තව ද මේ ශාසනයට ගුණෙන් මහත් වීමක් මුත් උසින් මහතින් මහත් වීමෙහි ප්‍රයෝජන නැති නියාව හඟවන්ට ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
එක් දවසක් ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ බුදුන් දැක පියා වඩනා කලට තිස් දෙනකුන් වහන්සේ බුදුන් දක්නට වඩනා සේක් අතුරු මඟ දී ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ දැක කුඩා බුඩා හෙයින් තෙර නමක් නියාව දත නොහී බුදුන් කරා ගොසින් වැඳ එකත් පස්ව හුන් සේක. බුදුහු ත් ඒ වහන්දෑ රහත් වන්ට නිසි පින් ඇති නියාව දැන කථාවක් එළවන සේක් ‘මහණෙනි, මෙ තැන සිට ලා ගිය ස්ථවිර භික්ෂූහු දුටු දැ’යි විචාරා වදාළ සේක. ‘ස්වාමීනි, තෙර නමක් නුදුටුම්හ. හෙරණ කෙනකුන් දුටුම්හ’යි කී කල්හි ‘තොප හැම හෙරණුන් හැඳිණි නියා ව යහපත් නොවෙයි. ඌ හෙරණ කෙනෙක් නො වෙති. තෙර කෙනෙකැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, තෙර තැන් පත් ලෙසට කුඩා ව පෙනෙන්නේ හැයි දැ’යි විචාළහ.
‘මම, මහණෙනි, මාලු බැවින් හා තෙර හස්නෙහි හුන් පමණෙකින් තෙර යයි නොකියමි. මාලුව ඉස කන්සක නර නැඟී ත් යන වයස සිස් ව පලා ගියෙයි කියමි. යම් කෙනෙක් චතුර්විධ මාර්ග විෂයෙහි දුඃඛ සත්‍යය පිරිසිඳ දැන්ම හා සමුදය සත්‍ය ය සමුච්ඡේද වශයෙන් හැරීමෙන් හා නිරෝධ සත්‍ය ය සාක්‍ෂාත් කිරීමෙන් හා මාර්ග සත්‍ය ය හැවීමෙන් චතුරාර්‍ය්‍ය සත්‍ය ය දොළොස් ආකාරයකින් ප්‍රතිවෙධ කොළෝ ද, එහෙයින් නව ලොව්තුරා දහ මුත් උන් කෙරෙහි ඇත් ද, නැවත චතුර්විධ බ්‍රහ්ම විහාර භාවනාවත් ඇත් ද, සිවු පිරිසිදු සිල්හි පිහිටියෝ ද මාර්ග ඥාන නමැති මුඛයෙන් අනන්ත කාලයක් නොදිරා තුබූ රාගාදී කෙලෙස් නමැති අජීර්ණ භෝජන ය වමාරා පූ ද, ස්ථවිර බවට කාරණ වූ මෙ කී ගුණෙන් යුක්ත හෙයින් ස්ථවිර ය යි උන්ට කියමි වදාළ සේක. දේශනා කෙළවර තිසක් පමණ වහන්දෑ රහත් වූ සේක.
එහෙයින් සත් පුරුෂයන් විසින් භෝග මහත්ත්‍වාදී තත්‍වය නො පතා ශීල සමෘද්ධ්‍යාදි ගුණ මහත්ත්‍වයට උත්සාහ කටයුතු.
_________