තව ද අජිත නම් රටෙක දුර්භික්ෂ සමයෙහි ජීවත් වන්ට අසමර්ථ වූ කොතුහල නම් එක් මිනිසෙක් කාළිජි නම් ළදරු පුතකු හා කාළි නම් අඹුවක හා දෙ දෙන කැඳවා ගෙන කොසඹෑ නුවරට පිටත් ව යෙමී සිතා මඟට සුදුසු උප කරණ ලා ගෙන නික්මිණ. අහිවාතක රෝගයෙන් මහා ජනයන් මියන්නා දැක භිත්ති බිඳ ගෙන නික්මිණෙ ද කියත් ම ය. ඔහු මඟ යන්නාහු මගට ගෙන ගිය උපකරණ නිමා ගිය කල්හි සයින් පීඩිත ව දරුවන් වඩා ගෙන යන්ට නො පොහොසත් වූහ. ඉක් බිති ඒ පුරුෂයා අඹුවට කියනුයේ ‘සොඳුර, අපි ජීවත්වමෝ නම් දරු කෙනකුන් තව ත් වදා ගනුම්හ. මූ මඟ හැර පියා යම්හ’යි කීහ. ඒ අසා මවු තොමෝ පියන්ගේ ළයට වඩා මවුන්ගේ ළය මොළොක් හෙයින් මේ මාගේ ජීවිත ය තිබැද්දී මා ගේ පුතණුවන් ඇර පියා නො යමි’ කිව. ‘එසේ කල කළ මනා කිම් දැ’යි කී කල්හී ‘තෙපි එක් විටෙක වඩා ගනුව. මම එක් විටෙක වඩා ගනිමි’යි කියා එක් විටෙක මවු පුතා ගෙන මල් දමක් සේ ළෙහි හොවා ගෙන යෙයි. එක් විටෙක පියා වඩා ගෙන යෙයි. ඔහු වඩා ගත් ඇසිල්ලෙහි ම කුමරු ගේ ශරීර ය පහළ පහළ තැන් බඩ සයට වඩා වේදනා බලවත් ව උපන්නේ ය.
එ තෙමේ වේදනාව ඉවසිය නො හී නැවත නැවත අඹුවට කියන්නේ ‘සොඳුර, අපි ජීවත්වමෝ නම් පුතුන් ලබම්හ. මොහු උසුලා ගෙන යමෝ නම් අපිත් මේ දරුවෝ ත් හැම දෙන මියම්හ. මොහු හැර පියා යම්හ`යි කී ය. මවු ද විටින් විට වළකා වෙහෙසී පසු ව මුයෙන් නො බිණූහ. ඒ කුමාරයා ද පියා උරින් මව උරට, මව උරින් පියා උරට ගොස්. විඩාව නිදන්ට පටන් ගත. එ කල පියා ඔහු නිඳන බව දැන මව ඉදිරි කොට යවා එක් ගසක් යට කොළ ඇතිරියෙක වැද හොවා ලා පලා ගියේ ය. මවු ද මද තැනක් ගොසින් පෙරළී බලන්නී පුතු නො දැක ‘ස්වාමීනි, මා ගේ පුතණුවන් කොයි දමා අවු දැ’යි කිව. ඒ බසට පියා කියනුයේ ‘සොඳුර, මම ඔහු වඩා ගෙන ආ නොහී එක් ගසක් යට කොළ ඇතිරියෙක වැද හොවා ලා පලා ආමි’ කිව. එ කල්හි මවු තොමෝ ‘ස්වාමීනි, මා නො නසවා. මම මාගේ පුතණුවන් නැති ව ජීවත් නො වෙමි. මා ගේ පුතණුවන් වහා ගෙනෙව’යි කියමින් ළෙහි අත් පැහැර හඬන්ට පටන් ගත. ඇගේ අඬදොඩ බලව ත් හෙයින් නැවත ගොස් කුමාරයා ගෙනායේ ය. එ තෙමේ මෙ සේ මෙ පමණ තැනෙක්හි පුතු හැර පියා ගිය අකුසලයෙන් භවාන්තරයෙහි සත් වරෙක දමන ලද්දේ වි ය. එසේ හෙයින් අකුසල කර්‍ම ය නම් මඳ දෙයෙකැ යි නො සිතිය යුත්තේ ය.
මෙ සේ යන්නා වූ ඔහු දෙ දෙනා ගොස් එක් ගො පලු ගමකට පැමිණියහ. එ දවස් ම ගොපල්ලාගේ දෙනුන්ට කළ මනා මඟුලෙක් එළඹ සිටියේ ය. ඒ ගොපල්ලාගේ ගෙයි ද එක් පසේ බුදු කෙනකුන් වහන්සේ නිබඳයෙන් ම වළඳන සේක. එ දවස් ගොපලු පසේ බුදුන් වළඳවා මඟුල් කෙළේ ය. ඒ මඟුලෙහි බොහෝ කිරි බත් පිළියෙළ කරන ලද්දේ ය. ගො පලු තෙම මගීව ආවා වූ ඔවුන් දැක කොයි සිට අවුදැ යි විචාරා සියලු පවත් අසා දැන මොළොක් වූ සිත් ඇති ව ඔවුන් කෙරෙහි කරුණාවෙන් මහත් වූ අනුකම්පා උපදවා බොහෝ එළගිතෙල් හා කිරි බත් ගෙන දෙවී ය. අඹු තොමෝ කිරි බත් ගෙන, ස්වාමීනි, නුඹ ඇතොත් මමත් ඇත්තෙමි. බොහෝ කලක් සයින් උන් න ව. බඩ පුරා බත් කව’යි එළගිතෙල් ඌ දසාවට නමා ලා තොමෝ එළඟිතෙල් මඳ දසාවෙන් බත් මඳක් කෑ ව. සැමි බොහෝ කොට බත් කා සත් අට දවසක් බඩ සා ව උන් හෙයින් ආහාර තෘෂ්ණා ව සිඳ පිය නොහිණ. ගොපලු තෙම ඔවුන්ට බත් දෙවා තෙමේ කිරි බත් කන්ට පටන් ගත. මගී පුරුෂයා බල බලා හුන්නේ ගේ යට මැස්සෙහි හොත්තා වූ බැල්ලට ගො පල්ලා දෙන කිරි බත් පිඬ බලා ‘දවසින් දවස මෙ බඳු බත් ලබන බැල්ල කුසල් කළ නියා ය’යි සිතී ය.
ඉක්බිති හෙ තෙම කිරි බත් දිරවා ගත නො හී එ ම දවස් රාත්‍රි භාගයෙහි මිය එම බැල්ලගේ බඬ උපන. එ කල ඔහුගේ අඹු තොමෝ සැමියා දවා එ ම ගෙයි බැළ මේ කොට සාල් නැළියක් ලදින් ලත් සාල් නැළිය බත් පිස පසේ බුදුන් වහන්සේට දන් දී ස්වාමීනි, මේ පින් නුඹ වහන්සේගේ මළ ගැත්තහුට වේව’යි කියා පින් පෙත් දී සිතන්නී ‘මා මෙහි ම විසුව මැනව, මාගේ ස්වාමිදරු වූ පසේ බුදුන් වහන්සේ නිබඳ මේ ගෙට වඩනා සේක. පිළිගන්වන දෙයක් ඇත. පිළිගන්වා ලමි. දැක වැඳ පුදා වතාවත් කොට සිත් පහදවා බොහෝ පින් පුරා ගනිමි’යි සිතා එම ගෙයි බැළ මේ කොට ජීවත් වෙමී සිතූහ.
ඒ බැලිද සත් අට වැනි මස එකම බලු කුකුරුවකු වදා පුව. ගොපලු තෙම ඒ බලු කුකුරුවාට නිබඳයෙන් එක් දෙනකගේ කිරි තබා දින. කුකුරුවා කැවිල්ල සුව ලද හෙයින් නොබෝ කලකින් වැඩී මහත් වි ය. ඉක්බිති පසේ බුදුන් වහන්සේ වළඳන වේලෙහි ඒ බලු කුකුරුවාට නිබඳයෙන් එක් බත් පිඬක් තබා දෙන සේක. බලු කුකුරු තෙම බත් පිඬ නිසා පසේ බුදුන් වහන්සේ කෙරෙහි ස්නේහ ඉපද වි ය. ගොපලු ද දවස් පතා දෙ වේලෙහි ම පසේ බුදුන් වහන්සේට උපස්ථානයට යන්නේ ද අතර මඟ චණ්ඩ මෘගයන් ඇති තෙන බිමත් ගස ත් දණ්ඩෙන් ගසා මහත් කොට හඬ ගසා පියා චණ්ඩ මෘගයන් ලුහු බඳව යි. බලු ද ඌ හා කැටිව ම යෙ යි. එක් දවසක් ගොපලු තෙම පසේ බුදුන්ට දන්වනුයේ ‘ස්වාමීනි, මම අවකාශයක් නැති දවසෙක මේ බල්ලා එවා ලමි. ඒ සලකුණෙන් වැඩිය මැනැවැ’යි සැළ කොට එ තැන් පටන් තමාට අවකාශයක් නැති දවස් ‘යව, පුත, මාගේ පසේ බුදුන් වහන්සේ කැඳවා ගෙන එව’යි කියා බල්ලා යව යි.
හෙද ඔහු කී එක බසින් යන්නේ තමාගේ ස්වාමි දරුවන් දණ්ඩෙන් ගස කොළ බිම පැහැර චණ්ඩ සත්‍වයන් දුරු කරණ තැන්හි දී තෙමේ ද මහත් කොට බුරා දිවි-වලස් ආදී වූ චණ්ඩ සත්‍වයන් දුරු කෙරෙමින් පසේ බුදුන් වසන තෙනට ගොස් උදාසන්හි ම සිරුරු පිළිදැග පන්සලට වැද හුන්නා වූ පසේ බුදුන් අභිමුඛයෙහි පන්සල් දොර සිට තුන් විටෙක බුරා තමා ආ බව සැළ කොට ඇතුළට වැද හෝනේ ය. පසේ බුදුන් වහන්සේ ද වළඳන වේලා සලකා නික්මුණු කල්හි බුර බුරා චණ්ඩ සත්‍වයන් දුරු කෙරෙමින් ඉදිරි ඉදිරිව යෙ යි. අතර තුරේ පසේ බුදුන් වහන්සේ ඔහු විමසන පිණිස අනික් මඟකින් යන්ට නික්මෙන සේක. එකල ඒ බලු මග සරස ඉදිරියෙහි අවුරා සිට බුරමින් නැවත තමාගේ ගෙට යන මඟට ම පසේ බුදුන් වහන්සේ බා ගන්නේය. ඉක්බිති එක් දවසෙක අනික් මඟකට පිළිපන් සේක. ඒ බල්ලා ඉදිරියෙහි සරස සිට වැළකුවද නො වැළක බල්ලා පයින් ඉවත් කොට නික්මුණු සේක. බලු නොවැළක වඩන පසේ බුදුන් වහන්සේ දැක පස්සෙහි දිව ගෙන ගොස් සිවුරුකන ඩෑගෙන ඇද මඟට ගෙනායේය. මෙ සේ බලු තෙමේ පසේ බුදුන් වහන්සේ කෙරෙහි බලවත් වූ ස්නේහ උපදවා ගෙන වෙසෙ යි.
එ කල පසේ බුදුන් වහන්සේගේ සිවුරු ඉරි දුර්‍වල වූ හෙයින් ගොපලු තෙම සිවුරට පිළි දුන. ඒ පිළි ගෙන පසේ බුදුන් වහන්සේ වදාරණ සේක් ‘හෙම්බා උපාසකය, තනි ව සිවුරු ගෙත්තම් කොට ගත නො හැක්ක. සහායක් ඇති ඵාසු තෙනකට ගොස් සිවුරු ගෙත්තම් කොට ගන්නා කැමැත්තෙමි’යි වදාළ සේක. ගොපලු තෙම “ස්වාමීනි, මෙ තැන්හි ම වැඩ හිඳ සිවුරු ගෙත්තම් කොට රඳා ගත මැනවැ’යි කියා ‘මෙ තැන දී නො පිළිවන, උපාසක ය’යි වදාළ කල්හි ‘එ සේ වී නම්, ‘ස්වාමීනි, බැහැර කල් නො යවුව මැනැවැ’යි සිවුරු ගෙත්තම් කර රඳා ගෙන වහා වැඩිය මැනවැ’යි කීය. බලු තෙම ඒ දෙ පක්‍ෂයේ කරණ කථා අසා සිටියේය. පසේ බුදුන් වහන්සේ ‘සිටුව, උපාසක ය’යි ගොපල්ලා රඳවා අහසට පැන නැඟී ගන්ධමාදන පර්‍වත ය බලා නික්මුණු සේක.
එ පරිද්දෙන් නික්මුණු පසේ බුදුන් වහන්සේ දැක බලු තෙම තිරිසනුන් නම් මිනිසුන් සේ කටින්එකක් කිය කියා සිතින් එකක් සිතන වඞ්ක කුටිල බුද්ධියක් නැති ව ඍජු බුද්ධි හෙයින් වඩනා පසේ බුදුන් වහන්සේ බල බලා බුර බුරා සිටියේ පසේ බුදුන් වහන්සේ තමාගේ චක්ෂුඃපථය ඉක්මවා ගිය කල්හි ශෝකයෙන් ළය පැලී මිය තමා කළ අනික් කුශලයක් නැත ද පසේ බුදුන් වහන්සේ කෙරෙහි කළ ස්නේහයෙන් තවුතිසා භවනයෙහි මහේ ශාඛ්‍ය දිව්‍ය පුත්‍ර ව ඉපැද දහස් ගණන් දෙවඟනන් පිරිවරා මහත් වූ දිව්‍යසම්පත් අනුභව කරන්ට පටන් ගත. එසේ හෙයින් සත් පුරුෂයන් විසින් අනික් කරන කුශලයක් නැත ද තුනුරුවන් කෙරෙහි ස්නේහ මාත්‍රයක් උපදවා අසාධාරණ වූ අනුපම වූ දිව්‍ය සම්පත් අනුභව කරන්ට උත්සාහ කට යුත්තේ ය.
එ සේ උපන්නා වූ ඒ දිව්‍යපුත්‍රයා අනුන්ට කොඳුරා කථා කරන කල්හි ඒ ශබ්දය දොළොස් යොදුනකට ඇසෙයි. ස්වභාවයෙන් කථා කරන කල්හි සියලු ම දස දහසක් යොදුන් තවුතිසා දෙවු ලොව පැතිර සිටිනේ ය. ඒ වැළි ත් අනික් කුසලයෙක් නො වෙයි බලු ව පසේ බුදුන් වහන්සේට ආරක්‍ෂාව පිණිස බිරූ බිරීමෙහි විපාකය. එහෙයින් ඔහුට ඝෝෂක දිව්‍ය පුත්‍ර ය යි නම් තුබූහ. එ තෙම එ වෙනි මහත් වූ දිව්‍යසම්පත් අනුභව කරන්නේ නොබෝ කලකින් කාල ක්‍රියා කෙළේ ය.
දෙව් ලොවින් වනාහි දිව්‍ය පුත්‍රයෝ මියන කල ආයුඃක්ෂය වීමෙන් ද, කුශල ක්‍ෂය වීමෙන් ද, ආහාර ක්‍ෂය වීමෙන්ද, කෝප වීමෙන්ද, යන මේ සතර කාරණයෙන් එක් තරා කාරණයකින් මියෙති. ඒ සතර කාරණයන් අතුරෙන් ආයුඃක්‍ෂයින් වන මරණ නම්-යමෙක් බොහෝ කුසල් කෙළේ වී නම් හෙ තෙමේ දෙව් ලොව ඉපැද එහි ආයු පරිද්දෙන් දිව සැපත් වළඳා සිට මතු මත්තෙහි දිව්‍ය ලෝකවල උපදනේ ය. එසේ වූවන්ට වන්නාවූ මරණ ආයුඃක්‍ෂයින් වන්නා වූ මරණ නම් වෙයි. යමක්හු විසින් ස්වල්ප වූ කුශලයක් කරන ලද්දේ වී නම් ඔහු ගේ ඒ කුශලය මහත් කොටුවෙක ලන ලද්දා වූ සතර නැළියක් පමණ වී සුඟක් මෙන් අතුරෙහි ම ක්‍ෂය වන්නේ ය. එ කල්හි ඒ දේවතාවා ද කල් නොයවා අතුරෙහි ම කාල ක්‍රියා කරන්නේ ය. මෙ සේ වන්නා වූ මරණ කුශල ක්‍ෂයින් වන්නා වූ මරණ නම් වෙයි. අන් කිසි දිව්‍ය පුත්‍රයෙක් පඤ්ච කාම ගුණයන් අනුභව කරන්නේ සිහිමුළා ව ආහාර අනුභව නො කොට මිරිකුණු ශරීර ඇති ව ක්ලාන්ත ව කාල ක්‍රියා කෙරේ ද ඒ කාල ක්‍රියා ව ආහාර ක්‍ෂයින් වන්නා වූ කාල ක්‍රියා නම් වෙයි. අනිකුත් කිසි යම් දිව්‍ය පුත්‍රයෙක් අනික් දිව්‍ය පුත්‍රයෙකුගේ සම්පත් දැක ඒ සහනය කොට ගත නොහී ‘අනේ මුගේ සැපතකැ’යි සිතින් ද්වේෂ උපදවා කිපී කාල ක්‍රියා කෙරේ ද - එසේ මියන්නා වූ මරණ කෝපයෙන් මියන මරණ නම් වෙයි.
මේ ඝෝෂක දිව්‍ය පුත්‍ර වනාහි දිව්‍ය වූ පඤ්ච කාමයන් අනුභව කරන්නේ මේ ආහාර අනුභව වේලා යයි නො දැන සිහිමුළා ව ආහාර ක්‍ෂයින් මිය කොසඹෑ නුවර වෙශ්‍යාවකගේ බඩ පිළිසිඳ ගත. ඕ තොමෝ වැදූ දවස් තමාගේ කෙල්ලක කැඳ වා ‘මෙ මා වැදූයේ දුවක ද පුතකු දැ’යි විචාරා පුතෙකැ යි කී කල්හි ‘එ සේ වී නම්, කෙල්ල, මොහු කුලු මාල්ලෙක ලා ගෙන ගොස් කසළ ගොඩක දමව’ යි කියා දම්මවා පුව. වෙශ්‍යාවෝ වනාහි දුන් ලද හොත් වඩති. පුතුන් වැදූ කල වල දම්මවා පියති. දූන් ගෙන් ම උන්ගේ වංශය පවත්නේ ය. ඒ දමන ලද බාල දරුවා කවුඩු බලූ ආදීහු පිරිවරා හිඳිති. එ කල බලු ව ඉපැද පසේ බුදුන් වහන්සේට රක්‍ෂා පිණිස බිරූ බිරීමෙහි අනුහසින් එසේ සිසාරා හිඳින දහස් ගණන් කවුඩු – බල්ලෝ ඔහු ඇඟ තුඩක් ඔබා ලිය නො හෙති. එ සේ ඔහු කසළ ගොඩ හොත් ඇසිල්ලෙහි පිටතට යන්නා වූ එක් මිනිසෙක් වටකොට වසා ගෙන හුන්නා වූ කවුඩන් හා බල්ලන් දැක මේ කිමෙක් දෝ හෝ යි සිතා පරීක්‍ෂා කරනුයේ කසළ ගොඩ වැදහොත් කුමාරයා දැක පුත්‍ර ස්නේහ උපදවා ‘දරු කෙනකුන් ලදිමි’යි වඩා ගෙන ගෙට ගියේ ය.
එ සමයෙහි කොසඹෑ නුවර සිටාණෝ රජ ගෙට යන්නාහු රජ ගෙයි සිට එන්නා වූ පුරෝහිතයා දැක ‘ආචාරීනි, අද නකත් වක යෝග පරීක්‍ෂා කළා දැ’ යි විචාරා ‘එ සේ ය, පරීක්‍ෂා කළම්හ. අපට අනික් කාරිය කවරේ දැ’යි කී කල්හි ‘මේ ජනපදයට කුමක් වේ දැ’යි විචාරා ‘අනික් වන දෙයෙක් නැත. අද මේ නුවර උපන් කුමාර කෙනෙක් ඇත් නම් මහත් වූ සිටු සැපත් ලැබෙතී’ කීහ. ඒ අසා සිටාණෝ තමන්ගේ ඇඹේණියන්ට ත් ප්‍රසව ආසන්න නියා ව දැන ගෙට මිනිසුන් යවා වැදූ දෝ හෝ නො වැදූ දෝ හෝ යි විචාරා නො වැදූ බව අසා රජ ගෙට ගොස් රජ්ජුරුවන් දැක වහා ගෙට අවුත් තමන්ගේ කාළි නම් කෙල්ල කැඳවා ඈට මසු දහසක් දීලා ‘තෝ මේ මසු දහස ගෙන සියලු නුවර බලා අද උපන් දරු කෙනකුන් දිටි නම් හැර ගෙන වහා එව’යි කියා යවූහ. ඕ තොමෝ මුළු නුවර බලා ඇවිදිනී කසළ ගොඩ හොත් දරුවන් වඩා ගෙන ගිය ගෙට ගොස් ‘මේ දරුවෝ කවර දා උපන්නු දැ’යි විචාරා අද ය යි කී කල්හි ‘මොහු මට දුන මැනවැ’යි ඉල්ලා නොදෙන හෙයින් ‘එක් කහවණුවක් ගෙන දෙව, ‘දෙකක් ගෙන දෙව, ‘තුනක් ගෙන දෙව’ යනාදීන් මිළ වඩන්නී මසු දහසක් දී ඒ කුමාරයන් ගෙන’වුත් සිටාණන්ට පෑව.
සිටාණෝ සිතන්නාහු ‘ඉදින් මාගේ ඇඹේණියෝ දුවක වැදූ නම් උන් මෝ හට විවා පාවා දී රකිමි. පුතණු කෙනකුන් වැදූ නම් මොහු ඇර පියෙමි’ සිතා වඩනට පටන් ගත්හ. ඉක්බිති සිටාණන්ගේ ඇඹේණියෝ පුතකු වැදූහ. එ කල සිටාණෝ ‘මොහු ඇතොත් මා ගේ පුතණුවන්ට සිටු තනතුරු නොලැබෙයි. දැන් ම දුරු කළ මැන වැ”යි සිතා ඒ තමන්ගේ කාළි නම් කෙල්ල කැඳවා “හෙම්බල කෙල්ල, මොහු ගෙන ගොස් ගො පල්ලන් ගෙරින් පිටත් කරන වේලෙහි ගොවුදෙහි ගෙරින් නික්මෙන දොරකඩ සරස හොවා ලව. එ කල්හි ගෙරි මැඬ මරන්නාහ. මොහු මැරූ බව ද, නො මැරූ බව ද, නියම දැන එව’ යි කියා යැවූහ. ඕ තොමෝ ද යහපතැ යි ගිවිස කුමාරයා ගෙන ගොස් ගොපල්ලා ගාල් දොර අළ කල්හි නො පෙනී සිට ගාල් දොරකඩ සරස කුමාරයන් හොවා ලුව. එ දවස් පළමු හැම ගෙරින්ට පසු ව ලා යන වැඩි මහලු නායක ගොනෙක් හැම දෙනාට පළමු ව නික්ම කුමාරයන් සතර කකුල් හස්සෙහි ලා ගෙන සිටියේ ය. නො එක් සිය ගණන් ගවයෝ ඒ නායක ගොනාගේ දෑළ ය පැහැර ගෙන නික්මුණාහ. ගො පලු තෙමේ ගොනු සිටිනා දැක ‘මේ ගොනා පළමු හැම ගොනුන්ට පසුව පිටත් වෙයි. අද හැමට පළමුව පිටව දොරකඩ අවුරා මධ්‍යයෙහි සිට ගත. මීට කාරණ කිම් දෝ හෝයි පරීක්‍ෂා කරනුයේ ළඟට ගොස් ඔහුගේ කකුල් සතර අතුරෙහි හොත්තා වූ කුමාරයන් දැක දරු ස්නේහ උපදවා ‘මහ පිනැති දරු කෙනෙකුන් ලදිමී’ වඩා ගෙන තමාගේ ගෙට ගෙන ගියේ ය. ඉක් බිති සිටාණන්ගේ කාළි නම් දාසී ගොස් සිටාණන්ට එ පවත් කිව.
සිටාණෝ ඒ ‘ස්වරූප ය අසා නැවත මසු දහසක් යවා එ කෙල්ල ලවා ඔහු ගෙන්වා ගෙන නැවත ත් එ ම කෙල්ලට කියන්නාහු ‘හෙම්බා මෑණියෙනි, මේ නුවර ගැල් පන් සියයක් ගෙන අද අළුයම් වේලෙහි පිටත් ව වෙළෙන්දෝ වෙළඳාමට යෙති. තෙපි මේ කුමාරයා ගෙන ගොස් ගැල් ගෙනැ යන මඟ සරස හොවා ලව. මොහු ගොන් හෝ මැඬ මරති, ගැල් සකින් හෝ මිරිකී මියන්නේ ය. මූ ගේ එ පවත් දැන එව’යි කියා යවූහ. ඒ කෙළි ද ‘යහපතැ’යි කියා ඔහු ගෙන ගොස් ඒ පන්සියයක් ගැල් යන මං මධ්‍යයෙහි කුමාරයන් හොවා ලුව. හැම දෙනාට වැඩි මාලු ගැල් නායකයා පළමු ව නික්මිණ. ඉක් බිති ඔහු ගේ ගැල්හි යෙදූ ගොන් හැම දෙන ඒ කුමාරයන් හොත් තෙනට අවුත් විය කරින් හෙළා පියා වක්‍ර කම් කරන්නාහු නැවත නැවත ගැල්හි යොදා මෙහෙයුව ද එක පියවරකු ත් ඉදිරියට නො යන්නාහු ම ය. මෙ සේ ඔවුන් ගොන් විය යොදමින් සිටියදී ම අරුණු නැංගේ ය.
ඉක් බිති ගැල් දෙටුවා ‘පෙර සුශික්ෂිත ගොනුන් අද මේ සම භූමියෙහි නො යා හී, වක්‍ර කරන්නේ කුමක් පිණිස දෝ හෝ’ යි පරීක්‍ෂා කරණුයේ මඟ සරස හොත්තා වූ දරුවන් දැක ඉතා ආශ්චර්‍යයෙකැ’යි සිතා ‘මහාභාග්‍ය ඇති දරු කෙනෙකුන් ලදිමී’ සතුටු ව තමාගේ ගෙට වඩා ගෙන ගියේ ය. ඒ කාළී නම් කෙළි තොමෝ ගොස් සිටාණන්ට එ පවත් කිව. සිටාණෝ නැවත එම කෙල්ලට මසු දහසක් දී යවා කුමාරයන් ගෙන්වා ගෙන ඈ අත ම කියා යවන්නාහු දෑන් මොහු ගෙන අමු සොහොන කට ගොස් ගස් කොළ අතුරෙහි හොවා පියව. එ තැන්හි මොහු කවුඩු බලු ආදීහු කා මරන්නාහ. යක්‍ෂයෝ හෝ ගසා මරන්නාහ. මොහු එ තැන්හි මළ බව ද නොමළ බව ද නියම දැන එව’යි කියා යවූහ. ඒ කෙළී ද ඔහු ගෙන ගොස් අමු සොහොනට දමා පියා එකත් පස් ව සැඟ වී සිටියා ය. එ සේ හොත්තා වූ ඒ කුමාරයා ළඟට බල්ලෙක් හෝ කවුඩෙක් හෝ යක්‍ෂයෙක් හෝ ආසන්න විය නුහුණුයේ ය. ඒ තැන්හි ඔහු රක්නා මවු පිය කෙනෙක් වත් බෑ බුන් ආදි වූ කිසි බන්ධ කෙනෙක් වත් නැත්තාහු ම ය.
එසේ කල ඔහු එ තැන්හි කවුරු රක්‍ෂා කළාහු ද යත්- පළමු බලු ව උපන් ජාතියෙහි පසේ බුදුන් වහන්සේ කෙරෙහි ස්නේහයෙන් ආරක්‍ෂා පිණිස බිරූ බිරීම පමණෙක්ම ඕ භට රකවල් ගෙන සිටියේ ය. ඉක් බිති එක් එළු ගො පල්ලෙක් නො එක් දහස් ගණන් එළුවන් තණ බිමට ගෙන ඒ සොහොන ළඟින් නික්මිණ. එ කල්හි එක් එළු දෙනෙක් යන මඟින් ඇළ කොළ පත් නෙළා කකා යන්නී ගස් අතුරෙහි හොත්තා වූ කුමාරයන් දැක ඔවුන්ගේ කර්‍ම බලයෙන් උපන්නා වූ ස්නෙහයෙන් නැමි නැමී ගොස් දෙදණ බිම ඇණ ගෙන සිට කුමාරයන් කිරි පොවන්නට පටන් ගත්තී ය. නික්මවන්ට සිතා එළු ගො පල්ලා කොතෙක් උත්සාහ කළ ත් නොයන්නීය. ඉක් බිති එළු ගො පලු කැවිටින් ඇණ බැණ ගෙන යෙමි සිතා එ තැනට ගොස් ගස් අතුරෙහි හොත්තා වූ කුමාරයන් කිරි පොවන්නි ය දැක ඒ කුමාරයන් කෙරෙහි දරු ස්නේහ උපදවා මහත් වූ දෛව ඇති පුතණු කෙනෙකුන් ලදිමි යි වඩා ගෙන ගෙට ගියේ ය.
ඉක්බිති සිටාණෝ එ පවත් අසා නැවත මසු දහසක් දී ඔහු ගෙන්වා ගෙන ‘මෙ තෙම එ සේ මෙ සේ මරා ගත හැකි එකෙක් නො වෙයි. මොහු ගෙන ගොස් සොරුන් හෙළන පර්‍වත මුදුනෙන් හෙළා පියව. එ.සේ කල්හි මේ පර්‍වතයෙගි ගැසී කඬ කඩ ව බිම හී යෙයි. මොහු මළ බව ද නො මළ බව ද නියම දැන වහා අවුත් මට කියව’යි කියා එම කාළී නම් කෙල්ල අත යවූහ. ඕ තොමෝ ද යහපතැ යි. කුමාරයන් ගෙන ගොස් ඒ පර්‍වත මුදුනේ සිට දැමුව. ඒ පර්‍වත ය අස මහත් හුණ පඳුරෙක් පව්තය හා එක් ව වැඩී සිටියේ ය. ඒ හුණ පඳුර මුදුනෙහි ඉතා ඝනව ඔළිඳ වැල් කැළයක් හුණ පඳුර මුදුනෙන් නො පෙනෙන්නා සේ වසා සිට ගත. පර්‍වත මුදුනෙන් හෙන්නා වූ කුමාරයෝ මහත් කොඳු පළසක් පිට හුණුවා සේ ඵ් ඔළිඳ කැළ ය මත්තෙහි හුන්හ. එ දවස් එක් නළකාරයෙක් පුතකු හා එක් ව හුණ දඬු කපන්ට ගියේ ඒ හුණ පඳුර කපන්ට පටන් ගත. එ කල්හි ඒ හුණ ගස් සැලෙන්ට වන් කල්හි කුමාරයෝ හඬන්ට පටන් ගත. එ කල ඒ නළකාර තෙම බාල දරු කෙනෙකුන්ගේ ශබ්දයෙකැ යි කිම් දෝ හෝ යි විමසනු පිණිස එක් දසාවකින් හුණ පඳුර මුදුනට නැගී කුමාරයන් දැක දරු කෙනෙකුන් ලදිමී සතුටු ව වඩා ගෙන තමාගේ ගෙට ගියේ ය.
සිටාණෝ ද, එ පවත් අසා මසු දහසක් දී කුමාරයන් ගෙන් වූහ. මෙ සේ සිටාණන් මෙ තෙක් උපාය කරණ කල්හි ත් කුමාරයෝ වැඩුණහ. එ කල ඔවුන්ට ඝෝෂක කුමාරයෝ ය යි නම් තුබූහ. කුමාරයෝ සිටාණන්ට ඇස ගසා ලූ කටුවක් සේ වැටහුණහ. ඇස දල්වා ඉඳුරා බලාපිය ත් නොහෙති. තව ද කුමාර යන් මරන්ට උපාය ත් සිතන්නාහු තමන්ගේ ගෙට වළන් ලන කුඹලා කරා ගොස් කවර දවස් වලන් පුළුස්සවු දැ යි විචාරා සෙට ය යි කී කල්හි ‘එසේ වී නම් මේ මසු දහස ගෙන අපට එක් කට යුත්තක් කරව”යි කීහ. කවර කටයුත්තෙක්ද, ස්වාමීනි, කී කල්හි මාගේ එක් අවලක්‍ෂණ පුතෙක් ඇත. ඔහු තා කරා එවාලූ කල ගබඩාවෙහි ලා ගෙන පොරොවින් කඩ කඩ කොට කපා පියා සැළියක ලා වළන් පළහන සූලයෙහි ලා පිය ව. මේ දහස තොපට නිකම් දෙන අත්ලස් පඬුරු ය. මේ කටයුත්ත සිද්ධ කොට ලූ කල්හි කරන්නා වූ උපකාර ය මම දන්නෙම් වේ දැ’යි කීහ. කුඹලා ද ‘යහපත, ස්වාමීනි, මෙයි ත් මහා කට යුත්තකැයි සිතන සේක් ද? වහා එවා ලුව මැනවැ’යි ගිවිස්සේ ය.
ඉක්බිති සිටාණෝ දෙවන දවස් ඝෝෂක කුමාරයන් කැඳවා ‘හෙම්බා, මම ඊයේ කුඹලාට කට යුත්තක් කීමි. තෙපි ගොසින් ඊයේ කී කට යුත්ත නිහඬ ව කරන්ට කුඹලාට කියව’යි කියා යවූහ. එ කල කුඹල් හලට යන්නා වූ ඝෝෂක කුමාරයන් දැක බාල දරුවන් හා කෙළි මඬලෙහි ගුළ කෙළි කෙළිමින් සිටියා වූ සිටාණන්ගේ වැදූ පුතණුවෝ ‘කොයි යවු දැ’යි විචාරා ‘පියාණන් වහන්සේගේ මෙහෙවරෙක කුඹල් හලට යෙමී’ කී කල්හි මේ කොල්ලෝ මා කෙළි මඬලෙහි බොහෝ කොට පරදවා පීහ. මුඹ ඔවුන් හා එක් ව කෙළ මා දිනවා දී ලන්නෙහි නම් මම කුඹල් ගෙට ගොස් මුඹ යන කටයුත්ත පිරිමස්වා ගෙන එමි’ කීහ. එ බසට ඝෝෂකයෝ ‘මම පියාණන් වහන්සේට බාමි කී කල්හි සිටාණන් ගේ වැදූ පුතණුවෝ කියන්නාහු “නො බව මැනව බෑණන් වහන්ස, මම මුඹ කියන අස්න ගොස් කියමි. මා එන තෙක් මොවුන් හා එක් ව කෙළ මාගේ පැරදුම ගෙවාලු ව මැනවැ’ යි කීහ. ඒ ඝෝෂක කුමාරයෝ ‘එසේ වී නම් ගොසින් කුඹලාට අපගේ පියාණන් වහන්සේ ඊයේ දවස් නුඹට එක් කටයුත්තක් කීමි කී සේක. ඒ වහා පිරිමස්වා ලුව මැනවැ යි කියා කියන කටයුත්ත තීරණය කරවා ගෙන එව’යි ඔහු යවූහ. ඒ කුමාරයෝ ද කුඹලා ළඟට ගොසින් එ පරිද්දෙන් ම කීහ.
ඉක්බිති කුඹලා සිටාණන් කී ලෙස කුමාරයන් මරා පියා වළන් පලහන සුලයෙහි ලා පී ය. ඝෝෂක කුමාරයෝ දිවස භාග ය මුළුල්ලෙහී කෙළ පියා සවස ගෙට ගොසින් සිටාණන් විසින් ‘හැයි පුත, කුඹල් ගෙට නො ගියෙහිදැ’යි කී කල්හි තමන් යන ගමන් වළකා මළණුවන් ගිය පවත් කීහ. එ තෙපුල අසා අනේ මට වූ හානියෙකැ’යි මහ හඬින් හඬා සියලු ශරීරයෙහි ලේ හුණු වූවාක් මෙන් ශෝකයෙන් දාහ ගත් ශරීර ඇති ව ‘හෙම්බල කොල, කුම්භකාර ය. මා නො නසව’යි කියා දෙ අත මුදුනෙහි තබා ගෙන හඬ හඬා කුඹල්ගේ කරා නික්මුණාහ. එ කල්හි කුම්භකාර තෙම එ පරිද්දෙන් හඬා ගෙන දිවන්නා වූ සිටාණන් දැක ‘ස්වාමීනි, මහත් කොට නො හැඬුව මැනව. නුඹ වහන්සේ කියා ලූ කටයුත්ත ඉඳුරා ම තනා ලීමි, කීය. එ කල සිටාණෝ තමන් ම කියා ලූ කට යුත්ත හෙයින් අනික් බසක් කිය නොහී මහත් පර්‍වතයෙක්හි ගැහැටී තැලුනක්හු සේ ශෝකයෙන් දැදුරු වූ සිත් ඇති ව අපමණ වූ දොම්නස් ව දුකට පැමිණියාහ.
තමා කෙරෙහි කිසි වෛර ද්වේෂයක් නැත්තා වූ සත්‍වයන්ට ද්වේෂ කරන්නවුන්ට වන විපත්ති ය වළකා ගත නො හෙන බව මේ කථාවස්තුවෙන් අසා දත් සත් පුරුෂයන් විසින් ද්වේෂ නම් දෙයෙක් නො කට යුත්තේ ය.
මෙ සේ නො එක් ලෙසින් කුමාරයන්ගේ භාග්‍ය ය නිශ්චය වුව ද සිටාණෝ කුමාරයන්ගේ මුහුණ ඉඳුරා ඇස දල්වා බලාපිය නොහී කවර උපායකින් මොහු මරා පිය හෝ’යි සිතන්නාහු ‘මා ගේ ගම් සියයක මුදළි ව සිටි ගම් මුදළියා ලඟට කියා යවා මරවමි’ සිතා පතක් ලියන්නාහු මේ මා ගේ අවලක්‍ෂණ කාලකණ්ණි පුතෙක. මොහු මරා සොරා වළෙක ලා පියව. එ සේ ඒ කටයුත්ත පිරිමස්වා ලූ කලට කළමනා සත්කාර මම ම දන්නෙම් වේ දැ’යි පත් ලියා ඝෝෂක කුමාරයන් කැඳවා ‘පුත මේ පත ගෙන ගොසින් අපගේ ගම් සියයකට නායක ගම් මුදළියාට දීලවයි කියාඒ පත කුරුඟුලාකන බැඳ ලූහ. ඒ ඝෝෂක කුමාරයෝ වනාහි අකුරු නොදන්නාහ. හේ එ සේ මැ යි. ඒ කුමාරයන් බාල අවස්ථාවෙහි පටන් මරන්ට උත්සාහ කොට ත් මරා ගත නො හී ශෝක ගන්නා සිටාණෝ කෙසේ අකුරු කරවද්ද. එසේ හෙයින් ඒ කුමාරයෝ තමන් මරන්ට තුමූ ම පත ඇරැගෙන කුරුඟුලා පටෙහි බැඳ ගෙන නික්මෙන්නාහු පියාණන් වහන්ස, මට මඟට බත් නැද්දැ’යි කීහ.
එ විට සිටාණෝ සැබෑ ස්නේහයකින් කියන බසක් සේ කියන්නාහු ‘හැයි පුතණ්ඩ, නුඹට මගට බතුත් වුවමනා ද, අතර මඟ අසවල් ගම අපගේ යාළු සිටාණකෙනෙක් ඇත. ඔවුන් ගේ ගෙට වැදගෙන බත් කාගෙන යව’යි කීහ. ඒ ඝෝෂක කුමාරයෝ ද ‘යහපතැ’යි ගිවිස පියාණන් වැඳ නික්ම අතරමග සිටාණන්ගේ ගමට පැමිණ එවුන්ගේ ගෙය විචාරා ගෙන ගොස් සිටාණන්ගේ ඇඹේණියන් දැක ‘කොයි සිට අවුදැ’යි විචාළ කල්හි ‘ඇතුළු නුවර සිට ය’යි කියා ‘තෙපි කිනම් කෙනෙකුන්ගේ දරු කෙනෙක් දැ යි විචාළ කල්හි ‘මේ ගෙයි සිටාණන් වහන්සේගේ යහළු සිටාණන් ගේ පුත්‍රයෙමි’යි කියා ‘ඝෝෂක කුමාරයෝ නම් තෙපි දැ’යි විචාළ කල්හි ‘එසේ ය, මෑණියනි කීහ. ඔවුදුටු ඇසිල්ලෙහි ම සිටාණන්ගේ ඇඹේණියන්ට පුත්‍ර ස්නේහ උපන. ඒ සිටාණන්ගේ ඉතා ප්‍රසාදාවහ වූ විශිෂ්ට රූ ඇති සොළොස් හැවිරිදි එක ම දියණි කෙනෙක් ඇතියහ. ඒ කුමාරිකාවන්ට අත් - පා මෙහෙවර හා ආවර මෙහෙවර කරණ සේ එක ම දාසියක් දී සත් මහල් පායක මතුමහල් තලයෙහි සිරි යහන් ගබඩාවෙක ලා රක්‍ෂා කෙරෙති.
ඒ සිටු දියණියන් එ කෙණෙහි තමන්ගේ එම කෙල්ල කැඳවා කිසි කටයුත්තක් පිණිස ‘ව්‍යාපාරයන් වසන වීථියට යව’යි කියා යවන්නා වූ ඈ දැක සිටාණන්ගේ ඇඹේණියෝ ඒ කෙල්ල ළඟට කැඳවා ‘කොයට යෙහි දැ’යි විචාරා ‘නුඹ වහන්සේගේ දියණියන් වහන්සේ කී මෙහෙවරෙක යෙමි’යි කී කල්හි ඒ තිගේ මෙහෙවර තබා ලා මෙහෙවර ඒ මාගේ පුතණුවන්ගේ පතුල් සෝධවා යහනක් අතුට එහි සතප්වා පය තෙල් ගා පසු ව තී යන මෙහෙවරට යව’යි කීහ. ඒ කෙළී ද සිටු ඇඹේණියන් කී මෙහෙවර කොට කල් යවා සිටු දියණියන් සමීපයට ගියා ය. එ කල සිටු දුවණියෝ කෙල්ල කල් යවා ආ හෙයින් ‘මෙතෙක් වේලා කුමක් කොට ඇවිද්දෙහි දැ’යි භයගන්වා දෙඩූහ. එ කල්හි ඕ තොමෝ ‘ස්වාමීනි, මට නො දෙඩුව මැනව. ඝෝෂක නම් සිටු පුත්‍රයාණ කෙනෙක් අවු ය. ඔවුන්ට මුඹ වහන්සේගේ මෑණියන් වහන්සේ කී මෙහෙවර කොට කල් යවා වීථියට ගොසින් දැන් මේ එන නියා වේ දැ’යි කිව.
ඝෝෂක කුමාරයෝ ය යන නම අසමින්ම සිටු දියණියන්ට මහත් වූ ස්නේහ උපන. එ සේ උපන්නා වූ ප්‍රේම ය-ඡවි-මස්-නහර-ඇට මිදුලු ආදී වූ සකල ශරීරයෙහි පැතිර සිටිගත. ඔහු වනාහි අනිකෙක් නො වෙති. ඒ ඝෝෂක කුමාරයන් බලු ව උපන් ජාතියට පළමු කොතුහල නම් පුරුෂව උපන් ජාතියෙහි ඇඹේණියෝම ය. පසු ව බැළ මෙහෙ කොට ලද සාල් නැළියක බත් පිස පසේ බුදුන්ට පිළිගන්වා එහි අනුසසින් අවුත් එ කල්හි ඒ සිටු කුලයෙහි උපන් හ යි දත යුතු. මෙ සේ ඒ පූර්ව ස්නේහය භවාන්තරයෙහි දු හේතු වශයෙන් අවුත් සිටු කුමාරිකාවන්ගේ සිරුර පුරා සිටගත. හේ එ සේමය. දියෙහි අටගන්නා උත්පල- කුමුදා දී වූ පුෂ්ප ජාතීහු මඬ හා දිය හේතු කොට ගෙන යම් සේ උපදිද් ද, එපරිද්දෙන්ම සත්වයන්ට ඔවුනොවුන් කෙරෙහි උපන්නා වූ ප්‍රේමය ද පූර්‍ව සන්නි වාසයක් හෝ මේ ජාතියෙහි කරණ ලද උපකාරයක් හෝ හෙතු කොට ගෙන උපදනේ ය යි දතයුතු, එයින් වදාළහ බුදුහු -
පුබ්බෙව සන්නිවාසෙන - පච්චුප්පන්නහිතෙන වා,
එවං තං ජායතෙ පෙමං - උප්පලං ‘ව යථොදකෙ’යි
ඉක්බිති සිටු දියණියෝ ‘මෑණියෙනි. ඌ දැන් කොයි දැ’යි විචාරා’ යහන මත්තෙහි වැද හෙව නිදතී ‘කී කල්හි’ උන් අත යමක් ඇද්දැ’යි විචාරා කුරුඟුලාකන බැඳලූ පත විනා අනික් දෙයක් නැතැ යි කී කල්හි ඒ කුමන පතෙක් දෝ හෝ යි සිතා දෙමවුපියන් ගෙන් ප්‍රමාදයක් බලා නො පැනෙන සේ සෙමින් මතු මහලින් බැස කුමාරයන් හොත් තැනට අවුත් ඔවුන් නිඳියදීම පත උනා ඇරගෙන තමන් වසන ගබඩාවට වැද දොර වසා ගෙන කවුළු දොර හැර තමන් අකුරු දන්නා හෙයින් පත කියවා අසුන් දැක ‘අනේ මේ ඉතා නුවණ මඳ කුඩා සුහෙක. තමා මරන්ට පත තෙමේ ම ඇරගෙන ආ ය. ඉදින් මම නුදුටිම් නම් මොහුගේ ජීවිතය නැතිවන් වි ය’යි කම්පාව ඒ පත ඉරා දමා එ ම සිටාණන් එවූ පතක් මෙන් අනික් පතෙක ලියන්නාහු ‘අපගේ ගම් සියයෙහි නියුක්ත ගම් මුදළින්ට ය. මාගේ පුත් වූ ඝෝෂක කුමාරයන් ඔබ එවා ලීමි. තෙල තොප අසර සිටි ගම් සියයෙන් පඬුරු ඇරගෙන ජනපද වාසී වූ අප ගේ යහළු සිටාණන්ගේ දියණියන් ඔවුන්ට විවා මඟුල්කොට පාවා දී ගම් මැද දෙ මාල් පායක් කරවා වාසල් පවුරු පදනමින් හා මිනිසුන් ගෙන් ඉඳුරා රකවල් ලවා ගෙ වදනා මඟුල් කොට එ ම තමන් කැරවූ සියල්ල ම මේ මේ දෑ කරවිමියි අපට කියා එවා ලූ කල අපි ත් ඊට තරම් ප්‍රසාද දෙන්නමෝ වේ දැ’යි ලියා හකුළුවා කුරුඟුලා කනෙහි බැන්දාහ.
කුමාරයෝ නිදා පිබිද නැඟී සිට බත් කා සැතපී නික්ම දෙ වන දවස් උදාසන්හි ම එ ම ගමට ගොස් ගම් මුදළින් දුටහ. ඒ ගම් මුදළියා ද ඝෝෂක කුමාරයන් දැක ‘යහළුව, කුමක් නිසා අවු දැ’යි විචාරා ‘ම පියාණන් වහන්සේ මුඹට පතක් එවූ සේකැ’යි කී කල්හි ‘ගෙනෙව, යහළු, කුමන පතෙක්දැ’යි පත ගෙන කියවා සතුටු ව ‘හෙම්බල කොල, මා ගේ සිටාණන් වහන්සේ මා කෙරෙහි ඇති ස්නේහයක් බලව. තමන්වහන්සේ ගේ වැඩි මහලු ව සිටි පුතණුවන් වහන්සේට මඟුල් කරන්ට කියා මට පතක් එවූ සේක. වහා දාරු සම්භාරයන් රැස් කරව’යි ගම් සියයෙහි ගොවීන්ට කියා දැව-ගෝණැස් ආදිවූ දාරු සම්භාරයන් නො බෝ දවසකින් රැස් කරවා ගම් මැද මැල් මහත් පායක් කරවා ගම් සියයෙන් නො එක් පඬුරු ගෙන්වා ගෙන දනවු වැසි සිටාණන්ගේ දියණියන් මහත් වූ මඟුලින් ගෙන්වා ගෙන ඝෝෂක කුමාරයන්ට සරණ පාවා දී ඒ තමන් කැරවූ සියල්ලම සිටාණන්ට කියා යවූහ.
සිටාණෝ ඵ පවත් අසා ‘අනේ මා කළ දෙයෙක ම සිද්ධ නොවෙයි.මේ කුමන නස්පතෙක් දැ’යි මහත් වූ දොම්නසට පැමිණියහ. එ කල පළමු ඇති වූ දරු ශෝක ය හා මේ ශෝක ය දෙක එක් ව කුස ඇතුළෙහි මහත් වූ ඩාහ ඉපැද සිටාණන්ට අතීසාර ඇති වි ය. ඝෝෂක කුමාරයන්ගේ ඇඹේණියෝද ‘සිටාණන්ගෙන් ගෙනා හස්නක් මට කියා මිස ඝෝෂක කුමාරයන්ට නො කියව’ යි විධාන කළහ. සිටාණෝ ද, ඒ දුෂ්ට පුතා දැන් මාගේ සැපතට හිමි විය නො දෙමි’යි සිතා තමන් ගේ එක් නියුක්තයක්හු කැඳවා කියන්නාහු ‘හෙම්බා මයිළණුවෙනි, මපුතණුවන් ඝෝෂක කුමාරයන් දක්නා කැමැත්තෙමි. තොප ගෙන් මිනිසකු, යවා මපුතණුවන් වහා ගෙන්වා පියව’යි කීහ. එ තෙපුල් අසා එ තෙම ‘යහපතැ’යි ගිවිස පතක් ලියා දී ඝෝෂකයන් කැඳවා ගෙන එන සේ එක් මිනිසකු යැවී ය.
සිටු දියණියෝ ඔහු අවුත් දොර කඩ සිටි බව අසා ගෙන්වා බෑණෙනි, කුමක් නිසා අවි දැ’යි විචාරා ‘ස්වාමීනි, සිටාණන් වහන්සේ ගිලන් සේක. එහෙයින් පුතණුවන් වහන්සේ දක්නා කැමැතිව කැඳවා එවූ සේකැ’යි කී කල්හි අඵාසු කවර තරම් දැ’යි විචාරා ‘තව බත් පැන් කති’කී කල්හි එ පවත් ඝෝෂක කුමාරයන්ට නො කියා ම ඕහට හිඳිනා ගෙයක් දී බත් බුලත් ඉස්තෙල් පහන් තෙල් ආදී වූ වැටුප් වියදම් දෙවා යන්ට කී කල යව’යි කියා එක් ගෙයක සුව සේ ඉන්ට සැලැස්සූහ. එ සේම දෙවනවර ඝෝෂක කුමාරයන් කැඳවා එවූ පුරුෂයෙකු දු එ පරිද්දෙන් ම රැඳ වූහ. ඉක්බිති සිටාණන්ගේ අතීසාර රෝග ය බලවත් ව ගිය කල්හි එක් කබලක් තබති. එක් කබලක් බාති. එකල්හි සිටාණෝ නැවත තමන්ගේ නියුක්තයා කැඳවා ‘කිමෙක් ද මයිලණුවෙනි, ම පුතණුවන් ළඟට මිනිසුන් යවූ ද නො යවු දැ’යි විචරා ‘එ සේය, ස්වාමීනි, දැන් දෙ වරෙක මිනිසුන් යැවීමි. ඒ දෙ වාරයෙහි යවූ මිනිස්සු තව නො ආවෝ’ය කී කල්හි ‘එ සේ වී නම් තව එකකු වහා නික්මවා පියව’යි කීහ. එයි ත් ‘යහපතැ’යි ගිවිස තුන් වන වර මිනිසකු යවී ය. සිටු දියණියෝ තුන් වන වාරයෙහි ආවා වූ මිනිසා දැක ‘සිටාණන්ගේ අඵාසු කවර තරම් දැ’යි විචාරා ‘ඉතා ම ලෙඩ බලවත් වී ය. එක් කබලක් තබා එක් කබලක් පහ කෙරෙති’යි කී කල්හි මේ යන්ට සුදුසු කලැ යි සිතා දවස් ඝෝෂක කුමාරයන්ට කියන්නාහු ස්වාමීනි, මුඹ වහන්සේගේ පියාණන් වහන්සේ ලෙඩ ය යි ඇසීමි’යි කීහ.
‘ඊට කුමක් කරමෝ දැ’යි කී කල්හි ‘අය ගම් සියයෙන් නිමන පඬුරු ඇර ගෙන දකින්ට යම්හ’යි කීහ. එ කල ඝෝෂක කුමාරයෝ ‘යහපතැ’ යි ගිවිස ගම් වලින් පඬුරු ගෙන්වා ගැල් වලින් ගෙන්වා ගෙන නික්මුණාහ. ඉක්බිති සිටු දියණියෝ ‘ ස්වාමීනි, මුඹ වහන්සේගේ පියාණන් වහන්සේ ඉතා දුර්‍වල සේක. මෙ තෙක් පඬුරු ගෙන්වා ගෙන යන කල කල් යෙයි. මේ හැම තබා පුව මැනැව’යි කියා ඒ සියල්ල තමන්ගේ කුලගෙහි තබ්බවා සිටු කුමාරයන්ට කියන්නාහු ‘ස්වාමීනි, මුඹ වහන්සේ ගෙට ගොස් වන්කල සිටාණන් වැඳ ලා පා මුල සිටිය මැනව. මම ඉස් දොර සිටිමි’ කියා උගන්වා ගෙට ගොස් වදනාහුම ගෙය සිසාරා තමන් ගෙන් රකවල් ලවා ඇතුළට වැද සිටාණන් වැඳ තුමූ ඉස් දොර සිටියාහ. ඝෝෂක කුමාරයෝ පා මුල සිටියාහ. ඒ වේලාවට සිටාණෝ උඩුකුරුව හොත්තාහු ය. සිටාණන්ගේ පය මැඬ මැඬ උන් නියුක්ත පුරුෂයා සිටාණන්ට කියනුයේ ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ පුතණුවෝ ඝෝෂක කුමාරයෝ අවු ය’යි කීහ. ‘දැන් කුමාරයෝ කොයිදැ’යි කී කල්හි ‘තෙල පාමුල සිටිති’යි කීය.
ඉක් බිති සිටාණෝ කුමාරයන් දැක තමන්ගේ අය කැමියන් කැඳවා ‘මේ ගෙයි කෙ තෙක් වස්තු දැ’යි විචාරා ‘ධන රාශිය ම සතළිස් කෙළෙක. සෙසු උපභොග-පරිභෝග වස්තු හා ගම් බිම් ක්‍ෂෙත්‍ර-වස්තු හා වහල්-සරක්-ඇත්-අස්-ඉදෝලි-කූනම් ආදිය ද මෙ තෙක් මෙතෙකැ යි වෙන වෙන කී කල්හි ‘මම මෙ තෙක් වස්තු ඝෝෂක කුමාරයන්ට නොදෙමි’ කියන්ට කියනුයේ කුමාරයන්ගේ පින් බලයෙන් ‘දෙමි’ කියා පීහ. ඉස් දොර සිටි සිටු දියණියෝ එ පවත් අසා පෙරළා අනිකක් කීවොත් නපුරැ යි සිතා උන්ට සිනෙහැති ව ශෝකයෙන් හඬන්නා සේ හිසකේ විදා පිට මැද හෙලා ගෙන හඬමින් ‘ස්වාමීනි, මේ කුමක් කියන නියා ද? මුඹ වහන්සේගේ මෙ බඳු තෙපුල් අප කන හුණුයේ ඉතා ම අප කාලකණ්ණි නියා දැ’ යි කියමින් අඬා ගෙන හී සිටාණන්ගේ ළය හිසින් ඇණ නැවත අනික් බසක් කිය නොහෙන සේ ළ මැද්දේ හිසින් පහරමින් මහත් කොට හඬන්ට පටන් ගත්හ. සිටාණෝ එ කෙණෙහි ම කාල ක්‍රියා කළහ.
උදේනි රජ්ජුරුවෝ සිටාණන් මළ නියාව අසා ආදාහන කරවා ‘උන්ගේ දරුවෝ ඇද්ද නැද්දැ’යි විචාරා ‘ඝෝෂක නම් පුතණු කෙනෙක් ඇත. තමන් ජීවමාන කල්හි ම ඇති සියලු වස්තුව ඔවුන්ට පාවා දී මළෝ ය’යි කී කල්හි ‘එවුන්ට එන්ට කියව’ යි කියා ඝෝෂක කුමාරයන් කැඳවා යවූහ. එ දවස් වැසි වැස රාජාඞ්ගණයෙහි දිය හෙළී ය. ඝෝෂක කුමාරයෝ රජ්ජුරුවන් කැඳවා එවූ හෙයින් දකින්නට යන්නාහු රාජාඞ්ගණයෙහි දියට නො බැස දිය පැන පියා ගියහ. ගොසින් රජ්ජුරුවන් දැක වැඳ එකත් පස් ව සිට ‘ඝෝෂකයෝ නම් තෙපි දැ’යි විචාළ කල්හි ‘ඵ සේ ය ස්වාමීනි’ කීහ. එ වේලෙහි රජ්ජුරුවෝ ‘හෙම්බා, සිටාණෝ මළෝ වේ දැ’යි තොපි ශෝක නො කරව. තොපගේ පියාණන් සන්තක සියලු සැපත හා සිටු තනතුරු තොපට දෙමි’ කියා කුමාරයන් අස්වසා ‘දරුව, දැන් තොපගේ ගෙට ම යව’යි සමු දුන්හ. සිටු කුමාරයෝ රජහු වැඳ සමු ගෙන ගෙට යන්නාහු පළමු පැන පියා ආ දිය කඩ පසු ව බැස ලා නික්මුණාහ.
සඳළු තෙලෙහි සිටි රජ්ජුරුවෝ සිටු කුමාරයන් පළමු දිය පැන ගෙන ආ නියාව ද දෙවෙනි ව එම දියට බැස ලා ගිය නියාව ද යන දෙක ම දැක එ තැන්හි ම සිට කුමාරයන් ගෙන්වා ‘හෙම්බා දරුව, තොප පළමු මා ළඟට එන ගමනේ දිය පැන ගෙන ආයේත් හැයි ද? පසු ව යන ගමනේ එ ම දියට බැස ලා ගියේත් කුමක් පිණිස දැ’යි විචාරා ‘ස්වාමීනි, මම ආදියෙන් පැන ගෙන එන්නෙම් කුඩා කොල්ලන් කෙරෙහි ඇතුළත් ව උපයුක්ත කමක් නැති ව ඇවිදිනා හෙයින් දිය පැන ගෙන ආමි. දැන් නුඹ වහන්සේ සිටු තනතුරු දෙමී වදාළ හෙයින් “උපයුක්ත වුව මනා වේ දැ යි සිතා දියට බැසලා ගියෙමි” කී කල්හි රජ්ජුරුවෝ ඉතා ධෛර්‍ය්‍ය සම්පන්න වූ කට යුතු දන්නා වූ දරු කෙනෙක. දැන්ම මුන්ට සිටු තනතුරු දෙමි’ පළමු සිටාණන් සන්තක ගම් බිම් ආදිය හා නැවත තමන්ගේ එකි එකී වස්තුවෙන් සියක් සියක් බැගින් දී සිටු පට බඳවා රථ වාහනයකින් නුවර පැදකුණු කරවා ගෙට යවූහ. එ කල ඒ ඝෝෂක සිටාණන් බැලු බැලූ යම් දිශාවෙක් ම බමන්ට වන. සිටු දියණියෝ මඟුල් වාහල කාළි නම් කෙල්ල හා සමඟ කථා කරමින් උන්නාහු ‘මෑනියෙනි, කාළි ය, තොප පුතණුවන් තෙක් සම්පත් ලද්දේ මා නිසා ය’යි කිවු ය.
එ තෙපුල් අසා කාළි දාසි ඊට කාරණ කිම් දැ යි විචාරා මේ සිටාණෝ තමන් මරණට පතක් කුරුඟුලා පටෙහි බැඳ ගෙන අප දෙ මවුපියන් ගෙට අවු ය. එ කල මම ඒ පත ඉරා දමා මා මේ සිටාණන්ට විවාහ මඟුල් කොට පාවා දෙන සේ අනික් පතක් ලියා එ ම කුරුඟුලා පටෙහි බැඳ එ පරිද්දෙන් ම මොවුන් කරා සරණ අවුත් එ තැන් පටන් මෙ තැන් දක්වා මෙ සේ ආරක්‍ෂාවෙන් රැක්කෙමි’ කී කල්හි ‘මෑණියෙනි, තොප දන්නේ මෙ පමණක් ම වේ ද? ඒ තබා මේ සිටාණන් බාල කාලයෙහි පටන් මොවුන්ගේ පිය සිටාණෝ නො එක් වාරයෙහි මරණට උත්සාහ කොට ත් මරා ගත නුහුණුවෝ ය. හුදෙක් මුන් නිසා බොහෝ වස්තු වියදම් වූ පමණක් ම ය’යි කිව. එ තෙපුල් අසා සිටු දියණියෝ ‘ මෑණියෙනි, ඒ සිටාණන් කළ කට යුත්ත ඉතා නො කොට හැකි බැරි දෙයෙක් ම ය’යි කිය කියා උන්නාහු නුවර පැදකුණු කොට අවුත් ගෙට වදනා ඝෝෂක සිටාණන් දැක ‘මෙ තෙක් සම්පත් මුන් මා නිසා ය ලද්දේ ය’යි සිතා සී පීහ.
ඒ දැක සිටාණෝ ‘තොප සිනාසුණු කාරණ කියව’යි කියා නො කියන හෙයින් ‘ඉදින් තී සිනාසුණු කාරණ නොකීයෙහි නම් දැන්ම තී දෙ කඩ කොට පොලු ගසමි’ කඩුව ඔසවා ගත්හ. එ විට සිටු දියණියෝ ‘මෙ තෙක් සම්පත් මේ සිටාණෝ මා නිසා ලදහ යි සිතා සී පීමි’ කීහ. එකල්හි සිටාණෝ පළමු තමන් මරන්ට තමන්ගේ පියාණන් තමන්ට කළ කී උපක්‍රම කිසිවකුත් නොදන්නා හෙයින් එ බසට කියන්නාහු ‘ම පියාණන් වහන්සේ තමන් වහන්සේ සන්තක වස්තුව මට දුන් සේක, තෙපි මට කුමක් දුනු දැ’යි කීහ. ඉක් බිති සිටු දියණියෝ කියන්නාහු ‘මුඹගේ පිය සිටාණන් වහන්සේ මුඹ මරණ පිණිස පතක් ලියා දී යවු සේක.’ යනාදීන් තමන් කළ උපකාර සියල්ල ම නො වළහා කීහ. එතෙකුදු වුවත් සිටාණෝ එ බස් නො ගිවිස්සාහු ම ය.
ඒ බව දැන සිටු දියණියෝ කියන්නාහු ‘ඉදින් මා කියන බස් නො ගිවිස්නා පසු කාළි නම් වූ නුඹගේ කිරි මෑණියන් අතින් විචාරා සැක ඇර ගන’යි කීහ. ඒ බස් අසා සිටාණෝ කාළි නම් දාසිය කැඳවා ‘සැබෑ ද, මෑණියෙනි, ම පියාණන් වහන්සේ මා මරන්ට පතක් ලියා දීයවූ සේක් දැ’යි විචාරා ‘එසේය, පුතණ්ඩ, තොප බාල කාලයෙහි පටන් තොප පියාණෝ තොප මරන්ට සිතා තොප නිසා ම බොහෝ වස්තු වියදම් කොට පීහ. සත්වාරයෙක තෙපි මරණින් මිදුණව. දැන් අවුත් එකි එකී වස්තුවෙන් සියක් සියක් බැගින් ලැබ සිටු තනතුරු ලදුව. ඒ සිටු දුවණියන් කීයේ නැත්තෙක් නො වෙයි සබා ම ය’යි කී කල්හි එ තෙපුල් අසා සිටාණෝ, කුසල කර්‍ම ය නම් ඉතා ආශ්චර්‍ය්‍ය දෙයෙක් ය. මෙ බඳු මරණින් මෙ සේ මා ගැළවුණේ පෙර ජාතියෙක මා කළ කුශලයකින් ම ය. එ සේ වූ මා කුසල් කිරීමෙහි ප්‍රමාද ව විසීම යුක්ත නො වෙයි. අප්‍රමාද ව කුසල් කළ මැනවැ’ යි සිතා දවස දහසක් වියදම් කොට දවස් පතා අන්ධ-බධිරාදී වූ සොළොස් යාචකයන්ට දන් වැට තබ්බවා දුන්හ. ඔවුන්ගේ මිත්ත නම් කෙළෙඹි පුත්‍රයෙක් දන් විධාන කෙළේයි.
මේ ඝෝෂක සිටාණන් ගේ උත්පත්ති කථාව ය.
_________