210. හත්‍ථකයන් ගේ වස්තුව

star_outline

තව ද යම් කෙනෙක් මහණ වෙස ධරා ත් සැබෑ පමණක ත් නො හෙත් නම් උන්ගේ ඒ ශ්‍රමණ වෙශයෙන් ප්‍රයෝජන නැති නියා ව හඟවන්ට හත්‍ථකයන්දෑ ගේ වස්තුව දක්වමු.

කෙසේද යත්–

උන්දෑ ද වාදීන් හා වාද කරම්හ’යි ගිවිස ලා තෙපි අසවල් තැනට වාදයට එව. එ තැන දී වාද කරම්හ’යි කියා ලා උන් එ තැනට නො යෙන තෙක් පෙරාතු කොට ගොසින් ‘දුටුවා වා ද? තීර්ථකයෝ මා කෙරේ භයින් නො ආවෝ ය. නො ආ ගමනින් පැරැද්දෝ ය’යි කියන දෑ ය. වාද කරත ත් අනිකකින් වළහමින් ඇවිදින දෑ ය.

බුදුහු එපවත් අසා කැඳවා ගෙන්වා ගෙන ‘සැබෑ ද? මෙ බන්දක් කෙරෙයි දැ’යි විචාරා සැබැවැ යි කී කල්හි කුමක් නිසා තෙල ලෙස කෙරෙයි ද, යම් කෙනෙක් පුරන පිළිවෙතකු ත් නැති ව ධුරද්වයිනු ත් පිරිහී සැබෑ පමණකු ත් නැති ව අල්පෙච්ඡතාව දුරින් දුරු හෙයින් ඒ ඒ දෙයෙහි ඉච්ඡාවෙන් අත්‍රිච්ඡතාවට ත් බොහෝ දෙයෙහි ඉච්ඡාව ඇති හෙයින් මහිච්ඡතාවට ත් අසන්ත ගුණ සම්භාවනයෙහි ඉච්ඡාව ඇති බැවින් පාපිච්ඡතාවට ත් පැමිණියෝ ද, ඌ මුඬු වීම් පමණකින් ශ්‍රමණ නම් නො වෙති. හුදෙක් උකුණන් කෑම නැති පමණෙක. යම් කෙනෙක් ස්වල්ප වුවත් පවින් වැලක වෙසෙත් නම් උන් ශ්‍රමණ යයි කියමී’ වදාළ සේක. දේශනා කෙලවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් තනතුරු ලද්දවුන් ඒ ඒ තනතුරට නිසි තරම් ඇති වන්නා සේ මහණ වෙස් ගත්තවුනු ත් විසින් ගත් වෙසට තරම් ලෙස වැස භවක්‍ෂයට උත්සාහ කටයුතු.

_________