209. බොහෝ වහන්දෑ ගේ වස්තුව

star_outline

තව ද ලාභ සත්කාර මූලික පර්‍ය්‍යාප්තීන් ප්‍රයෝජන ය මෙ ලොව කුම් වුවත් පර ලොව නැති නියා ව හඟවන්ට බොහෝ වහන්දෑ ගේ වස්තුව දක්වමු.

කෙසේද යත් -

එක් සමයෙක වහන්දෑ බණ දහම් උගන්වා ලීමෙන් ධර්මාචාරීව සිටි තැනට සිවුරු ගෙත්තම් කිරීම් ආදී වූ මෙහෙ කරන්නා දැක සමහර වහන්දෑ ‘අපි අර්ථ කුම් වුවත් පද ව්‍යඤ්ජන ඉඳුරා උගත් බැවින් පාළි පමණක් ඉඳුරා ම දනුම්හ. එ සේ වූ අපට අත් පා මෙහෙ කිරීම් පමණකිනු ත් ප්‍රයෝජන නැත. අපිත් බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, අර්ථ නොදන්නා පමණ මුත් පාලි දනුම්හ. කවුරුන් කෙරේ උගත් බණත් මුන් කරා අවුත් හදාරව’ යි ග්‍රන්ථ ධුර පූරක වහන්දෑට විධාන කළ යහපතැ’යි දන්වම්හ. එ සේ කලට අපට ත් ලාභ සත්කාර ඇත. එ ලෙසින් අපි ත් ප්‍රසිද්ධ වම්හ’යි යන නපුරු අදහස් ඇති ව බුදුන් කරා ගොසින් එ ලෙස ම කී සේක.

බුදුහු ඒ වහන්දෑගේ අදහසෙහි නපුර දැන වදාරා ‘මහණෙනි, කෙනකුන්ගේ ශබ්ද මාධුර්‍ය්‍යය ඇතත් ශරීර ශෝභා ව ඇතත් අත්පස් පුරා පිටත සිත්තම් කළ, කළ පරිද්දෙන් ඊර්ෂ්‍යාදී නො එක් නුගුණෙන් පිරී සිටිත් නම් උන් යහපතැ’යි මම නො කියමි. යම් කෙනකුන්ට සව් කෙලෙස්හු රහත් මගින් නට වූ නම් උන් ම සියලු ලෙසින් යහපතැ’යි කියමි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සත් පුරුෂයන් විසින් ලාභ සත්කාර නිරපේක්‍ෂව ප්‍රතිපත්ති සාර ව සසර දුක් ගෙවා නිවන් අත් කටයුතු.

_________