222. මහධන වෙළෙඳාණන්ගේ වස්තුව

star_outline

තව ද පවිටු අදහස් ඇති කල ලැසි ගැන්ම යාපත් වුවත් කුශල විෂයෙහි එ සේ ලැසි ගැන්ම යහපත් නොවෙයි සිතන ලෙසට මහ ධන වෙළෙඳාණන් ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

ඒ වෙළඳාණෝ බරණැස් නුවර සිට වනුක් මලින් රැඳු රන් වන් පිළි ගැල් පන්සියයක පුරා ගෙන වෙළඳාමට සැවැත් නුවරට ගියෝ ය. ගොසිනු ත් ගඟ කරා පැමිණ ‘සෙට ගඟින් එ තෙර වෙමි’ මෙ තෙර ගැල් උනවා පියා එ තැන ම රැඳුණවුය. රෑ දවස් මහත් කොට වැස්සක් වැස ගඟ දිය හෙළා පියා සතියක් මුළුල්ලෙහි වතුර නො බැස ම සිටියේ ය. නුවර ඇත්තෝ ද සතියක් මුළුල්ලෙහි උත්සවයක් කොළෝ ය. මඟුල් නිමන්නා ම රන්වන් පිළීයෙන් ප්‍රයෝජන ත් නිමියේ ය. වෙළඳාණන් වතුර හෙළන්නාට පෙරාතු වම ගඟින් එ තෙර වන්ට නුවූ හෙයින් ගෙන්වා ගෙන ගිය පිළි විකපත් වන්ට නොවීය. එ හෙයින්ම ‘මම දුර සිට අයිමි. පෙරළා ගියෝතින් කල් පලා යෙ යි. මෙ තැන ම වැසි සමය ත්, හිම ත්[1] සමය ත්, ගිමන් සමය ත් යවා පියා මේ පිළී විකපත් වන අවධියක දී විකොට ගනිමී’ සිතූහ.

බුදුහු ද නුවර සිඟන සේක් උන්ගේ සිතිවිල්ලට සිනා පහළ කොට අනඳ මහ තෙරුන් වහන්සේ සිනාවට කාරණ විචාළ කල්හි ‘ආනන්‍දයෙනි, මහධන වෙළඳා දුටු දැ’යි විචාරා ‘එ සේ ය’යි කී කල්හි ‘එම්බා ආනන්‍දයෙනි, ඌ තුමූ තමන්ගේ ජීවත් වීම නො සලකා මෙ තැන ම පිළීයෙහි අග ය එන තෙක් අවුරුද්දක් රඳන්ට සිතා ගත්හ’යි වදාළ සේක. ඒ අසා අනඳ මහ තෙරුන් වහන්සේ ‘ස්වාමීනි, උන්ට උවදුරක් පෙනෙනු නියා දැ’යි විචාළ කල්හි ‘එ සේ ය, ආනන්දයෙනි, රඳන්ට සිතූ අවුරුද්ද තබා මසක් විචරට ත් ආයු නැති හෙයින් සත් දවසකින් මිය යන්නේ ය’යි වදාළ සේක. ඒ අසා අනඳ මහ තෙරුන් වහන්සේ ‘ස්වාමීනි, මම ගොසින් උන්ට කියම් දැ’යි වදාළ සේක.

බුදුහු ත් ‘ආනන්දයෙනි, වහා යව’යි වදාළ සේක. මහ තෙරුන් වහන්සේ ද ගැල් තුබූ තැනට ගොසින් සිඟු සේක. වෙළඳාණෝ ද තෙරුන් වහන්සේට දන් දුන්හ. වළඳා අන්තයෙහි ‘වෙළඳාණෙනි, මෙතැන කෙතෙක් රඳවුදැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, අවුරුද්දක් විචර රඳා පිළී විකපත් කොට ගෙනම යෙමි’යි කිවු ය. “උපාසකයෙනි, ජීවත් වීමෙහි නියම ය කියා ලිය නො හැක්ක. පමා නො වව’යි වදාළ සේක. වදාළ ලෙසින් ම දැන ලා ‘ස්වාමීනි, උවදුරක් පෙනෙනු නියා දැ’යි කිවු ය. ‘එ සේ ය, උපාසකයෙනි, සතියක් මුත් වඩා ජීවත් වීම නැතැ’යි වදාළ සේක.

ඒ අසා උපාසකයෝ තරව මුසුප්පු ව බුදු පාමොක් මහ සඟනට ආරාධනා කොට සතියක් මහ දන් දී අනුමෙවෙනි බණට අරාධනා කළහ. බුදුහුත් අනුමෙවෙනි බණ වදාරන සේක් ‘හෙම්බා වෙළඳාණෙනි, නුවණැත්තෝ මේ මේ දෙය කෙරෙමින් මෙ තැන වැසි සාර මසත්, හිමත්, ගිමන් අටමස ත් රඳම්හ’යි රැඳීම් පමණක් සිතති. ජීවත් වීම කවර වේව යි නොදනිති. ඒ ඒ තැන රැඳීමට ත් වඩා බඩු විකිණීමට ත් වඩා දැන ගත හොත් දවසක් රඳා හිඳිතත් නිවන් සුව හැර ගන්නා ලෙසට කුසල් බඩු එක් කටයුතු ය’යි වදාළ සේක. දේශනා කෙළවර ඒ වෙළඳාණෝ සෝවාන් වූහ. සතිය මුළුල්ලෙහි දුන් දන් නිවන් බඬුවට බඬු මිල විය. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ. වෙළඳාණෝත් බුදුන්ට ගමන් පසු කොට ලා රැඳුණු තැනැත්තෝ එ දවස් ම මිය ගොසින් දෙව් ලොව උපන්හ.

එහෙයින් සත් පුරුෂයන් විසින් අද කළමනා පින් කම් අද ම කරත් මුත් සෙටයට අනික් දවසකට නැඟෙන මසට නැඟෙන හවුරුද්දට නොතබා හිස ගිනි ගත් කෙනකුන් ඒ ගිනි නිවන්ට වන වෙළෙවියක් සේ ලොවුතුරා සැපත් ලැබීමට වෙළෙවි[2] විය යුතු.

_________

  1. හිමන්,

  2. විළෙවි