තව ද සෙසු භාවනා තබා තිලකුණු පමණෙකත් ඇලුම් නැත්තවුන්ට එහි ඇලුම් කරවන නිසා වස්තු තුනක් දක්වමු.
කෙ සේ ද යත් -
ඒ වහන්දෑ යෙළ දාසම බුදුන් ගෙන් කමටහන් ඉගෙන වලට පලා ගොසින් රහත් ව ගත නොහී ‘කමටහන් විභූත කොට විචාරම්හ’ යි බුදුන් ළඟට යෙළ දාස ම ආ සේක. බුදුහු ත් මුන්ට අනුකූල භාවනා කවරේ දෝ හෝ යි විමසන සේක් ‘මොහු පන් පන් සිය ය බැවින් තුන් මුළ ම කසුප් බුදුන් සමයෙහි විසි දහසක් හවුරුදු මුළුල්ලෙහි එක් මුළෙක් අනිත්‍ය ලක්‍ෂණයෙහි හා එක් මුළෙක් දුඃඛ ලක්‍ෂණයෙහි හා එමුළෙක් අනාත්ම ලක්‍ෂණයෙහි යෙදුන වුය. ති ලකුණු භාවනා ත් තුන් මුළින් කැටි ව සමෘද්ධ විය. එ හෙයින් ති ලකුණු විසින් මුන් තුන් මුළට බණ කියමි සිතා වදාරා පළමු පන් සියයට ‘හෙම්බා මහණෙනි, ඒ ඒ භවයෙහි උපන් රුවාරූ දම්හු ඒ ඒ භවයෙන් අනික් භවයට නො හෙයින් ඊ ඊම නසිති. එ හෙයින් අනිත්‍යයහ යි යම් කෙනෙක් අනිත්‍ය ලක්‍ෂණය දනිත් නම් ඌ උදාවියෙන් පෙළීමෙන් වන දුඃඛ ලක්‍ෂණ ය ත් තමා විසිය නො පැවැත්මෙන් වන අනාත්ම ලක්‍ෂණය ත් දැක දුක්හි කළකිරෙති. කළකිරී ඒ දුකින් මිදෙන්ට උත්සාහ කෙරෙති. එයිත් නිවනට එක් මඟෙකැ’යි පළමු පන් සියයට වදාළ සේක.
දෙවන මුළට සියලු ප්‍රත්‍යය සමුත්පන්න ධර්‍මයෝ උදාවියෙන් පෙළෙන හෙයින් දුක්හ යි දුඃඛ ලක්‍ෂණය යෝගාවචර මහණහු විවසුන් නුවණින් දුටවු නම් දුඃඛ ලක්‍ෂණ ය දුටු කලම අනික් ලක්‍ෂණ දෙක ත් පෙනෙයි. දුක්හි කලකිරී දුකින් මිදීමට යත්න කෙරෙයි. තෙලේත් නිවනට එක් මගෙකැ’යි වදාළ සේක.
තුන් වන මුළට සියලු ම ප්‍රත්‍යය සමුත්පන්න ධර්‍මයන් තමා විසින් නො පවත්නා බැවින් අනාත්ම ය යි විදර්ශක භික්ෂූහු යම් කලෙක විවසුන් නුවණින් දකී ද, ඕ හට අනික් ලක්‍ෂණ දෙක ත් පෙනෙයි. ඒ දුක්හි කළකිරී ඉන් මිදෙන්ට යත්න කෙරෙතී වදාරා අනිත්‍ය ලක්‍ෂණයෙහි අභ්‍යාස ඇති පන්සියයට අනිත්‍ය විමොක්‍ෂය හා දුඃඛ ලක්ෂණයෙහි අභ්‍යාස ඇති පන්සියයට අප්පනිහිත විමොක්‍ෂය හා අනාත්ම ලක්‍ෂණයෙහි අභ්‍යාස ඇති පන්සියයට සුඤ්ඤත විමොක්‍ෂය වදාළ සේක. දේශනා කෙළවර වහන්දෑ යෙළ දාස ම මල කා තුබූ කැටපත් මැද පූ කලට බබළන්නා සේ දේශනා නැමැති උළුසුන් නන් සන්තාන නමැති කැට පත්වල කෙලෙස් කසළ ඉලී ගොසින් රහත් ව බබළා ගිය සේක.
එ හෙයින් සත් පුරුෂයන් විසින් බැරි ව තිබෙන භාවනා කුම් වුව ත් අනිස-දුක-අනත යන ති ලකුණු භාවනා පමණක් බැරි නො වන හෙයින් එ පමණකත් හැසිර භවක්‍ෂයට ම උත්සාහ කටයුතු.