217. පධාන කම්මික තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව

star_outline

තව ද සාන වපුරන අවධියේ තබා පියා දා මඬනා අවධියේ වපුරන්නා සේ වීර්‍ය්‍ය කළ මනා අවධි ය තබා පියා පසු ව කරන වීර්‍ය්‍යයෙහි නපුර හඟවන්ට පධාන කම්මික තිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙසේද යත් -

සැවැත් නුවර පන්සියයක් කුලදරුවෝ බුදුන් ළඟ මහණ ව කමටහන් ඉගෙන භාවනාවට වලට ගිය සේක. ඊ ම ඇතුළත් එක් කෙනකුන් වහන්සේ රඳා ගිය සේක. සෙසු වහන්දෑ වල්හි මහණ ධම් කරන සේක් රහත් ව ලද්දා වූ ගුණ විශේෂ බුදුන්ට දන්වනු නිසා සැවැත් නුවරට යන ගමනේ සැවැත් නුවරට සතර ගවුවක් වීචරේ එක් ගමක සිඟන්නා දැක එක් උපාසක කෙනෙක් කැඳ බත් දී ලා අනුමෙවෙනි ත් අසා දෙවන දවසට ත් ආරාධනා කළහ. වහන්දෑ ද ආරාධනා ඉවසා ලා එ දවස් සැවැත්නුවරට ගොසින් පා සිවුරු තැන්පත් කොට තබා ලා සවස් වේලේ බුදුන් කරා ගොසින් වැඳගෙන එකත් පස් ව හුන් සේක. බුදුහු ත් ඒ වහන්දෑට මූණු දී සතුටුව සාද සාමීචි කළ සේක. භාවනාවට නො ගොසින් රඳා වැඩ හුන් තැනැත්තන් වහන්සේ ‘බුදුහු මේ වහන්දෑ ලා කථාවට මුඛ නො පෝනා සේ ම ය. මාර්‍ග ඵලයක් නොලත් හෙයින් දෝ ළඟ රඳා හුන් මා ලා එක බස විචරිනුත් කථා නො කරන සේක. මම ත් රහත් ව ගෙන මා ලා ත් කථා කරවා ගනිමි’ සිතූ සේක.

අර වහන්දෑ ද ‘ස්වාමීනි, අද එන ගමනේ ම උපාසක කෙනෙක් සෙටයට ආරාධනා කොළෝ ය. සෙට ඔබ යන්ට වුව මැනැවැ’යි බුදුන් ගෙන් එ දවස්ම අවසර ගත් සේක. නො ගොස් රඳා හුන් යාළු මිත්‍ර නම් ද රෑ දෙ වරුවේ ම සක්මන් කරන සේක් නිදාගෙන සක්මන් කෙළවර තුබූ ගල් පුවරුවේ හුණු ගමනේ ම කෙලෙසුන් බිඳිනට කළ යත්නයෙන් විධි වරදවා කළ බෙහෙදින් අනික් විපත්තියක් වදනා සේ පය බිඳිණ. පය බිඳී යන්නා ම වෙදනාව ඉවසා ගත නො හී මහ හඬින් හඬා පී සේක.

යහළු මිත්‍ර ව හුන් අමුතු ව ආ වහන්දෑ ද කටහඬ දැන ලා ඈතින් මෑතින් අවුත් පාන් දල්වාගෙන උන් වහන්සේට කළමනා දෑ කට දී ම පාන් වි ය. ආරාධනා කළ ගමට යන්ට අවසර නො වී ය. බුදුහු ත් වහන්දෑ දැක ඊයේ දවස්‍ ම අවසර ගත් හෙයින් ‘ආරාධනා කළ තැනට නො ගියා දැ’යි විචාළ සේක. වහන්දෑ ත් ‘එ සේය, ස්වාමීනි’ යි කියා ලා යා නුහුනු කාරණ ය කී සේක. බුදුහුත් මහණෙනි, තුලුන් තොපට ලාභාන්තරාය කෙළේ දැන් මතු නො වන්නේ වේ ද? යට ගිය දවස ත් කොළෝ ය’යි වදාරන බුදුහු-

‘යො පුබ්බෙ කරණීයානි පච්ඡා සො කාතුමිච්ඡති,

වරණට්ඨක භඤ්ජොව - ස පච්ඡා මනුතප්පති.’

යනාදීන් ජාතක ය වදාරා ‘එ කල අන්තේවාසික පන්සිය ය නම් තොපි පන්සිය ය. දර කඩා යන්ට මැළි ව වරණ දර බිඳ කුසී ව හුන් අත වැස්සා නම් මේ මහණ ය. ඇදුරාණෝ නම් මම ය’යි කෙළවර වැදෑරීමෙන් ආදී ත් කුසී නියාව හඟවා ලා එ තැනට පැමිණි කෙනකුන්ට ප්‍රයෝජන සඳහා බණ වදාරන සේක් - අශක්ති ලෙසට වෘද්ධ කමු ත් නැති ව බල ඇති ව මැළි කම් නිසා වීර්‍ය්‍ය කළ මනා අවධියෙහි යම් කෙනෙක් වීර්‍ය්‍ය නො කෙරෙත් ද, හුන් තැන හිඳීම් හා සිටි තැන සිටීම් පමණක් හා වළඳා ලා රෑ ත් දාවලු ත් නිඳීමට මුත් ග්‍රන්ථ ධුර – විදර්ශනා ධුරයකට ම මැළියෝ ද එසේ වූවාහු විපස්සනාභියෝගයෙන් ලැබ්බ යුතු මාර්ගඵල දිඹුලෙන් ලබන මල් නැත්තා සේ නො ලැබෙතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් කරන වීර්‍ය්‍යයක් අශක්ති අවධියට නොතබා බල ඇති අවස්ථාවේ ම කොට වීර්‍ය්‍ය ඵල වූ ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කට යුතු.

________