220. මහලු වහන්දෑගේ වස්තුව

star_outline

තවද සම්භ නො වන නිවන් සඳහා කරන සෝකයක් මුත් සෙසු සෝකයෙන් ප්‍රයෝජන නැති නියාව හඟවන්ට මහලු වහන්දෑගේ වස්තුව දක්වමු.

‍කෙ සේ ද යත්-

ඒ වහන්දෑ ගිහි අවධියේ සැවැත් නුවර පොහොසත් ව රැකුණු කෙළෙඹිවරු ය. ගිහි අවධියේ ත් එක් ව පින් කරන්නාහු බුදුන් ගෙන් බණ අසා ‘අපි මාලු ව ගියම්හ. ගිහි කම් කටුලෙන් කිම් කිම් දැ’යි බුදුන් කරා ගොසින් බුදුන් කෙරෙහි මහණ වූ හ. මාලු ව පැවිදි බැවින් ඥාන ශක්තිය ය අඩු ව බණ ඉගෙන ගත නො හී වෙහෙර කෙළවර පන්සලක් කරවා ගෙන එක්ව ම වසන සේක. සිඟා වඩනා කල ත් බොහෝ සේ පරණ අඹු දරුවන්ගේ ගෙට සිඟා ගොසින් ඊ දී වළඳන සේක. ඉන් එක් නමකගේ පොරණ දෙ වැනිණියෝ[1] පිසමන් යාපත් හෙයින් මධු පාචිකා නම්හ. ඌ තුමූ හේ හැම තැනට ම උපකාරීහ. එ සේ හෙයින් හැම තැන් ම සිඟා ගත් දෙයෙක් ඇත්නම් උන්ගේ ගෙයි දී ම වළඳන සේක. ඌ ද වැළි ත් නිරන්තර ව බත් කුම් වුව ත් සිඟා ගත් බතට මාළුවක් පිස දෙති. පසු ව කලක දී වහන්දෑගේ ම අදෛවයක් සේ ම ලෙඩක් ව ලා මළෝ ය. ඉක්බිත්තෙන් මාලු වහන්දෑ ද සහාය ව හුන් තෙරුන් වහන්සේගේ පන්සලට රැස් ව ඔවුනොවුන් වහන්සේ වැළඳ ගෙන ‘බත් මාළු පිසන සේ යහපත් කොට දන්නා උපාසිකාවෝ මළෝ ය’ යි කිය කියා හැඩූ සේක.

වහන්දෑ ද ඈතින් මෑතින් අවුත් මේ කිම් දැ’යි විචාළ කල්හි ‘අපට යාළු ව හිඳිනා නමකගේ පිසමන් යහපත් කොට දන්නා පොරණ දෙ වැනිණි කෙනෙක් ලෙඩක් ව ලා මළෝ ය. හින්නා තෙක් දවස් අපට උපකාරී කම ත් මහත. එ බඳු කෙනකුන් කෙසේ ලබමෝ දැ’යි සිතා හඬම්හ’යි කී සේක. ඒ ඇසූ වහන්දෑ මේ කථාව ධම් සෙබෙහි දී ඉපැදවූ සේක. බුදුහු ඒ අසා වදාරා ‘මහණෙනි, දැන් මතු නොවෙයි. පෙරත් තුලු තෙල ලෙස කවුඩු යෝනියෙක ඉපැද මුහුදු බඩ ඇවිදිනා ගමනේ රළ ගැස්මෙකින් මුහුදට වැද මළ කල්හි මූ හැම ත් කවුඩුව ඉපැද කවුඩන් නම් හඬන්ට සුරු පක්‍ෂයක් හෙයින් හඬමින් වලපමින් මූද වැටී ගිය කැවිඩිය මෑත් කොට ගනුම්හ’යි තුඩින් පැන් උක උකා ඉස්නාහු-

“අපි නු හනුකා සන්තා - මුඛඤ්ච පරිසුස්සති,

ඔරමාම න පාරෙම - පූරතෙව මහොදධි”

යනු හෙයින් මූදු පැන් ඉසිනට පටන් ගෙන ආයාස මහත් ව ගොසින් ‘හනු ත් හැවිළෙයි. කට ත් හැවිළෙයි. ඉස ගත ත් නො හැක්ක. මූදත් පිරෙ යි’ කිවු ය’ යනාදීන් කාක ජාතක ය විස්තර කොට වදාරා ඒ වහන්දෑ බණවා ලා ‘මහණෙනි, රා දොස් ඈ කෙලෙස් නැමති වන ය නිසා මේ සා මහත් දුකෙක් තොපට පැමිණියේ ය යි යන අදහසින් වන ය සිඳුව’යි වදාළ කල්හි අලුත මහණ වූ වහන්දෑ ‘බුදුහු අප ලවා කැති පොරෝ ආදියෙන් වල් කප්වනු කැමති සේක් වනැ’යි සිතූ සේක.

බුදුහු ද නිකම් වන නො වන නියා ව හඟවන්ට ‘මහණෙනි, ගස් කොළ නො කපව’යි වදාළ සේක. වදාරා ලා වහන්දෑ තමන් වහන්සේගේ අදහස් දත් කල්හි ‘මහණෙනි, යම් සේ පියවි වනයෙන් සිංහ ව්‍යාඝ්‍රාදීන් ගෙන් නො එක් භය වේ ද, එ පරිද්දෙන් ම ජාතිභයාදී වූ නො එක් භය ත් කෙලෙස් වෙනෙන් උපද්දී. යම් සේ මහත් වූ ගස් වන නම් වේ ද, කුඩා කුඩා ගස් එහි පිහිටි හෙයින් වනථ නම් වේ ද, නොහොත් මූකුරා සිටි ගස්වන නම් වේ ද, පසු ව පසු ව ඇති වන පැළ වනථ නම් වේ ද, එ පරිද්දෙන් ම පිළිසැඳ දෙන කෙලෙස්හු වන නම් වෙති. ප්‍රවෘත්ති විපාක දායකයෝ වනථ නම් වෙති. එමෙන් පෙර පෙර උපන් කෙලෙස්හු වන නම් වෙති. පසු ව පසු ව උපදනා කෙලෙස්හු වනථ නම් වෙති. එ හෙයින් මහණෙනි, ද්වි ප්‍රකාර වූ කෙලෙසුන් ම රහත් මඟින් සිඳ නිකෙලෙස් ව වසව.

යම් කෙනකුන්ගේ සන්තානයෙහි ශේෂ මාත්‍ර වුවත් කෙලෙස් කෙනෙක් පවතිත්ද, ඒ තාක් ඌ තුමූ කිරි බොන වස්සන් කිරි වරන තාක් මවුන් පිළිබඳ වූවා සේ කෙලෙස් පිළිබඳ ව වෙසෙති’ වදාළ සේක. දේශනා කෙළවර පන්සියයක් විචර මහලු වහන්දෑ සෝවාන් ව ආර්‍ය්‍ය ජාතියෙහි අමුතු ව උපන් හෙයින් සඟ බාල වූ සේක. තව ත් බොහෝ දෙනා හට මේ දේශනාව සප්‍රයෝජන වි ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් මේ වක විෂ්කම්භන-සමුඡේද දෙක බැරි වුව ත් තදඞ්ග විමුක්ති ය පිළිවන් බැවින් ශීල සංරක්‍ෂණාදී වූ කුශලයෙහි පිහිටීමෙන් සියලු අකුසලින් දුරු ව ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කට යුතු.

  1. දෙවැනැණියෝ