213. බිලි වැද්දකු ගේ වස්තුව

star_outline

තව ද උතුම් ව තිබේ නම් ගුණයක් ඇත්තවුන්ට මුත් ජාති සම්පන්න කෙනෙකුන්ට මුත් ප්‍රව්‍රජ්‍යාව තරම් නො වන්නා සේ සෙසු නිකෘෂ්ට තරමුන්ට නො තරම් නියා ව හඟවන්ට බිලී වැද්දකු ගේ වත දක්වමු.

කෙ සේ ද යත්-

එක් දවසක් බුදුහු ඒ බිලී වැද්දණුවන් සෝවාන් වන්ට නිසි පින් අඹා ගෙන් බිලී කටුව වැසුණා සේ වැසී තුබුවා දැක සැවැත් නුවර උතුරු වාසල් දොරගම සිඟා ලා සඟරැස පිරිවරා ඌ බානා තැන බලා වඩනා සේක. ඒ වේලාට බිලී වැදි ද බිලී බා මින් සිටි තැනැත්තේ බුදු පාමොක් සඞ්ඝයා වහන්සේ දැක බිලී ය දමා පියා සිටියේ ය. බුදුහු ත් ඕ හට නුදුරු තැනක සිට ‘තොපි කිනමු දෑ’ යි ‘තොපි කිනමු දැ’යි අගසවු දෙදෙනා වහන්සේ පටන් වෙන වෙන ම නම් විචාළ සේක. ඔබ හැම ත් වෙන වෙන ම ‘අපි සැරියුත් නමුම්හ. ‘අපි මුගලන් නමුම්හ’ යනාදීන් තමන් තමන් වහන්සේගේ නම් කී සේක. බිලී වැද්දණුවෝ ත් ‘බුදුහු වහන්දෑගේ නම් විචාළ සේක. මගේ නම ත් විචාරන සේක් වනැ’ යි සිතූදෑ ය.

බුදුහු ත් ඒ දැන ලා ‘උපාසකයෙනි, තොපි කිනම්මුදැ’යි විචාරා, මම ආර්‍ය්‍ය නම්මී’ කී ‘කල්හි හෙම්බල උපාසක ය, තා සේ පවු කරන්නෝ ආර්‍ය්‍ය නම් නො වෙති. ආර්‍ය්‍යයෝ නම් හිංසා පීඩා නො කෙරෙති’ වදාරා උන්ට බණ වදාරණ සේක් ‘හෙම්බල, උපාසක ය, බබුරන් පොවා අවුත් මේ ශාසනයෙහි මහණ ව රහත් වූ කල ශක්‍රාදී දෙවියන් උන් වැඳ පුදන්නේ ආර්‍ය්‍ය ජාතියෙහි පටන් උතුම් වූ හෙයින. දැන් තොප ශක්‍රාදී දෙවියන් තබා තොපට අඩු තරම් කෙනකුන් මුත් තොප වඳිනෝ කවුරු ද? තොපි ත් රහත් වූ නම් දිව්‍ය-බ්‍රහ්මාදී වූ කවුරුත් තොප වඳිති. ආර්‍ය්‍ය ජාතියෙහි පිහිටි හෙයින් ආර්‍ය්‍ය වන මුත් නම් පමණෙකින් තොප ආර්‍ය්‍ය වන්නේ නැත. යම් කෙනෙක් දයා ව ඇත්තෝ වී නම් සෙසු ගුණධර්‍ම ත් උන් කෙරෙහි පිහිටන හෙයින් උත්තම ගුණ යෝගයෙන් ඔහු ආර්‍ය්‍ය නම් වෙතී’ වදාළ සේක. දේශනා කෙළවර බිලී වැද්දණුවෝ ද බිලිය දැමුවා සේ ම සමහර කෙලෙස් කෙනකුන් දමා සෝවාන් වූහ. සෙසු ත් බොහෝ දෙනාට මේ දේශනාව සප්‍රයෝජන විය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් උත්තම ගුණ යෝගයෙන් උතුම් බව නිසා තුන් දුසිරින් දුරු ව තුන් සුසිරි පුරා මතු මතුයෙහි ලැබිය යුතු ලොවී ලොවුතුරා ගුණ විශේෂයෙහි පිහිටිය යුතු.