219. පොට්ඨිල තෙරුන් වහන්සේ ගේ වස්තුව

star_outline

තව ද ආගමාභියෝග ය ඇති තැනට අධිගම සිද්ධි අනායාස නියාව හඟවන්ට පොට්ඨිල තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත්-

උන් වහන්සේ විදර්ශි ආදී වූ බුදු වරුන් වහන්සේ ගේ ශාසනයෙහි මහණ ව ආගමධරව පන් සියයක් දෙනා වහන්සේට අසන තැන් කියන සේක. බුදුහු එක් දවසක් ‘මුන් තමන් අනුන්ට පිහිට වන ගමනක් මුත් තමන්ට පිහිටයකට සිතිවිලි නැත. උන් තමන් ට ත් පිහිට වනු ලෙසක් කරවමි’ සිතා එ වක් පටන් ඒ තෙරුන් වහන්සේ තමන් වහන්සේ ළඟට ආ කල ‘සිස් පොට්ඨීලයෙනි, එව. සිස් පොට්ඨිලයෙනි, හිඳුව’ යනාදීන් වදාරන සේක. ඒ තෙරුන් වහන්සේ ත් ‘මම වූ කලී තෙවලා බුදු වදන් වන පොත් ධරමි. පන්සියයක් වහන්දෑ අටළොස් වර්‍ගයක් කොට ලා අසන තැනු ත් කියමි. එ තෙකුදු වුව ත් බුදුහු මට මේ ලෙස වදාරන සේක. ධ්‍යානාදී ගුණ විශේෂයක් මා කෙරෙහි නැති හෙයින් වනැ’යි සිතා වලට ගොසින් මහණ ධම් කරන ලෙසට ඔබකට නො හඟවා තමන් වහන්සේ ම පාත්‍රය බැඳ ගෙන අළුයම් වේලෙහි අසා ගෙන යන වහන්දෑ හා කැටි ව ම නික්මුණු සේක. මළුවේ හිඳ පිරිවන වහන්දෑ ත් ඇදුරු තෙරුන් වහන්සේ නියා සලකා ගත නුහුණු සේක.

උන් වහන්සේ ත් සාර සිය අසූ ගවුවක් විතර ගොසින් එක් වලෙක වසන තිස් දෙනකුන් වහන්සේ කරා ගොසින් වැඩි මාලු තෙරුන් වහන්සේ වැඳ ලා ‘ස්වාමීනි. මට පිහිට වුව මැනවැ’යි කී සේක. ඒ අසා උන් වහන්සේ ‘ඇවැත්නි, තුමූ ධර්‍මධරයෝ ය. තමන් ගෙන් අඩු-වැඩි අප දත මනා ව තිබෙන්නා - එ සේ කීයේ හැයි දැ’යි කී සේක. පොට්ඨිල තෙරුන් වහන්සේ ත් ‘ස්වාමීනි, එ සේ නොවදාළ මැනව. පිහිට වුව මැනවැ’යි’ කී සේක. තිස් නම ම රහත් හෙයින් අධිගමොපාය කියන්ට බැරි නැත. එතෙකුදු වුවත් වැඩිමාලු තෙරුන් වහන්සේ ආගම ව්‍යක්තිය නිසා මුන්ට ඇති අභිමාන ය ඇරවුව මනා වේ දැ’යි ඉක්බිති තෙරුන් වහන්සේ කරා යැවූ සේක. උන් වහන්සේ ත් එ ම ලෙස ම වදාළ සේක. එ ලෙසින් හැම තැන් ම ඉක්බිති ව හුන් තැන කරා යවන සේක් සත් හැවිරිදි හෙරණ කෙනකුන්දෑ කරා යැවූ සේක.

මෙ ලෙසින් බහුශ්‍රැත කම නිසා ඔබට ඇති වූ අභිමාන ය හැරිණ. උන් වහන්සේ ද නිහතමානී ව සාමණේරයන් දෑ ළඟට ගොසින් දෝත මුදුනේ තබා ගෙන ‘සත් පුරුෂයාණෙනි, අපට පිහිට වව’යි වදාළසේක. ඒ අසා හෙරණුන්දෑ ද ‘ආචාරීන් වහන්ස, කුමක් කියන නියා ද? මුඹ වහන්සේ වයෝවෘද්ධ - තපෝ වෘද්ධ කමත් ඇති සේක. නැවත බහුශ්‍රැත සේක. එහෙයින් මුඹ වහන්සේගෙන් ම දත යුත්තක් අප දනිතොත් මුත් අප ගෙන් මුඹ වහන්සේ දන්නේ කිම් දැ’යි කී සේක. ‘සත් පුරුෂයාණෙනි, තෙල ලෙස කියා අප ඔබට නෑවිද්දා පිහිට වව’යි වදාළ සේක. ‘ඉදින් ස්වාමීනි, කීකරු සේක් වී නම් පිහිට වෙමී, කී කල්හි ‘සත් පුරුෂයාණෙනි, ගින්නට වදින්ට කීවත් වදිමී’ කී සේක. සාමණේරයන් දෑ ද ළඟ තුබූ පොකුණක් පෑ ලා ස්වාමීනි, අන් පෙරෙවිය පිටින් ම තෙල පොකුණට බට මැනැවැ’යි කී සේක. එ සේ කීයේ නම් වැළඳ ගත් සිවුරු මා ඇඟි බව දැන ත් කීකරු නියා විමසන්ට ය. තෙරුන් වහන්සේ ද එක බසින්ම පොකුණට බස්නට වන් සේක.

ඉක්බිත්තෙන් වැළඳ ගත් අඳනයෙහි අසුන් කන් තෙමෙන්ට වන්කල්හි ගොඩට වැඩිය මැනැව’යි කියා එක බසින්ම අවුත් සිටි කල්හි සාමණේරයන් දෑ ‘ස්වාමීනි. යම් සේ එක සුඹසෙක සිදුරු සයෙක් ඇත් ද, ඉන් එක සිදුරකින් ගොයෙක් ඇතුළට වන. ඒ ගොයි අල්වනු කැමැති කෙනෙක් ගොයා වන් සිදුර හැර අනික් සිදුරු පස ඇසවා ලා ස වැනි සිදුර බිඳ වන් සිදුරෙන් ම අල්වත් ද. එ පරිද්දෙන් මුඹ වහන්සේ ත් රූපා දී ෂඩාලම්බනයට ප්‍රතිනියත වූ චක්ෂුරාදී ද්වාරයන් ස දෙනාගෙන් චක්ෂුරාදි වූ පස් දොර වසා ලා මුනි දොර කටයුත්තට පටන් ගත මැනැවැ’යි කී සේක. බහුශ්‍රැත භික්ෂූන් වහන්සේට මෙ පමණෙකින් ම භාවනා විධි ය පහන් නඟා පූවා සේ වී ය. උන්වහන්සේද ‘සත්පුරුෂයාණෙනි, මෙතෙක් ම සෑහෙයි කියා භාවනාවට පටන් ගත් සේක.

බුදුහුත් සාර සිය අසූ ගවුවෙකින් ඔබ්බේ වැඩ හුන් සේක් රස් කඳක් විහිදුවා ලා ළංව වැඩ හුන්නාසේ වලා ‘එම්බල මහණ, අට තිස් අරමුණෙහි භාවනාභියෝග ය නිසා විපස්සනා ඡන්‍දය උපද්දී. යම් කෙනකුන්ට ඒ භාවනාභියෝගය නැත් නම් උන්ට විපස්සනාව ත් නැත. එහෙයින් භාවනාභියෝගය ත් අනභියෝග යත් යථා ක්‍රමයෙන් වැඩ–අවැඩ දෙක ම වන්නේ ය යි දැන යම් ලෙසක ලොවී ලොවුතුරා නුවණ වඩී නම් එ ලෙස කටයුතු ය’යි වදාළ සේක. දේශනා කෙළවර පොට්ඨිල තෙරුන් වහන්සේ රහත් වූ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් සිද්ධ කරන ආගම ව්‍යක්තිය නිරායාසයෙන් අධිගම ව්‍යක්ති ය වනු සඳහා කටයුතු.