තව ද ශීලසමෘද්ධ්‍යාදි ගුණයෙහි පිහිටි පමණෙකින් භව ක්‍ෂය වූවා කොට සිතා ගෙන පමා වන තැන් ඇත් නම් එ තැන් නො පමා වනු ව නිසා බොහෝ වහන්දෑ ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත්-
ඒ බොහෝ වහන්දෑ ගෙන් සමහර තැනෙක් ‘අපි පිළිවෙත් පිරීමෙන් සිවු පිරිසිදු සිල්හි පිහිටියම්හ. එ හෙයින් අපට රහත් වීම බැරි නො වෙයි. කැමැති විටක ම රහත් වම්හ’යි සිතූ සේක. සමහර තැනෙක් විනය පිළිවෙත් පිටට සූත්‍ර ප්‍රතිපත්ති පිරීමෙන් අපි ත්‍රයොදශ ධුතාංග පූරකයම්හ. කෙලෙසුන් තවා ලීමෙහි දූ දුවඟ වැනි දෙයෙක් නැත. එ හෙයින් අපට ත් රහත් වීමෙහි අරුම නැතැ’ යි සිතු සේක. සමහර තැනෙක් ‘අපි බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තම්භ. පර්‍ය්‍යාප්ති නම් ප්‍රතිපත්ති ප්‍රතිවෙධ දෙකට මුල් හෙයින් අපට රහත් වීම් නිරායාස ය’යි සිතු සේක.
සමහර තැනෙක් ‘අපි විවෙක වාසයෙහි ඇලී වසම්හ’ යි විවෙක වාස ඇති තැනට ධ්‍යාන භාවනායෙහි ආයාස නැති බැවින් රහත් වන්ට පිළිවනැ”යි සිතූ සේක. සමහර තැනෙක් ‘අපි පඤ්චාභිඥා අෂ්ට සමාපත්ති ලාභීම්හ. විෂ්කම්භන වශයෙන් කෙලෙසුන් කෙරෙන් දුරු ව සිටි තැනට ධ්‍යාන පාදක කොට විවසුන් වඩා මාර්ග පටිපාටියෙන් රහත් වීම් බැරි නො වෙයි’ සිතූ සේක. ඉන් ම අනගැමි තැන් ආසන්න ව සිටි බැවින් ‘නැඟෙන්ට ආසන්න ව සිටි හිර වහා නැගෙන්නා සේ කරල් කටට නඟා පී කල වහා පූදිනා සේ අපි ත් වහා ම රහත් වම්හ’යි සිතූ සේක.
ඒ ඒ ලෙස සිතූ හැම තැන් ම එක් දවසක් බුදුන් කරා ගොසින් වැඳ ලා එකත් පස් ව හුන් සේක් ‘කුමක්ද, මහණෙනි; මහණ වූවන් විසින් කළ මනා දෙය කොට නිමවා ගතු දැ’ යි විචාළ කල්හි ‘ස්වාමීනි, අපි මේ මේ තරම් ඇත්තම්හ. මෙ බඳු වූ තරම් ඇති තැනට රහත් වීම බැරි නොවන්නේ වේ දැ යි සිතා ඉඳුම් හ’ යී කී සේක. බුදුහු ඒ වහන්දෑගේ බස් අසා ‘මහණෙනි, භික්ෂූන් විසින් නම් විනය පිළිවෙත් පමණෙකින් හා දුවඟ පිළිවෙත් පමණෙකින් හා තෙවළා බුදුවදන් හදාළ පමණෙකින් හා ධ්‍යානලාභී වීම පමණෙකින් හා අනගැමි වීම පමණෙකින් හා මහණෙනි, ස්වල්ප වූත් අමෙධ්‍යය දුගඳව තිබේ ද, එමෙන් ස්වල්ප මාත්‍ර වූත් භවය දුක් ම හෙයින් භවක්‍ෂයට නො පැමිණ පමා නො වව’යි වදාළ සේක. දේශනා කෙළවර එ ලෙස සිතා හුන් ඒ වහන්දෑ හැම ම රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙනාට නිවන් සාදා දෙනු නිසා දෙසනු[1] වි ය.
එ හෙයින් නුවණැත්තවුන් විසින් ‘වරෙක දෙ වරෙක පින් කළම්හ. ලොවී ලොවුතුරා සැප ත් සාදා දී ලයි. ඉතිකින් පිනක් කළ මැනැවැ’යි නැත’ යනාදීන් නො සිතා නිවන් සිද්ධ වන තෙක් නො පමා වන්ට උත්සාහ කටයුතු.
-
නිවන් සාදා දෙනු නිසා දේශනා වි ය ↑