224, පටාචාරාවන් ගේ වස්තුව

star_outline

තව ද පිරිහුණා වූ ලෞකික ගුණ විශේෂයක් සිද්ධ කොට ගත නුහුණු ලොවී ලොවුතුරා ගුණයක් නිසා නොව සෙසු ශෝකයෙන් ප්‍රයෝජන නැති නියාව හඟවන්ට පටාචාරාවන් ගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

එහි විස්තර කථාව සහස්ස වග ම ආ ය. එ කල බුදුහු පටාචාරාවන්ට ශෝක තුනී නියාව දැන බණ වදාරන සේක් ‘හෙම්බා පටාචාරාවෙනි, මිය පරලොව යන්නවුන්ට වැදූ දෙමවුපියෝ වෙත් ව යි තමා වදා ගත් දරුවෝ වෙත් වයි ඒ දෙ පක්‍ෂය හැර සෙසු නෑයෝ වෙත් ව යි ඉදින් අපායකට පැමිණෙ ත් නම් ඊට නො යන ලෙසට වේව යි නො මිය ජීවත් වන ලෙසට පිහිට විය නො හෙති. ජීවත් ව හිඳිනා තෙක් දවස් කෙසේ කුමක් කොළෝ නමුත් මරු හා යුද්ධ වේලාට බලා සිටිතොත් මුත් කිසි ත් සහායක් විය නො හෙති. කොට ගත් පිනෙක් ඇත් නම් මිය යා නොදී රඳවා පිය නො හෙන මුත් පරලෝ සැපත් ලැබීමට පිහිට වෙයි’ වදාළ සේක. දේශනා කෙළවර පටාචාරාවෝ සෝවාන් ව මරු පරදවන්ට සහාය ලත්හ. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සුජනයන් විසින් පරලොවට ම සහාය සොයා මේ ලොව නින්දා වළකනු ව[1] හැඳගන්නා ලෙසට පිළී පමණක් හා වේලින් වේලාට යැපෙන පමණකට බත් පමණක් හා සපයමින් වැඩියක් නො පතා කරුකන් නිල ආදී වූ යම් කිසි තැනෙක රඳා හිඳ බැරෑරුම් ව තිබෙන්නා වූ ලොවුතුරා සැපතට ම උත්සාහ කටයුතු.

  1. මෙ ලොවැනි වලකනුව