් දාස් සත් සිය සත් දෙනකුට දොළොස් ගවුවක් විචර මග නම් බෙදා පී කලට ගවුව ගවුව තබා ඉසුබ දෙකක් දෙකක් හා සිල්වාරමකට මුත් වඩා නැත. අපි ත් බිම්සර මහ රජුන්ට වඩා පූජා කරම්හ’යි විසල් මහ නුවරට ත් ගඟට ත් අතුරෙහි දොළොස් ගවුවක් විචර මග සමතල කරවා ලා ධජ පතාකාදියෙන් සරහා ලා බුදුන්ට කුඩ මත්තේ කුඩ වන නියායෙන් කුඩ සතරක් ලවා ලා සඟ පන් සියයට ත් කුඩ මත්තෙහි කුඩයක් වන නියායෙන් කුඩ දෙක දෙක ලවා ලා වඩා ගෙන යන අදහසින් කුඩ එක්දාස් සතරක් හා සෙසුත් පුද පෙරහර ගෙන්වා ගෙන අවුත් ගං තෙර සිටියහ.
බිම්සර මහ රජහු අඟුළු දෙකක් එක් කොට ඈඳ වා ලා අඟුළු මත්තෙහි මණ්ඩපයක් කරවා ලා මල් දම් ආදීන් සරහා ලා බුදුන් වැඩ හිඳිනා ලෙසට සත් රුවන් මුවා හස්නක් පනවා ලූ ය. බුදුහු ඊ වැඩ හුන් සේක. වහන්දෑ ද අඟුළට නැගී ලා රත්රන් නැවක් මධ්‍ය කොට පිපී වැනී ගිය රත් නෙළුම් වනයක් මෙන් බුදුන් පිරිවරා වැඩ හුන් සේක. බිම්සර මහරජහු ද ගමන් පසු කරන්නෝ කරවටක් පමණ දියට බැස ලා ‘ස්වාමීනි, මුඹ වහන්සේ පෙරළා වඩනා තෙක් ගඟ මෙ තෙර ම රඳා හිඳිමී’ කියා ලා අඟු ළ එ තෙර කරවා ලා රඳා පීහ.
බුදුහු ත් ගඟ පළල සතර ගවුවක් හෙයින් සසර මහ සයුරෙන් සදහම් නමැති නැවට නංවා සතුන් නිවන් පරතෙරට පමුණුවන ලෙස කොට ත් පානාක් මෙන් සතර ගවුව ගෙවා අඟුලෙන් බැස ලා එ තෙර විසල් මහ නුවර ඇත්තවුන්ගේ රාජ්‍ය සීමාවට පැමිණි සේක. ලිච්ඡවි රජ දරුවෝත් පෙර ගමන් කොට එන්නාහු බිම්සර රජ්ජුරුවන් කළා සේ ම කරවටක් පමණ දියට බැස ලා අඟුළ එ තෙර කොට ගෙන බුදුන් අඟුලෙන් ගොඩට බාවා ගත්හ. බුදුන් අඟුළෙන් බැස ගොඩ පය තබන්නා ම පොකුරු වැස්සෙක් වට. හැම තැන ම දණ පමණ වූ ත්, කළවේ පමණ වූත්, උකුළු පමණ වූ ත් වඩාත් වතුරු හෙළා ලා සියලු කුණු සෝධා ගඟ හෙළා පීමෙන් කෙලෙස්කුණු නැති වීමෙන් නිකසළ වූ බුදුන් වඩනට මහ ත් නිකසළ වී ය. විවරණ ලබන දවස් දිවකුරු බුදුන් වඩනා මඟ පවිත්‍ර කළ නියාව මෙ තැන තකා වූවා සේ වි ය. ලිච්ඡවී රජ දරුවෝ ත් සතර ගවුවට විහාරයක් බැගින් තමන් කැර වූ විහාර තුනෙයි තුන් දවසක් රඳවා ලා මහ දන් දී පූජා සත්කාර ත් වඩා කරන්නාහු තුන් දවසකින් විසල් මහ නුවරට වඩා ගෙන ගියහ.
සක් දෙවිඳු ද දෙව් ගණ පිරිවරා අවුත් වැඳ ගියහ. මහේශාඛ්‍ය දෙවියෝත් අවුත් රැස්වීමෙන් රඳා ලන්ට බැරිව යක්කු බොහෝ සේ පලා ගියහ. බුදුහු සවස් වේලෙහි නුවර වාසල කෙරේ වැඩ සිට අනඳ මහ තෙරුන් වහන්සේ බණවා ලා ‘ආනන්‍දයෙනි, මේ රුවන් සූත්‍ර ය ඉගෙන ගෙන විසල් මහ නුවර වළලු තුන හස්සෙහි පිරිත් කෙරෙමින් යක්‍ෂොපද්‍රව දුරු කරව’යි වදාළ සේක. අනඳ මහ තෙරුන් වහන්සේ ත් රුවන් සූත්‍රය ඉගෙන ගෙන දැන් බුදුන් පමණක් මුත් එ දවසට නු බුදුන් හෙයින් සතර වරමුන් ගෙනවුත් බුදුන්ට පිළිගැන්වූ මුං වන් සල ගල් පාත්‍රයෙන් පිරිත් පැන් හැර ගෙන නුවර වාසල වැඩ සිට දිවකුරු බුදුන් ගෙන් අපගේ බුදුන් විවරණ ලත් තැන් පටන් පිරූ සමතිස් පැරුම් ඒ ඒ ජාතකවලින් ද සලකා -
තවද අඞ්ග පරිත්‍යාගාදී පඤ්චවිධ පරිත්‍යාගයන් ද ලෝකාර්ථ චර්‍ය්‍යාදි වූ ත්‍රිවිධ චර්යාවන් ද බුදු වන ජාතියෙහි නො එක් අසිරින් යුක්ත ව ඇසළ මස පුර පසළොස්වක් ලත් අඟහරුවාදා උතුරුසළ නකතින් මධ්‍යම රාත්‍රි වේලේ තුසී දෙව්ලොවින් චුත ව කිඹුල්වත් නුවර සුදොවුන් මහ රජාණන්ට දාව මහාමායා බිසොවුන් කුස පිළිසිඳ ගත් නියා ද, දස මස් අයාමෙන් ලුම්බිනි උයන්හි දී වලා ගබෙක සැඟවී තිබීලා මෑත් වන සඳ පරිද්දෙන් මවු කුසින් බිහි වූ නියා ද, බුදු වන කල ආසන්න වන තෙක් විසි නව හවුරුද්දක් විචර ගිහි ගෙයි රඳා ලා බුදු වන්ට මහභිනික්මන් කොට නික්මුණු නියා ද, නික්ම මහණ ව ලා සාවුරුද්දක් මුළුල්ලෙහි බුදු බව සාදන්ට ප්‍රධන් වීර්‍ය්‍ය කළ නියා ද, කරන වීර්‍ය්‍ය කොට නිමවා ලා වෙසඟ මැඳි පොහෝ දවස් බෝ මැඬ වැඩම කොට මාර විජය කොට අළුයම් වේලෙහි මහ පොළොව ගුගුරුවා බුදු වූ නියා ද, නව ලොවුතුරා දහම් පටන් සියලු බුදු ගුණද සලකා නුවරට වැද තුන් යම් රාත්‍රියෙහි පවුරු වළලු තුන හස්සෙහි පිරිත් බැණ ඇවිදි සේක.
අනඳ මහ තෙරුන් වහන්සේ රුවන් සුත “යං කිඤ්චි විත්තං” යනාදි ගාථාවෙහි ‘යං කිඤ්චි’ යන පදය වදාළ කල්හි පිරිතෙහි ආනුභාවයෙන් පිරිත් බැණ බැණ උඩට දමා ලූ පැන් අමනුෂ්‍යයන් ඇඟ වැතිර ගිය කල්හි යක්‍ෂයෝ ත් පලන්ට පටන් ගත්හ. නැවත රිදී බුබුළු සේ පිරිත් පැන් බින්‍දු අවුත් ලෙඩ දුක් මිනිසුන් ඇඟ වැගිරෙත් වැගිරෙ ත් උමංදාවෙහි මහෞෂධ පණ්ඩිත කල උපන් බෙහෙදින්[6] සිරිවඩු සිටාණන්ට ත් සෙසු සෙස්සන්ට ත් ඇති ලෙඩ දුක් නැති වූවා සේ අනඳ මහ තෙරුන් වහන්සේ පිරිත් බැණ ඉස ලූ පැනින් ලෙඩ දුක් නැති ව ගොසින් අනික් ජාතියෙක උපන්නා සේ ලෙඩ ව හුන් මිනිස්සු අනඳ මහ තෙරුන් වහන්සේ පිරිවරා ගත්හ. බුද්ධානුභාවයෙන් යකුන් බොහෝ සේ නැඟී ගියත් බිතක්කන් කසළ ගොඩ ලිප් පිටි පස්[7] ආදියෙහි රඳා ගිය යක්‍ෂ කෙනෙක් ඇත් නම් බිඳ ගෙන යන්නාහු නැඟී පලා යන්ට වාසල් නො සෑහෙන හෙයින් පවුරු පදනම් ආදිය බිඳ ගෙන දිවන්ට වන්හ. මෙ සේ යකුන් පෙරළී පලා ගොසින් යක්‍ෂ භය ත් නැති වි ය.
ලෙඩ දුක් නැති ව ගිය බැවින් රෝග භය ත් නැතිව සුඛිත වූ මිනිස්සු බුදුන් වැඩ හිඳිනා ලෙසට නුවර මැද බොහෝ දෙනා රැස් වන්නා වූ ගෙය පවිත්‍ර කරණු සඳහා සුවඳ පිරිබඩ ගෙන ලා රන් තරු ආදියෙන් බබළන්නා වූ නොඑක් පෑ ඇති පට කඩ වියනු ත් බඳවා ලා බුදුන් වැඩ හිඳිනට පඬු ඇඹුල් හස්න ගෙන වුත් තුබුවා වැනි බුද්ධාසනයක් පැනවූහ. තිලෝගුරු බුදු රජහු ද යුගඳුරු මුඳුනෙහි දහසක් රසින් බබළන අභිනව සූර්යයා මෙන් සවනක් රස් විහිදුව විහිදුවා වැඩ හුන් සේක. නිත්‍ය පරිවාර පන්සියක් දෙනා වහන්සේ ද රුවන් මාළිගාවක් වට කොට ලා පබළුමුවා පදනම් පිළක් මෙන් ලීලොපෙත ව වැඩ හුන් සේක. ලිච්ඡවි රජ දරුවෝ ද වහන්දෑට පිටි පසුව ලා බුදුන් පිරිවරා හුන්හ. සක් දෙවිඳු ද දෙ දෙව් ලොව දෙවියන් පිරිවරා කිසි තැනෙක්හි සිටියේ ය.
අනඳ මහ තෙරුන් වහන්සේ ද නුවර සිසාරා පිරිත් බැණ ඇවිද පිරිතෙහි ආනුභාවයෙන් ලෙඩින් දුකින් ගොඩ නැඟී මිනිසුන් පිරිවරා බුදුන් කරා ගොසින් වැඳ ගෙන වැඩහුන් සේක. බුදුහුත් පර්ෂගේ අදහස් බලා මඳක් කා රස දත් දෙයක් බොහෝ කොට කන්ට සිතන්නා සේ එම රුවන් සුත අසනු කැමැති නියා දැන එ ම සුත දෙසා වදාළ සේක. දේශනා කෙළවර සුවා සූ දහසක් පමණ සත්‍වයෝ ලෙඩිනුත් මිදෙනු නිසා නිවන් බෙහෙත් වැළඳූහ. හෙවත් නිවන් දුටහ. ඒ රුවන් සුත ආඥාව ත් කෙළ ලක්‍ෂයක් සක්වළ පැතිරිණ. බණ වදාරන පිරිත් එක් දවස් ම මඳ හෙයිනු ත් නුවණ මූ කළ සේ නිවන් දක්වන්නවුන් සඳහා ත් ශාන්ති පිණිසත් එම රුවන් සුත සතියක්ම දෙසා වදාරා පැමිණි තුන් භය ත් බොහෝ දෙනාට කෙලෙස් භයත් සන්හුන් නියාව දැන වඩනා නියාව ලිච්ඡවි රජ්ජුරුවන්ට වදාරා ලා නික්ම වදාළ සේක.
ලිච්ඡවි රජහු ද භය සන්හුන් හෙයින් ආලෙස්සම් නො ව දියුණු තියුණු කොට සත්කාර කරන්නාහු තුන් දවසක් විතරින් මහ ගං තෙරට වඩාගෙන ගියහ. ගං පත්ලෙහි වසන්නාවූ නා රජ්ජුරුවෝ ත් ‘ මිනිස්සු බුදුන්ට සත්කාර කෙරෙති. අප නොකරන්ට කාරණ කිම් දැ’යි රුවන් මුවා අඟුළු මවා ලා එහි රුවන් මුවා හසුනු ත් පනවා ලා ගඟ දියත් පස්වනක් පියුමෙන් සරහා ලා ‘ස්වාමීනි, අපට ත් අනුග්‍රහ කරන බව ය’යි එක බුදුන් වුව ත් තම තමන්ගේ අඟුළුවලට නැඟෙන්ට ආරාධනා කළහ. මිනිස්සුත් නයිත් තමන් තමන්ගේ බල පමණින් බුදුන්ට පූජා කෙරෙති. උන් දෙ පක්‍ෂයට ම වැඩී සිටියා වූ අප නො කරන්නට කාරණ කිම් දැ’ යි භූමාටු දෙවියන් පටන් අකනිටා බඹ ලොව බඹුන් දක්වා අසඤ්ඤතල බ්‍රහ්මයන් හැර සියලු ම දෙවියෝ ත් සිතනා පමණක් විනා ආයාසයක් නැති බැවින් පූජා කළහ. නාග භවනයෙහි නයි තමන්ගේ නාග භවනයෙහි පටන් සතර ගවුවක් විතරෙහි කුඩ මත්තෙහි කුඩ සලසා ගත්හ.
මෙ සේ මිනිස් ලොවට පාතින් නයිය, මිනිස්ලොව මිනිස්සු ය, භූමාටු දෙවියන් පටන් බඹ දෙවියන් දක්වා දෙවියෝ ය, නා ලොව පටන් අකනිටා බඹලොව දක්වා මෙ සක් වළ ඇතුළ
මුළුල්ල ම කුඩ මත්තෙහි කුඩ සලසා ගත්හ. කුඩ හසු හස්සෙහි ධජ හා ධජ හසු හස්සෙහි පතාක හා සලසා ගත්හ. පතාක හසු හස්සෙහි මල් දම් මල් කලප් මල්ලිය ආදි ය සලසා ගත්හ. දිව ආහරණ ලා සැරහුණු දෙවියෝ සැණ වෙස් ගෙන බුදුන්ට ස්තුති කෙරෙමින් ආස ඇවිදිති. ගඬඹ නම් අඹ ගස මුල දී යමා මහ පෙළහර කරන දවසු ත් සකස් පුර නුවරට වැඩි දවසුත් විසල් මහ නුවර ත්‍රිවිධොපද්‍රව ය සන්හිඳුවා රජගහා නුවරට වඩනට ගඟ කරා වැඩිය දවසුත් දිව්‍යබ්‍රහ්මාදීන්ගේ රැස්වීම බොහෝ වීය.
ගඟින් එ තෙර බිම්සර මහ රජහු ද ලිච්ඡවීන් කළ පූජාවට වඩා පූජා සරහා ගෙන සිටියහ. බුදුහු ද ගඟ එතෙර මෙ තෙර රජ දරුවන්ගේ සත්කාර ද බලා වදාරා නයින්ගේ ත් අදහස දැන උන්ගේ අදහස් පුරා අඟුළු පන් සියයෙහි සඟ පන් සිය ය පිරිවරා සිටි එක් අඟුළකට එක් බුදු කෙනකුන් වහන්සේ වන නියායෙන් බුදුවරුන් වහන්සේ ත් පන්සියයක් මවා ලූ සේක. උන් වහන්සේ ද නයින් මවා ලූ එකි එකී කුඩයකට ද, කප් රුකකට ද, මල් වඩමකට ද යට නයි පිරිවරා හිඳින සේක. නයින්ට මෙ ලෙසින් බුදුවරුන් වහන්සේ සැලසුණු පසු සෙසුත් දිව්‍ය බ්‍රහ්මාදීන් සිත් පහදවනු නිසා භූමාටු දෙවියන් පටන් අකනිටා බඹලොව දක්වා එකි එකී අවසරයෙහිම පන්සියයක් පිරිවර හා සමඟ බුදු කෙනකුන් වහන්සේ වන නියායෙන් පිළිම ගෙයක සිත්තම් කරන්නවුන් අනික් සිත්තම් හැර ලා රහත් කැල හා බුදුරුව මැඳ අඳනා සේ සක්වළ අතුළ මුළුල්ල ම බුදු කැලයක් කොට මවා ලූ සේක.
දවසට මේ සක්වළ එක මඟුල් ගෙයක් මෙන් සැරහිණ. බුදුහු ත් නයින්ට අනුග්‍රහ නිසා එක් අඟුළකට නැඟි සේක. සඟ පන්සියයත් අඟුළු නො සිස් කරන්ට එකි එකී අඟුළකට නැඟි සේක. නා රජහු ද බුදු පාමොක් සඞ්ඝයා වහන්සේ නාගභවනයට වඩා ගෙන ගොසින් රාත්‍රි ය මුළුල්ලෙහි මත්තට හේතු නිසාත් බණ අසා ත් දෙ වන දවස් බුදු පාමොක් සඞ්ඝයා වහන්සේ දිව බොජුන් වැළඳ වූහ. බුදුහු ත් අනුමෙවෙනි බණ වදාරා නාග භවනයෙන් නික්ම මුළු සක්වළ දෙවි බඹුන්ගෙන් පූජා සත්කාර විඳිමින් හඟුළු පන්සියයෙන් ම ගඟින් එ තෙර වූ සේක.
බිම්සර මහ රජද පෙර ගමන් කොට අවුත් බුදුන් එ තෙරට බා ගෙන විසල් මහනුවර සිට බුදුන් වඩනා දවස් ලිච්ඡවී රජුන් කළ පූජා තරම දියුණු තියුණු කොට සත්කාර කෙරෙමින්
පස් දවසෙකින් රජගහා නුවරට වඩා ගෙන ගියහ. දෙ වන දවස් වහන්දෑ සිඟා වළඳා ලා සවස් වේලෙහි ධම් සබයට රැස් ච ‘සර්‍වඥවරයන්ගේ ආනුභාවයක් බලවත් නියා ය. දෙවි මිනිසුන් බුදුන් කෙරෙහි භක්තියෙක් බලවත් නියා ය. ගඟ එ තෙරින් මෙතෙරින් කැටි ව දෙ තිස් ගවුවක් විතරට ගඟ එ තෙර මෙ තෙර රජ දරුවෝ සමතල කරවා ලා ධූලි නො නැඟෙන ලෙසට වැලි ලවා ලා දණ පමණින් පස් වනක් මල් අතුරුවා ලූහ. ගඟ පැනු ත් නයින්ගේ ආනුභාවයෙන් පස් වනක් පියුමෙන් සැදිණ.
නා ලොව පටන් අකනිටා බඹලොව දක්වා කුඩ මත්තෙහි කුඩ හා ධජ මත්තෙහි ධජ හා පතාක මත්තෙහි පතාක හා මල්දම් මත්තෙහි මල් දම් හා මල් කලප් මත්තෙහි මල් කලප් හා මල් සුමුඟු මත්තෙහි මල් සුමුඟු හා මල් ලිය මත්තෙහි මල් ලිය හා සැලසී සිටි ය. උපද්‍රව තුනක් වැද ලා නටුවා වූ මහ විසල් නුවර බුද්ධානුභාවයෙන් උපද්‍රවත් සන් හිඳීලා ශෝභාමත්ව සමෘද්ධ වන ගමනේ එක හෙළා සමෘද්ධ වූවාක් මෙන් පූජා සත්කාරයෙන් සමෘද්ධ වී ය’ යි කථාව ඉපැදවූ සේක. බුදුහු ත් ධර්‍ම සභයට වැඩි ගමනේ ඒ කථාව අසා වදාරා ‘මහණෙනි, මේ පූජා සත්කාර ය මාගේ බුද්ධානුභාවයකිනු ත් නො වී ය. දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ ආනුභාවයකිනුත් වූයේ නො වෙයි. සසර සිටිනා ගමනේ මා කොට ගත් යම් කුශලානුභාවයකින් වී ය’යි වදාරා උදාරතර වූ පූජා සත්කාර දුටු වහන්දෑ ඊට හේතුව සිටි කුශලය ත් අසනු කැමැති ව ආරාධනා කළ කල්හි-
“මහණෙනි, එසේ වී නම් යට ගිය දවස තක්සලා නුවර සංඛ නම් බමුණාන කෙනෙක් වූ ය. උන්ගේ සුසීම නම් පුතණු කෙනෙක් තමන් සොළොස් ඇවිරිදි කල පියාණන් ළඟට ගොසින් ‘පියාණන් වහන්ස, බරණැස් නුවරට ගොසින් ශිල්ප උගන්නා කැමැත්තෙමි කිවුය. පියාණෝත් ඒ අසා ‘එ සේ වී නම්, පුත, බරණැස් නුවර වසන අසවල් බමුණානෝ මාගේ යාළුවෝ ය. උන් කරා ගොසින් හදාරව’යි කිවු ය. ‘උයි ත් යහපතැ’යි ගිවිස බරණැස් නුවරට ගොසින් ඒ බමුණානන් දැක පියාණන්ගේ ස්වරූප කියා ලා උන් එවූ නියාව කිවු ය. උයිත් අසා යාළුවාණන් එවූ හෙයින් නො මැළි ව ගිවිස ගමන් විඩා සන්හුන් කලට යහපත් නකතකින් වේද මන්ත්‍ර හදාරවන්ට පටන් ගත්හ.
ඌ තමන් මහ නුවණැති හෙයින් වහ වහා බොහෝ කොට උගන්නාහු උගත් උගත් දෙය ත් රන් වළඳෙක වත් කළ සිංහ තෙල් මෙන් වන පොත් නැති වන්ට ත්, නැති හෙයින් නොබෝ කලකින් ම ඇදුරු බමුණන් ගෙන් උගත මනා සියල්ල ම ඉගෙන ගෙන පිරිවා සමනන තැනැත්තෝ තමන් උගත් ශිල්පයෙහි ආදිය හා මධ්‍ය ය ම දකිති. නිවන් කෙළවර නැති හෙයින් කෙළවරක් නො දකිති. නො දැක ආචාරීන් කරා ගොසින් ‘ආචාරීන් වහන්ස, මම මා උගත් ශිල්පයෙහි ආදිය හා මධ්‍ය ය ම දකිමි. කෙළවරක් නො දකිමී’ කියා ආචාරීන් ‘මම ත් නො දනිමි’ කී කල්හි ‘එ සේ කල දන්නෝ කවුරු දැ’යි වීචාරා තෙල ඉසිපතන නම් උයන තවුසෝ වෙසෙති. ඌ ඉදින් දනිත් නම් උන් කරා වුවත් ගොසින් විචාරව’යි කී කල්හි එහි වසන පසේ බුදුවරුන් වහන්සේ කරා ගොසින් ‘ශිල්පයෙහි කෙළවර මුඹ වහන්සේ දක්නා සේක් දැ’යි විචාළෝ ය. ‘එ සේ ය, දනුම්හ’යි කී කල්හි ‘එ සේ වී නම් අපට ත් වදාළ මැනැවැ’යි කිවු ය.
‘අපි අපගේ වෙස් ගන්නවුන්ට කියම්හ. ඉදින් කෙළවරක් දක්නට වුවමනා වී නම් මහණ වව’යි කීහ. උයි ත් ගිවිස ඔවුන් ළඟ මහණ වූ ය. මහණ වූ කල්හි අභිසමාචාරික ශික්‍ෂාව ‘මෙසේ හඳු ව, මේ සේ පොරොව ව, මෙ සේ හිඳු ව, මෙ සේ සිටු ව, මෙ සේ කව, මෙ සේ පොව, යනාදීන් කියා ලූහ. උයි ත් හික්මෙන්නෝ හේතු සම්පන්න බැවින් නොබෝ කලකින්ම පසේ බුදු ව සියලු බරණැස් නුවර ඉර-සඳ පරිද්දෙන් ප්‍රසිද්ධව ලාභයෙන් හා යසසින් අගපත් වූහ. ලාභ ය හා යසසට පින් කළ බව මුත් බොහෝ දවසක් ජීවත් වන්ට නිසි පින් මඳ හෙයින් නො බෝ දවසකින් පිරිනිවියහ. ඉක්බිත්තෙන් පසේ බුදුවරු ද බොහෝ දෙන ද ආදාහනය කරවා ලා ධාතුහැර ගෙන නුවර වාසල කෙරේ දා ගබක් කැරවූහ.
සඞ්ඛ නම් බමුණානෝ ද ‘ම පුතණුවන් ගියේ නැතක් දවස ශිල්ප ඉගෙන එන්ට වැළිත් කල් ඇත. නො එන්ට කාරණ කිම්ද? උන්ගේ පවත් දනිමි’ උන් දක්නා කැමැති ව තක්සලා නුවරින් නික්ම බරණැස් නුවරට ගොසින් බොහෝ දෙනා රැස් ව සිටියවුන් දැක ‘ඒකාන්තයෙන් මුන් හැම දෙනාගෙන් එක් කෙනකුන් වුවත්ම පුතුන්ගේ පුවත් දනිතී’ උන් කරා ගොසින් ‘සුසීම නම් ළදරුවාණ කෙනෙක් මුඹ අවු ය. උන්ගේ පවතක් දනු දැ’යි විචාළහ. ‘එ සේ ය, බමුණානෙනි, දනුම්හ. අසවල් බමුණානන් ළඟ ශිල්ප ඉගෙන උගත් ශිල්පයෙහි කෙළවර උන් නො දන්නා හෙයින් දන්නා තැන් කරා ගොසින් මහණ ව කෙළවර නම් රහත් වීම හෙයින් පසේ බුදු ව පිරිනිවි සේක. මේ උන් වහන්සේගේ ධාතු වඩා කළ දා ගැබ යැ’යි දා ගැබ පෑවු ය. බමුණානෝ ද හඬා පියා වැලප පියා දා ගැබ් මළුවට ගොසින් මළුවෙහි තණ උදුරා පියා උතුරු සළුවෙන් වැලි ගෙනවු ත් දා ගැබ් මළුවේ ලා ලා, කමණ්ඩුලුවෙන් පැන් ගෙනවු ත් ධූලි මකා පැන් හිස ලා වන පස් මල් පුදා ලා උතුරු සළුව පතාකාවක් කොට පුදා ලා ගෙන ගිය පත් කුඩ ය දා ගබ් කැරැල්ලෙහි බැඳ ලා නැඟී ගියහ. එ හෙයින් මහණෙනි. සඞ්ඛ නම් බමුණා ව උපන් මම සුසීම නම් පසේ බුදුන්ගේ ධාතු වඩා කළ දා ගබ් මළුවේ තණ උදුරා හළිමි. එහි අසඞ්ඛ්‍ය විපාකයෙන් දෙතිස් ගවුවක් විචාර මඟක මුල් උදුරා සමතල කළහ. නැවත එ ම දා ගබ් මළුවෙහි වැලි සුඟක් ලා ලීමි. එහි විපාකයෙන් දෙතිස් ගවුවක් විචර මඟ මුතු පට හා සමාන වැලි ලා ලූහ. නැවත එ ම දා ගබට වන පස් මල් සුඟක් පුදා ලීමි. එහි විපාකයෙන් දෙ තිස් ගවුවෙහි ම පය ඔබා ලූ කල දණ දක්වා එ බෙන තරමේ වන පස් මලින් සාධා ලූහ.
ගඟ මුළුල්ල ත් පස් පියුමෙන් සැදිණ. නැවත කමණ්ඩුලු වෙන් පැනක් ගෙනවු ත් ධූලි මකා ඉසීමි. එහි විපාකයෙන් විසල් මහනුවර පොකුරු වැසි වට. මා පෙරව ගෙන ගිය උතුරු සළුව පතාක කොට දා ගබට පුදා ලීමි. ඉසට කොට ගෙන ගිය කුඩ පත් දා ගබ් කැරැල්ලෙහි බැඳ ලීමි. එහි විපාකයෙන් නා ලොව පටන් අකනිටා බඹලොව දක්වා ධජයෙන් පතාකයෙන් හා කුඩයෙන්ම සාදන ලද. එ හෙයින් මහණෙනි, ස්වල්ප මාත්‍ර සැපයක් හැර බොහෝ සැපත් ලබනු නිසා ‘මා පෙරව ගන්ට නැත්තේ වේ දැ’යි නොසිතා උතුරු සළුව පතාක කොට පිදුවා සේ ‘අවු කන්නෙම් වේ දැ’යි නො සිතා කුඩය පිදුවා සේ ස්වල්පයක් වුව ත් ස්වල්ප ය’යි නොසිතා කුසල්හි හැසිරෙතී” වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් සත් පුරුෂයන් විසින් බුදුන්ට මේ තරම් පූජා සත්කාරයක් බුද්ධානුභාවයකින් නො ව කුශලකර්‍මානු භාවයෙන් වූ නියාව සලකා කුශලානුභාවය බුද්ධානුභාවයට ත් වඩනා නියාව සිතා කුසල්හි හැසිර නිවන් සාදා ගත යුතු.