තව ද කරන යම් කථාවක් සග මොක් ම අරභයා මුත් අපාය මාර්‍ග ය අරභයා කිරීමෙන් කුශල සිද්ධි ය නැති නියාව හඟවන්ට පන් සියක් දෙනා වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
ඒ වහන්දෑ ද බුදුන් දනවු සැරිසරා පියා පෙරළා සැවැත් නුවරට වැඩි කල්හි සන්නිපාත ශාලාවේ රැස් ව හිඳ ‘අප හැම ගිය තැන අසවල් ගමට යන්නා වූ මග තැනි ය. අසවල් ගමට යන මඟ වළ ගොඩ ඇත. බොරළු බොහෝ ව තිබෙයි” යනාදීන් සත් පථ කථා හැර අසත් පථ කථාවට පටන් ගත් සේක. බුදුහු ඒ වහන්දෑ රහත් වන්ට නිසි පින් ඇති හෙයින් උත්පථ ගමන හරවා ලා සත් පථ ගමනෙහි යොදනු නිසා එ තැනට වැඩ බුදු හස්නෙහි වැඩ හිඳ කරමින් හුන් කථාව විචාරා වදාරා කළ කථාව කී කල්හි -
‘මහණෙනි, තෙලෙ මඟෙක් නොවෙයි. නිවන් මඟෙක් වේ නම් අෂ්ටාංගික මාර්‍ගය’යි වදාරා ලා බණ වදාරන සේක්- ‘මහණෙනි, සමහර මං මහවත් ආදිය සග මොක් දෙකට ම මං වන හෙයින් සග මොක් දෙකට මං වන්නේ කුශලය යි. කුසල් මගිනු ත් සම්‍යක් දෘෂ්ටි ආදි වූ මාර්‍ගයෙන් මිථ්‍යා දෘෂ්ටි ආදි වූ අට නසා නගා ලූ පහන එක වටම අඳුරු ත් දුරු කොට ආලෝක ත් පවත්වා පාන් වැටියත් දවා තෙලුත් ගෙවන්නා සේ දුකුත් පිරිසිඳ දැන මාර්ගානුරූප ලෙසින් තෘෂ්ණාව ත් හරිමින් නිරෝධය ත් සාක්‍ෂාත් කොට මාර්‍ගය භවන හෙයින් අෂ්ටාංගික මාර්‍ග ය ම උතුම. නැවත වාක් සත්‍ය, සංවෘති සත්‍ය, දෘෂ්ටි සත්‍යාදීන් අතුරෙහි දුඃඛාර්‍ය්‍ය සත්‍යාදි වූ චතුරාර්‍ය්‍ය සත්‍යය ම උතුම. තව ද ප්‍රත්‍යය සමුත්පන්න වූ ධර්‍මයන් අතුරෙහි නිවනට වඩනා ධර්‍මයක් නැති බැවින් නිවන් ම උතුම. දිව්‍ය බ්‍රහ්මාදී වූ දෙපා ඇත්තවුන් මුළුල්ලට බුදු ඇස් ආදිවූ ඇස් පසක් ඇති සර්වඥවරයෝ ම අනික් ඇස් පසක් ඇති කෙනකුන් එ වකට නැති හෙයින් උතුම්හ. තොප හැම කියා ඇවිදිනා වූ මං නිවනට මං නො වන හෙයින් නිවනට මං නම් අෂ්ටාංගික මාර්‍ග ය ම ය. අනික් මඟක් නැත. එ හෙයින් තෙපි මේ ආර්‍ය්‍ය වූ අෂ්ටාංගික මාර්‍ගය ම උපදවන්ට උත්සාහ කරව. උත්සාහ කොට උපදවා ගතු නම් මාරයා හිස වසා හෙළා ලූ දැල් අවුලක් සේ ඕ හට මහා මුළා ය.
මාගේ අවවාද පිළිගෙන රහත් මඟ උපදවා ගතු නම් සසර දුකු ත් නිමවා ගනුව. රාගාදී කෙලෙසුන් නසන්නා වූ මේ රහත් මඟ අනුන්ගෙන් අසා දැන්මක් නැති ව මා විසින් ම ප්‍රත්‍යක්‍ෂ කොට දැන සත්‍වෝපකාර ය නිසා දෙසන ලද. තොප හැම දෙනා විසින් මාර්‍ග ඵල උපදවනු නිසා නු උපන් අකුසල් ධම් නු උපදනා පිණිසත්, උපන් අකුසල් ධම් නසන පිණිසත්, නු උපන් කුසල් ධම් උපදනා පිණිස ත්, උපන් කුසල් ධම් වැඩියුරු වීම පිණිසත්, සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙහි හැසිරිය යුතු ය. කියා ලූ ලෙස කරන්නෝ ඇත් නම් සර්වඥවරයෝ කියන්නෝ ය. කියාලූ ලෙස පිළිපන් කෙනෙක් පඤ්ච විධ මාර නමැති වැද්දන් අනාචාර්‍ය්‍ය ජන නමැති සතුන් බඳන්ට සසර නමැති වල් හසර එළවූ තෘෂ්ණා නමැති මළට හසු නො වෙති’යි වදාළ සේක. දේශනා කෙළවර නිකම් මංවල සම විසම කියා හුන් පන්සියයක් දෙනා වහන්සේ කෙලෙස් කැල කපා හැර රහත් මං එළි කළ සේක. හෙවත් රහත් වූ සේක.
එ හෙයින් නුවණැත්තවුන් විසින් අකුසල් වල් නො වැද කුසල් මහ වතට බැස. ඒ කුසල් මගින් නිවන් පුරයට යා යුතු.