තව ද සිඟීම් පමණකින් එ බඳු පිළිවෙත් නැත්තවුන්ට භික්‍ෂු වැවහාර ය නො ලැබෙන නියා ව හඟවන්ට එක්තරා බ්‍රාහ්මණයාණ කෙනකුන් ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත්—
ඒ බමුණානෝ තීර්ථායතනයෙහි මහණව සිඟා ජීවත් වන්නෝ මහණ ගොයුම් තමාගේ සවුවන් සිඟා ජීවත් වන හෙයින් භික්ෂු වැවහරය කෙරෙයි. මම ත් සිඟා ජීවත් වෙමි. සිඟමනින් මාගේත් උන් ගේ ත් වෙනස කවරේ ද? මටත් භික්ෂු වැවහාර ය කළ මනා වේ දැ’යි සිතින් සිතා ගෙන බුදුන් කරා ගොසින් ‘පින්වත් වූ ගොයුම, ගෙයක් දොරක් නැති බැවින් මම ත් තොපගේ සවුවන් සේ ම සිඟා ජීවත් වෙමි. මට ත් භික්ෂු ව්‍යවහාර ය කරව’යි කී ය.
බුදුහු ඕ හට වදාරනසේක් ‘හෙම්බල බමුණ, බඩ පදිනා ලෙසට සිඟා කෑම් පමණෙකින් සිංහ සම් පෙරවි කැණ විලුන්ට සිංහ ව්‍යවහාර කට නොහැක්කා සේ භික්ෂු වැවහාර මම නො කෙරෙමි” වදාරා ‘හෙම්බල බමුණ, යම් කෙනෙක් ශීල සංරක්‍ෂණයක් නිසා නොව මෙ ලොව ජීවත්වීම් පමණක් නිසා අදහස් පවිටු වුවත් භික්ෂු වෙස් ගෙන සිඟා කත් නම් එ විතරක් තකා භික්ෂු වැවහාර ය උන්ට නොකෙරෙමි. එ පමණෙකින් භික්ෂූ ත් නො වෙති. භික්ෂු වන්නෝ කවුරු ද යත් - යම් කෙනෙක් රහත් මඟින් පින් පව් දෙක ම දුරු කොට පියා තමන්ට විෂ ය වන ධර්ම ජාතයක් දැන වෙසෙ ත් නම් රහත් මඟින් බුන් කෙලෙසුන් ඇති බැවින් ඌ තුමූ භික්ෂු නම් වෙතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන චතුර් විධ මාර්‍ග ඥාන නමැති වාසල්වලට විදසුන් නමැති මගින් ගොසින් නිවන් පුරයට වැද ගියහ.
එ හෙයින් සත් පුරුෂයන් විසින් රහත් මඟින් කෙලෙසුන් බිඳිනට නිසි පිළිවෙත යෙදී නිර්ව්‍යාජයෙන්[1] භික්ෂු ව්‍යවහාර ය එව ගන්ට උත්සාහ කටයුතු.
-
නිර්වඤ්චායෙන් ↑