218. සූකර ප්‍රේත වස්තුව

star_outline

තව ද පාපයෙහි ආදීනව දක්වන්ට සූකර ප්‍රේත වස්තුව කියමු.

කෙ සේ ද යත් -

එක් දවසක් මුගලන් මහ තෙරුන් වහන්සේ ලක්‍ෂණ මහ තෙරුන් වහන්සේ හා සමඟ ගිජු කුළු පවුවෙන් බස්නා සේක්-එක් තැනක දී සිනා පහළ කොට වදාරා සිනා පහළ කිරීමට කාරණ ලක්‍ෂණ මහ තෙරුන් වහන්සේ විචාළ හෙයින් ‘දැන් වේලා නො වෙයි. බුදුන් ළඟ දී විචාළ මැනවැ’යි කියා ලා රජගහා නුවර සිඟා වළඳා අන්තයෙහි වේළුවන වෙහෙරට වැඩ බුදුන් වැඳගෙන වැඩහුන් සේක. ලක්‍ෂණ මහ තෙරුන් වහන්සේ ද සිනාවට කාරණ විචාළ සේක. මුගලන් මහ තෙරුන් වහන්සේ ද ‘මම, ඇවැත්නි, එ තැන දී එක් ප්‍රේතයකු දිටිමි. ඒ තෙමේ තුන් ගවු පමණ උස ඇත්තේය. ඌගේ හිස හූරු හිසක් වැනි ය. සෙසු අවයව මිනිස් සැටිය ය. කට ඇතුළේ නඟුටෙක් ඇති වී ය. ඉන් පූයා කඳු වැගිරෙයි. මම මා ඒ කර්මයෙන් ගැළවුණු නියාව තකා සිනා පහළ කෙළෙමි’ වදාළ සේක.

බුදුහු ඒ අසා ‘මම ද තෙළ ප්‍රේතයා බුදු වූ දවස් බෝ මැඬ දීම දිටිමි’යි කියා ලූ කල යම් කෙනෙක් හදහා නො ගත්තු නම් උන්ට බොහෝ පවු හෙයින් උන් කෙරෙහි කරුණාවෙන් නො කීමි. දැන් දෙසට මුගලන් මහ තෙරහු ඇත. ඒ ප්‍රේතයා ඇත්තේ සැබැවැ’යි වදාළ සේක. ඒ අසා වහන්දෑ ප්‍රේත වන්ට ඔහු කළ පවු විචාළ සේක. ‘මහණෙනි, අසනු කැමති නියා දැ’යි විචාරා ‘අසම්හ’යි කී කල්හි ඔහු කළ පාප ය වදාළ සේක.

කෙසේ ද යත් -

කසුප් බුදුන් සමයෙහි ගම් පැල් වෙහෙරෙක තෙර දෙනමෙක් සමඟ ව විසූ සේක. ඉන් එක් කෙනකුන් වහන්සේ මාලු පැවිදි ව සැට වයස් ගිය සේක. එක් කෙනකුන් වහන්සේට සැට වයසට මඳ උන් වහන්සේ ශ්‍රද්ධා සම්පන්න කුල දරුවන් හෙයින් වෘද්ධ ගෞරව ය ඇති ව සාමණේර තැනක් මෙන් සැට වයස් ගොසින් වැඩි මාලු තැනට කළ මනා වත් පිළිවෙත් කරන සේක. ඒ දෙ නම සමඟ ව වසන තැනට වගපුල් හස්සට මී බෙටියක් සම්භ වූවා සේ පවිටු අදහස් ඇති ධර්‍ම කථික නමක් සම්භ වූ දෑ ය. එ දවස් ද වැලිත් බණ ඇසු ව මනා දවසෙක. තෙරුන් වහන්සේද පා සිවුරු ආදියෙන් සංග්‍රහයක් කොට ලා ‘සත් පුරුෂයාණෙනි, අපට බණක් කිව මැනවැ’යි කී සේක.

උන්දෑ ද නපුරු අදහසින් වුව ත් උගත් බණ හෙයින් සිත් ගන්වා ම බණ කී දෑ ය. තෙරුන් වහන්සේ ද ‘බණ කියන තැනක් ලදුම්හ’යි සතුටු ව දෙවන දවස් උන්දෑ කැඳවා ගෙන ආසන්න ගමට වැඩ සිඟා වළඳා ලා වළඳා අන්තයෙහි බණ කියන නමට ‘ඇවැත්නි, බණ කිව මැනැවැ’යි ඒ ගම මිනිසුන්ට ත් බැණ කියවූ සේක. මිනිස්සු බණ කථා අසා තව ත් බණ අසනු පිණිස දෙවන දවසටත් ආරාධනා කළහ. මෙසේ වට ගොදුරු ගම්වලට දෙ දවසක් ම අරුන්දෑ කැඳවා ගෙන සිඟා වැඩි සේක.

ධර්‍ම කථික වහන්දෑ ද දවස් ගණනක් ව ගිය හෙයින් ගම් බිමුත් හැඳින ගෙන බණ කීමෙන් මිනිසුනුත් නම්මවා ගෙන ‘මේ තෙර දෙ දෙනා වහන්සේ මෙ තැනින් පලවා පියා මම රඳා පියම් නම් සිඟා වළඳන්ට ගොදුරු ගමුත් ඇත. විහාර ඵාසුව ත් ඇතැ’යි සිතා ලා සවස ත් පිරිත් වේලාට අවුත් වත් පිරිත් නිමවා ගෙන වහන්දෑ ගිය කල්හි පෙරළා අවුත් මහ තෙරුන් වහන්සේ ළඟට ගොසින් සැළ කළ මනා දෙයක් ඇතැ’යි කියාලා ‘කිව මැනැවැ’යි කී කල්හි මඳක් සිතා හිඳ පියා උගත් බණ විතරට සොරකම් බොහෝවා සෙයින් ‘ස්වාමීනි, බසක් නම් කියා ලූ කලට වරදට යන වූවා ත් ඇතැ’යි කියා ලා නො කියා ම නැඟී ගිය දෑ ය. බාල තෙරුන් වහන්සේ ළඟට ත් ගොසින් ලා එලෙස ම කරන දෑය. දෙ වන දවසු ත් එ ලෙස ම කොට ලා තුන් වන දවස් තෙර දෙදෙනා වහන්සේට කුහුල් බොහෝ වූ කල්හි වැඩි මාලු තෙරුන් වහන්සේ ළඟට ගොසින් ‘ස්වාමීනි, සැළ කරන දෙයෙක් ඇත. සැළ කරන්ට මැළියෙමි’ කී දෑ ය.

වැඩි මාලු තෙරුන් වහන්සේ ත් ‘කියන්ට ම වුව මැනැවැ’යි තත්පර ව කී කල්හි ‘කුමක් ද? ස්වාමීනි, කුඩා තෙරුන් වහන්සේ ඔබ හා එකසම්හොගී සේක් දැ’යි කී දෑය ‘සත් පුරුෂයාණෙනි, කුමක් කියවු ද? අපි එක මවුන් දරුවන් වැන්නම්හ. මෙ තෙක් කල් මුළුල්ලෙහි එක් ව වැස උන් ගෙන් නුගුණයක් නුදුටුම්හ’යි කී සේක. ‘ස්වාමීනි මුඹ වහන්සේගේ කොවුන් කමක් නැති හෙයින් එලෙස සිතට නැඟි බව මුත් කුඩා තෙරුන් වහන්සේ මා ආ තැන් පටන් මේ වැඩි මහලු තෙරුන් වහන්සේ ලජ්ජි සේකැ’යි සිතා එක් ව සම්භෝග කරතොත් පරීක්‍ෂා කොට කරව’යි එක් වන්ව කියන සේක. මා ම හෙයින් මුත් අනික් තැනක් වුවො ත් නැඟී යන විතර ය’යි කී දෑ ය. වැඩි මාලු තෙරුන් වහන්සේද දුදන වහන්සේගේ බසින් මුසුප්පු ව පියා දණ්ඩෙන් ගසා ලූ කුඹල් වළඳක් බිඳෙන්නා මෙන් පාපිෂ්ට වහන්සේගේ කුසල් මුල් බිඳිමින් තමන් වහන්සේ ත් බුන් සේක. දුර්ජන වහන්සේත් ඔබ බිඳුවා ලා කුඩා තෙරුන් වහන්සේ ළඟටත් ගොසින් වැඩි මාලු තෙරුන් වහන්සේට කී ලෙස ම කී දෑය. උන් වහන්සේත් බිඳී ගිය සේක.

මෙතෙක් කල් මුළුල්ලෙහි එක දවසෙකත් වෙන වෙන සිඟා නොගොසින් දෙවන දවස් වෙන වෙන සිඟා ගොස් කුඩා තෙරුන් වහන්සේ පෙරාතුව අවුත් භෝජන ශාලාවෙහි සිටි සේක. වැඩි මාලු තෙරුන් වහන්සේ පසුව පියා ආ සේක. කුඩා තෙරුන් වහන්සේ ඔබ දැක පෙර මඟට ගොසින් පාත්‍ර ය හා සඟළ සිවුර හැර ගනිම් දෝ හෝ යි සිතා මුසුප්පු බලවත් හෙයින් ‘එ සේ නෙ කෙරෙමි’ යි සිතා ‘වන්නාට ය, එ බන්දක් මා කළ විරූ නැතැ’යි මොළොක් අදහස් ඇතිව ගෙන වැඩි මාලු තෙරුන් වහන්සේ කරා ගොසින් ‘ස්වාමීනි, පා සිවුරු දුන මැනැවැ’යි කී සේක. වැඩි මාලු තෙරුන් වහන්සේ ‘නො හික්මුණු තැනැත්තෙනි, තොපි ත් අපට වත් කරන තරමු දැ’යි වදාළ සේක. ‘එ සේය, ස්වාමීනි, මම ත් සිරිතක් සේ ආ පමණක් මුත් හුදෙක් සිතෙකින් නො ආමි’ කී සේක. වැඩි මාලු තෙරුන් වහන්සේ ‘ඇවැත්නි, මෙවක් පටන් එක් ව වෙසති යි සිතවු දැ’යි විචාළ සේක් - කුඩා තෙරුන් වහන්සේ ත් එ ලෙස ම කියා ලා පාත්‍ර ය බැඳ ගෙන නික්මුණු සේක. අනික් තෙරුන් වහන්සේ ත් නික්මුණු සේක. යන ගමන ත් එක් ව නො ගොසින් එක් නමෙක් බස්නාහිර බලා නික්මුණු සේක. එක් නමෙක් නැගෙනහිර බලා නික්මුණු සේක. බණ කියන වහන්සේ ද රට සරියට පැරැත්තයකුත් කියා පියා සිටුවයි කියන්නා ම අභිමතාර්ථිය සිද්ධ වූ හෙයින් රඳා පී දෑ ය.

දෙ වන දවස් ගමට සිඟා ගිය දෑ ය. අනික් දෙ දෙනා වහන්සේ කොයි දැ යි විචාළ කල්හි ‘උපාසිකාවරිනි, ඒ වහන්දෑගේ පවත් අප අතින් විචාරන්ට නොකැමැත්තේ ය. ඊයේ දවස ඔවුනොවුන් වහන්සේ හා ඩබර කොට ගෙන නික්මුණු සේක. මම බොහෝ පැරැත්ත කියා ත් නවතා ගත නුහුණු වීමි’ කී දෑ ය. නුවණ නැති මිනිස්සුත් සැබැවැ යි ගිවිස ගත්හ. නුවණැත්තෝ ‘අපි මෙ තෙක් කල් මුළුල්ලෙනුත් ඒ දෙ දෙනා වහන්සේගෙන් එ බන්දක් නුදුටුම්හ. ඉදින් උන් වහන්සේට මුසුප්පුවෙක් වේ නමුත් මුන් වහන්සේ නිසා වෙ යි’ සිතා මුසුප්පු වූහ.

ඒ තෙරුන් වහන්සේත් ගිය තැන සිතට සැපයක් නො ලත් සේක. වැඩි මාලු තෙරුන් වහන්සේ ‘අනේ බාලයන්ගේ තරමක් ය. ඒ ඇසිල්ලෙහි දුටු ආගන්තුකයාණන්ට අප හා සම්භෝග නො කරන්ට කිවු ල’යි සිතූ සේක. බාල තෙරුන් වහන්සේ වැඩි මාලු වසගින් තරමක් නො යාපත් නියා ය. මෙතෙක් කල් මුළුල්ලෙහි අපගේ තරම් දනිත ත් අමුතු ව ලා දුටු නමට අප හා සම්භෝග නො කරන්ට කී සේක් ල’යි සිතූ සේක. මෙම සිතුවිල්ලෙන් ධුරද්වයිනු ත් පිරිහුණු සේක. ඒ දෙදෙනා වහන්සේ හවුරුදු සියයක් ගිය කලට බස්නාහිරි දිග විහාරයට ගිය සේක. ගෙවල් මඳ හෙයින් දෙ නම එක ගෙයකට පැමිණියේය. වැඩි මාලු තෙරුන් වහන්සේ ගෙට වැඩ ලා හැඳ හුන් කලට බාල තෙරුන් වහන්සේත් ගේ ඇතුළට වැඩි සේක. වැඩි මාලු තෙරුන් වහන්සේ දැක හැඳින ලා කඳුලු නවතා ගත නුහුණු සේක.

බාල තෙරුන් වහන්සේ ත් වැඩි මාලු තෙරුන් වහන්සේ හැඳින ලා දෑස කඳුලු පුරා ගෙන කථා කෙරෙම් දෝ නො කෙරෙම් දෝ හෝ යි සිතා ත් අනුන් ගේ බස් අදහන්ට බැරි ය යි සිතා වැඩි මාලු තෙරුන් වහන්සේ වැඳ ලා ‘ස්වාමීනි, මම තෙක් කල් මුළුල්ලෙහි කැටු ව හුන්නෙම් වේ ද, බසකින් බිණීමකින් දුටු වැරැද්දෙක් ඇත්දැ’යි විචාරා නැතැ යි කී කල ‘එසේ කල අමුතු ව ලා දුටු නමට මා හා සම්භෝග නො කරන ලෙසට වදාරන්ට කාරණ කිම් දැ’යි විචාළ සේක. ‘මා එ සේ වූ දෙයක් කීවා නැතැයි කී කල්හි තමන් වහන්සේට ආගන්තුක නම එ ලෙස කී නියාව කී සේක. ඔබ ත් තමන් වහන්සේට කී පවත් කී සේක. ඔවුනොවුන් වහන්සේ ලා කථා කිරීමෙන් බිඳුවනු නිසා බොරු කී නියා ව දැනගෙන ඔවුනොවුන් වහන්සේ සමා කරවා ගත් සේක. අවුරුදු සියයක් මුළුල්ලෙහි අසමග ව හිඳ ත් දුටු දවස් ම සමඟ ව ලා අපගේ විහාරයට ගොසින් ඒ පවිටු තැනැත්තවුන් වෙහෙරින් නෙරුම් හ’යි නික්ම විහාරයට ගිය සේක. පවිටු අදහස් ඇති නම ද තෙරුන් වහන්සේ දැක පා සිවුරු ඉල්වා ළඟට ගිය දෑ ය. තෙරුන් වහන්සේ ‘තොපි මේ විහාරයෙහි රඳන්ට නො නිස්සව’යි අසුර ගසා ලූ සේක.

උයි ත් රඳාගත නොහී එ විට ම ගියහ. විසි දහසක් හවුරුදු කළ මහණ ධමුත් කිරි පද්දේ ගොම අකක් ලුවා සේ කෙළවර නසා පී හෙයින් එයින් සැව අවීචියෙහි ඉපැද බුද්ධාන්තරයක් මුළුල්ලෙහි පැසී දැන් ගිජු කුළු පව්වෙහි ප්‍රේත ව ඉපැද දුක් විඳිනේ ය යි වදාරා බණ වදාරන බුදුහු චතුර්විධ වූ වාක් දුශ්චරිත ය දුරු කිරීමෙන් යම් කෙනෙක් සැබෑ බස පිහිටියෝ ද, අභිද්ධ්‍යාදිය දුරු කිරීමෙන් සිතනු ත් පනව ත් ව වෙසෙත් ද, ප්‍රාණවධාදි ය නො කිරීමෙන් කයින් සිද්ධ වන පවුත් දුරු කොට වෙසෙත් ද, එසේ වූවෝ අපාය ගමනිනුත් දුරු වෙති” වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් තුන් දුසිරින් දුරු ව තුන් සුසිරි පුරා මතු මත්තෙහි ලැබිය යුතු ලොවී ලොව්තුරා ගුණ විශේෂයට පිහිටි විය යුතු.