212. තිථයන්ගේ වස්තුව

star_outline

තව ද නිර්‍වඤ්චා ලෙස පිළිපැදීම් මුත් ශඨ ප්‍රවෘත්තියෙහි නපුර හඟවන්ට තිථයන් ගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

ඒ තිථයෝ බත් දුන්නවුන්ට ‘නිදුක් බව, නිරොගි වව, ආයු බොහෝ වව, අසවල් තැන මඩ බොර බොහෝ ව, ඔබත් නොයව, අසවල් තැන කටු පාණ බොහෝ ව, ඔබත් නොයව’ යනාදීන් කුසල් මං නොදැන දන්නා ඒ ම හෙයින් ඒ මඟුල් කොට කියා ලති.

බුදු වූ තැන් පටන් නැතක් දවස් වහන්දෑට අනුමෙවෙනි බණ අනු නොදත් හෙයින් වළඳා ලා අනුමෙවෙනි බණ නො කියාම වහන්දෑ නැඟී යන සේක. මිනිස්සු ත් ‘අපි තිථයන් ගෙන් මඟුල් අසම්හ. ස්වාමි දරුවෝ වළඳා ලා වැඩ පියන සේකැ’යි මුසුප්පු වෙති. වහන්දෑ එ පවත් බුදුන්ට දැන්වූ සේක. බුදුහු ත් ‘මහණෙනි, මෙ වක් පටන් අසුන් හල් ආදියෙහි දී අනුමෙවෙනි බණ කියවයි වදාළ සේක. වහන්දෑ ත් විධාන ලත් පසු එ ලෙස ම කළ සේක, මිනිස්සු අනුමෙවෙනිත් උපනිසින්නක කථාදිය ත් අසන්නාහු සැදෑ වඩා ගෙන දන් පින් බොහෝ කොට කෙරෙති.

තිථයෝ ඒ දැක සිත පහදවා ගත නො හී ‘අපි දොඩමලු වීම යහපත් නො වන හෙයින් මුවෙන් බැණ නො නැඟී සසර භයින් දවස් යවම්හ. මහණ ගොයුම්හුගේ සවුවෝ දන් දුන්නවුන්ට සවුල කම් ලෙස දොඩා හඬා ඇවිදතී’ කීහ. බුදුහු ඒ අසා ‘මහණෙනි, හෙම්බා සමහර කෙනෙක් බැණ නැඟෙන සේ නොදැන බැණ නො නැඟෙති. සමහර කෙනෙක් දැන්ම ඇතත් අවිසාරද හෙයින් බැණ නො නැඟෙති, සමහර කෙනෙක් (තමන් දන්නා දෙය අනුන්ට හඟවන්ට මසුරු ව බැණ නො නැඟෙති. මුනිභාව ය සිද්ධ කරන්නා වූ මාර්ග ඥානය ඇත් නම් මුත් තෙල පමණෙකින් මුනි ව්‍යවහාරය නො කරම්හ.

මුනි ව්‍යවහාරයට නිස්සෝ කවුරු ද යත් - යම්සේ තරාදියෙන් කිරන කෙනෙක් බර ව තුබූ භාගයෙන් හැර අඩු ව තුබූ භාගයෙහි අතින් ලා බර සරි කෙරෙත් ද? එ මෙන් සසර දික් කරන හෙයින් අධිකයක් හා සරි වූ පාප ය හරිමින් සසර ලුහුඬු කරන හෙයින් එ ලෙසින් අඩුවක් හා සරි වූ තුන් සුසිරි පුරා නිවන් සාදා ගත් ද, ඌ තුමූ මුනි ව්‍යවහාරයට නිස්සහ. තව ද යම් කෙනෙක් ස්කන්ධාදීන්ගේ විභාගත් ඤාත පරිඤ්ඤාදී විසින් දනි ත් නම් ඌ තුමූ මුනි නම් වෙතී” වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් තරාදියෙහි අධිකය හරනා සේ පවු කම් හැර අඩුව ලන්නා සේ පින් කම් සමාදන් ව සුචරිත පුරා අධිගම සිද්ධ කටයුතු.