තව ද යම් කෙනෙක් මළවුන් අරභයා ශෝක කෙරෙත් නම් ඒ ශෝකය මුල් ව පීඩාවක් මුත් මෙලෝ පරලෝ දෙකින් ම ප්‍රයෝජනයක් නැති නියා ව හඟවන්ට කිසාගෝතමීන්දෑ ගේ වත දක්වමු.
කෙසේ ද යත්-
එහි විස්තර කථාව සහස්ස වග ම ආ ය. එ කල බුදුහු ‘කිසාගෝතමීනි, අසුරක් විතර හබ සුඟක් ලදුදැ’යි විචාරා ගම මුළුල්ලෙහි ඇවිද ත් නො ලදුම්හ’යි කී කල්හි බුදුහු ‘මිනී නො මළ ගෙයකින් හබ ලබන්ට බැරියා සේම රහත් ව අනුපධිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවියො ත් මුත් නො මියාම ත් බැරි ය’යි වදාරා ලා බණ වදාරන සේක් “හෙම්බා කිසාගෝතමීනි, දරුවනු ත් ගෙරි සරකුනුත් ලදින් ‘අපගේ දරුවෝත් ඉතා රූපත්හ. පොහොසත්හ. පිරිමි සරක් සාලන්ට උසුලා ලන්ට බල ඇත්තෝ ය.
‘ගෑනු සරක් කිරි දෙතී’ යනාදීන් සිතා ගෙන උන් කෙරෙහි පවත්නා වූ, තව ද ගිහි වුවත් ශාසනික වුවත් රන් රුවන් ආදියක් හෝ පා සිවුරු ආදියක් හෝ ලදින් ලත් ලත් විචරකින් සතුටු නො ව වඩ වඩා ලාම උල සීරූ තැනෙක පැන් උනා පිරෙන්නා සේ පතන්නා වූ සත්‍වයන් සිතන පතන පමණක් මුත් ලත් කිසිවකු ත් නැති ව ලද ත් ඒ තිබි සේ ම තිබිය දී ගෙධා පන්න සත්‍වයන් මර සොර අවුත් ලා ගඟක් බඩ ගමක නිඳා වැතිර ගියවුන් ගඟ බලවත් වතුර අවුත් යට ත් පිරිසෙයින් බල්ලන් බළලුන් පමණකු ත් නො රඳවා හැර ගෙන යේ ද, එ මෙන් මරණ ඉක්ම පිය නුහුණුවුන් හැර ගෙන යෙයි” වදාළ සේක. දේශනා කෙළවර කිසාගෝතමීන්දෑ සෝවාන් වූහ. තවත් බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් සත් පුරුෂයන් විසින් සෙසු සියල්ලෙක කරන ඇල්මෙක් ඇත් නම් ඒ හැර දානා දී වූ පින් කම ඇලී වැස භව සැප ත් වළඳා කෙළවර නිවන් අත් කට යුතු.