තව ද සත්‍වයන්ගේ චරිත දැන ගැන්ම නම් බුදුන්ට විනා ඔබ්බට බැරි නියාව හඟවන්ට සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ සද්ධිවිහාරික නමකගේ වස්තුව දක්වමු.
කෙසේ ද යත් -
බඩාලාණ කෙනෙක් යහපත් රූ ඇත්තෝය. අධිගම හේතුව ඇත්තවුන්ගේ මහණ වීමට බාධාවක් නැති හෙයින් සැරියුත් මහ තෙරුන් වහන්සේ ළඟ මහණ වූ ය. මහ තෙරුන් වහන්සේ ද මහණ වූ තැනැත්තවුන් ද ධුර ද්වයෙන් එක්තරා ධුරයෙක යෙදුව මැනව. හැම දෙනාට හැම කමටහන් ම සැප නො වෙයි. මූ සග බාල හෙයින් මුන්ට රාගය උත්සන්න ය’යි සිතා රාග යට පිළිවක් වූ අසුභ කමටහන දුන් සේක. උන් වහන්සේට ද රිසි නැති ව කන බතක් සේ ඒ කමටහන සැප නො වෙයි. එසේ හෙයින් වලට ගොසින් මසක් මුළුල්ලෙහි යත්න කොටත් සිත එකඟ වීම පමණකුත් නොලදින් නැවත මහ තෙරුන් වහන්සේ ළඟට අවුත් ‘කමටහන විභූත දැ’යි විචාළ කල්හි විභූත නො වන නියාව කී සේක.
මහ තෙරුන් වහන්සේ ද ‘කමටහන උන්ට විභූත නො වත් අප කරන්නේ කිම් දැ’ යි නො සිතා බර හෙයින් ගෙන යා නොහැකි දෙයක් සැහැල්ලු කොට දී ලන්නා සේ ඒ කමටහන ලඝු ක්‍රමයෙකින් වදාළ සේක. උන්වහන්සේ දෙ වැනිවත් භාවනාවට ගිය සේක් ගුණ විශේෂයක් උපදවා ගත නො හී මහ තෙරුන් වහන්සේට වදාළ සේක. මහ තෙරුන් වහන්සේ ද තුන් වැනි ව ත් දහස් ගණන් රන් ඉතා බර හෙයින් ඒ දී ලා කළන් ගණනක් හැර ගත්තා සේ බොහෝ ව තිබෙන්නා වූ ඒ කමටහන ඉතා ම ලඝු කොට සිත තිබී යන ලෙසකට කාරණොපමා සහිත කොටලා උගන්වා ලූ සේක. උන් වහන්සේ තුන් වැනි වත් ගොසින් භාවනා කොට ලා නො වැටහෙන හෙයින් අවුත් කී සේක.
මහ තෙරුන් වහන්සේ ද ‘භාවනා කරන භික්ෂූහු නම් තමන් කෙරෙහි විද්‍යමාන වූකාමච්ඡන්‍දදීන් විද්‍යමාන ය යි කියා ත් දනිති. අවිද්‍යමානයන් අවිද්‍යමාන ය යි කියා ත් දනිති. මූ ද වැළි ත් භාවනාවට අයෝග්‍ය කෙනෙක් නොවෙති. යෝග්‍ය ම ය. මම මුන්ගේ අදහස් දත නො හෙමි. බුද්ධවෙනෙය්‍ය කෙනකුන් නියා ය’යි උන් වහන්සේ කැඳවා ගෙන සවස් වේලෙහි බුදුන් කරා ගොසින් බුදුන් වැඳ ලා ‘ස්වාමීනි, මූ මාගේ සද්ධි විහාරිකයාණ කෙණෙක. මම මුන්ට රාග චරිත ය යි සිතා අසුභ කමටහන දිනිමි. ‘ඌ ගුණ විශේෂයක් උපදවා ගත නුහුණු ය’යි වදාළ සේක. අනුන්ගේ අදහස සියලු ලෙසින් ම දැනගැන්ම නම් දස පෙරුම් පුරා දස දහසක් සක් වළ මහ පොළොව ගුගුරුවා බුදු වූ කෙනකුන්ට ම පිළිවන් හෙයින් ‘මූ කවර කුලයකින් අවුත් මහණ වූ දෝ හෝ’යි සලකන සේක්- ‘බඬාල් කුලයෙනැ’යි දැන ඉකුත් අත් බැවු ත් බලන සේක් පිට පිට හෙළා පන්සියයක් ජාතියෙහි බඬාල්ව උපන් නියාව දැක ‘මූ තුමූ බොහෝ කලක් රත්රන් කර්‍මාන්ත කරන්නෝ රන් මල් ආදිය කෙරෙමින් රත්රන් ම අල්වා පුරුදු වූ ය. එහෙයින් මුන්ට පිළිකුල් භාවනාව සිතට නො වැටහෙන හෙයින් පවිත්‍ර දෙයෙක් ම සිත වද්දී’ සිතා වදාරා ‘ශාරිපුත්‍රයෙනි, තොපගෙන් කමටහන් ඉගෙන සාර මසක් මුළුල්ලෙහි දුක් ගත් භික්ෂූහු අද එක පස් වරුවෙන් රහත් කරවා ලන නියාව බලා හිඳුව. තෙපි යව’යි මහ තෙරුන් වහන්සේ යවා පියා තමන් වහන්සේගේ ආනුභාවයෙන් රථසකක් සා විචර මහත ඇති රන් පියුමක් මවා ලා පෙත්තෙනු ත් පියුම් නටුවෙනු ත් පැන් පෙරී වැගිරෙන ලෙසට කොට වදාරා ‘හිඳ ‘ මහණ, තෙල පියුම හැර ගෙන වෙහෙර පසල වැලි ගොඩක් පිට තබා ලා ළං ව ලා වැඩ හිඳ රන් පියුම හෙයින් ‘ලොහිතකං ලොහිතකං’ යි පිරියම් කරව’යි දුන් සේක.
පියුම අතට දී ලන්නා ම සිත පහන. උන් වහන්සේ ද විහාර කෙළවරට ගොසින් වැළි ගොඩක් රැස් කොට ලා මල් නටු ව එහි හිඳුවා ළඟ වැඩ හිඳ ‘ලොහිතකං, ලොහිතකං’යි සමථ භාවනාවට පටන් ගත් සේක. භාවනාවට පටන්ගෙන භාවනා කරත් කරත් කාමච්ඡන්දාදී පස් නීවරණයෝ විකඹන[1] වූය. උපචාරධ්‍යාන උපන. ඊට අනතුරු ව ප්‍රථමධ්‍යාන උපදවා පස් ආකාරයෙකින් විසී බවට පමුණුවා හුන් සේ හිඳ ම චතුෂ්ක නයින් අනික් ධ්‍යාන තුන ත් උපදවා වසිතාවට පැමිණවීමෙන් ධ්‍යාන සතර ම තර ව ගත් කල්හි ධ්‍යාන සමාපත්තියට සම වැද වැඩ හුන් සේක.
බුදුහු ඔබට ධ්‍යාන උපන් නියාව දැන ‘කුමක් දෝ ? මූ තුමූ තමන්ගේ ශක්තීන් උපදවා ගත් ලොවී ගුණ පිටට ලොවුතුරා ගුණ ත් උපදවා ගත හෙත් දෝ හෝ’යි බලන සේක් ස්වශක්තීන් අසමර්ථ නියාව දැන ‘තෙල පියුම තුලුන් බල බලා හින්ද දීම පරව යේව’යි කියා සිතා වදාළ සේක. ඒ පියුම ත් අතින් මිරිකා පූවාක් මෙන් පර වන්නේ කළු ව ගියේ ය. උන් වහන්සේ ද ධ්‍යානයෙන් නැඟී ඒ පියුම බලා ‘කුමක් දෝ හෝ, මේ පියුම පර වීමෙන් ජරාවක් හෙයින් ජරාවෙන් මඬනා ලද්දේ පෙනෙයි. අනින්ද්‍රි ය බද්ධයට පවා මෙසේ ජරා ඇති කල ඉන්ද්‍රිය බද්ධයට කියනු කිම්ද? සක්විති රජ දරුවන්ගේ සක්රුවන සේ ශෝභාමත් ව සිටියා වූ මේ පියුම පර ව බල බලා සිටිය දී ම ජරාවට පැමිණියේ ය. ‘ඒකාන්ත ව නස්සී’ සැලකීමෙන් අනිත්‍ය ලක්‍ෂණ ය දුටු සේක.
අනිත්‍ය ලක්‍ෂණය දැක්මෙන් ඒ ම දුක් හෙයින් දුඃඛ ලක්ෂණය ත් ඒ ම අනත් බැවින් අනාත්ම ලක්‍ෂයණ ත් දුටු සේක. උන් වහන්සේට තුන් භව ය ගිනි ගෙන දිළිහී ගියා මෙන් කර බැඳ ලූ කුණක් මෙන් වැටහිණ. ඒ වේලාට ම බාල දරුවෝ ළඟ එක් විලකට බැස පියා ඇඹුල මල් කඩ කඩා ගොඩ රැස් කෙරෙති. තෙරුන් වහන්සේ අනින්ද්‍රියබද්ධ වස්තුව පවා මෙ ලෙස ජරාවට පැමිණේ යි. සත්‍වයන්ට ජරාව අවුත් වදනා නියා කියනු ම කිම් දැ’යි තුන් ලකුණ තරයේ මෙනෙහි කළ සේක.
බුදුහු ත් කමටහන් මුන්ට තර ව වැටහිණැ’යි දැන ගඳ කිළියෙහි වැඩහුන් සේක් ම රස් කඳක් විහිදුවූ සේක. ඒ රස් කඳ ද ගොසින් උන් වහන්සේගේ මුහුණ වැද ගත. ‘කුමක් දෝ හෝ’යි බැලූ කලට මේ වර කරන කෙනකුන් යවා ඉන් නිහඬක් වන හෙයින් රජ්ජුරුවන් තමන් ම ගියා සේ බුදුන් ගොසින් සිටියා සේ උන් වහන්සේට වැටහිණ. උන් වහන්සේ ද දෝත මුදුනේ තබා ගත් සේක.
ඉක්බිත්තෙන් බුදුහු ඔබට අනුකූල බණක් සලකා ‘එම්බල මහණ, විලෙක ඇති වූ මහනෙල් ඉපුල්[2] ආදි වූ මල් අතින් කඩා ගන්නා සේ රහත් මගින් සියල්ලෙහි කරන ඇල්මෙක් ඇත් නම් ඒ සිඳ පියා බුදුන් විසින් දෙසන ලද නිවනට විනා අනිකකට නො වන බුද්ධෝත්පාද කාලයෙක මුත් සෙසු කලෙක සම්භ නො වන අෂ්ටාංගික මාර්ගය උපදවා ගත මැනැවැ’යි වදාළ සේක. දේශනා කෙළවර සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ උපදේශයෙන් සාරමසක් විචරිනු ත් රහත් ව ගත නුහුණු තෙරුන් වහන්සේ එක පස් වරුයෙන් පිළියම් නොදන්නවුන් ගේ පිළියමින් කල් යන්නා වූ ලෙඩ දුක් පිළියම් දන්නවුන්ගේ වශයෙන් උදවුව සන්හිඳෙන්නා සේ බුදුන්ගේ උපදේශයෙන් රහත් ව වදාළ සේක.
එ හෙයින් නුවණැත්තවුන් විසින් සියල්ලකටත් වඩා ති ලකුණු මෙනෙහි කිරීමෙන් භවසම්පතෙහි ආලය හැර නිවන් සම්පත් සාදා ගත යුතු.
_______