19. උදේනී වස්තුව

star_outline

තව ද සත්‍වයන්ට කුශලා’කුශල යන දෙදෙනාගේ ඉෂ්ටානිෂ්ට විපාක හඟවනු පිණිස සාමාවතීන් ඇතුළු වූ පන්සියයක් බිසෝ වරුන් හා මාගන්‍දිය ඇතුළු වූ ඔවුන් නෑ පන් සියයක් දෙනාගේ කථා වස්තුව දක්වන්නමෝ මෙ තැන්හි පළමු කොට එහි ම ඇතු ළත් වූ උදේනී වස්තුව දක්වමු.

කෙසේ ද යත්-

යට ගිය දවස අල්ලකප්ප නම් රට අල්ලකප්ප නම් රජ්ජුරු වෝ ය. වෙඨදීප නම් රට වෙඨදීප නම් රජ්ජුරුවෝ ය යන මොහු දෙදෙන බාල අවස්ථාවෙහි පටන් මිත්‍ර ව එක ගුරුන් කෙරෙහි ශිල්ප ඉගෙන තමන්ගේ පිය රජ්ජුරුවන් ඇවෑමෙන් දහසක් දහසක් යොදුන් රටට රජ වූහ. ඔහු පසුවත් අතර තුරෙහි ඔවුනොවුන් කරා එළඹ එක් ව හිඳ සිට, එක් ව, සැතපී සුදුසු කෙළි සිනාවෙන් දවස් යවන්නාහු ලෝකයෙහි උපදනා වූ ද මිය යන්නා වූ ද මහා ජනයන් දැක සියල්ල ම අනිත්‍යය යි සල කනුවෝ මෙලොවින් පරලොවට යන සත්‍වයා පස්සෙහි යන්නා වූ එක ද වස්තුවෙක් නැත. යටත් පිරිසෙයින් තමා සන්තක ය යි තබා ගන්නා වූ එක් ව උපන් ශරීර ය දක්වා සත්‍වයන් හා එක් ව පර ලොවට නො යෙයි. එ සේ හෙයින් සියල්ල ම හැර පියා යා යුතු ය. එ සේ වූ මේ සංසාරයෙහි සිටි අප හැමට රාජ්‍ය සම්පත්තියෙන් ප්‍රයෝජන කිම් ද? ගිහි ගෙය හැර මහණ වම්හ’යි කියා මන්ත්‍රණය කොට තම තමන් සන්තක රාජ්‍යය අඹු දරු වන්ට පාවා දී තාපස ප්‍රව්‍රජ්‍යාවෙන් මහණ ව හිමාලයෙහි එක් ව වෙසෙමින් එක් දවසක් ඔවුනොවුන් හා එක් ව කථා කරන්නාහු ‘අපි දෙ දෙන රාජ්‍ය සම්පත් හැර මහණ වන්නමෝ ජීවත් වන උපායක් නැති හෙයින් මහණ වුවමෝ නො වෙමු. සසරින් ගැළවී යන උපාය සොයා ම මහණ වූම්හ.

‘එ සේ මහණ වූ අපි එක තෙන වසමෝ නම් දෙන්නකු එක තැන වසන කල්හි අල්ලාප-සල්ලාප කථා මාත්‍රයකුදු කරමෝ නම් අප මහණ වූ ව ත් මහණ නුවූවා සමාන ය. එ සේ හෙයින් අප වෙන වෙන ම විසුව මැන ව. තෙපි එක් පර්‍වතයෙක වස ව. අපි එක් පර්‍වතයෙක වසම්හ. පසළොස් දවසින් පසළොස් දවස පොහොයෙහි එක් වම්හ’යි මන්ත්‍රණය කොට නැවත කියන්නාහු ‘එසේ පොහොයෙන් පොහොයෙහි එක්වීම ගණ සඞ්ගණිකා වට කාරණ ය. එ සේ හෙයින් දෙ දෙන ම එක් නො වම්හ. තෙපි තොපගේ පර්‍වතයෙහි ගිනි දල්වා ලව. මම මාගේ පර්‍වතයෙහි ගිනි දල්වා ලමි. ඒ සලකුණෙන් ඔවු නොවුන් දිවි ඇති බව දනුම්හ’යි නියත කොට එ පරිද්දෙන් ම ඔවු නොවුන්ට උවදුරු නැති බව හඟවා දවස් යවති.

මෙ සේ කලාතුරක් ගිය කල්හි වෙඨදීප තාපසයෝ මිය මහෙසාඛ්‍ය දිව්‍ය රාජ ව උපන්හ. ඉක් බිති පසළොස්වක් පොහොය පැමිණි කල්හි පර්‍වතයෙහි ගිනි නොදැක ඔවුන් මළ බව අල්ලකප්ප තාපසයෝ දත්හ. වෙඨදීප තාපසයෝ දෙව් ලොව උපන් ඇසිල්ලෙහි ම තමන්ගේ අසාධාරණ වූ දිව්‍ය සම්පත් දැක ‘කවර කුශලයක් කොට දෝ හෝ මා මේ සම්පත් ලද්දේ ය’යි බලන්නාහු ගිහිගෙන් පිට ත් දවස් පටන් ගිය ජාතියේ තමන් රැක්කා වූ ශීල ය දැක ‘මා හා එක් ව සිල් රැක්කා වූ මාගේ යාළු තාපසයන් බලා පියා එමී’ සිතා දිව්‍ය ශරීරය හැර මගී වෙසක් මවා ගෙන අල්ලකප්ප තාපසයන් හුන් තෙනට ගොසින් වැඳ එකත් පස් ව සිටියහ.

ඔවුන් දැක තාපසයෝ ‘පින්වත, තෙපි කොයි සිට අවු දැ’ යි විචාළහ. ඒ අසා දිව්‍ය පුත්‍ර තෙම ‘ස්වාමීනි, මම දුර සිට එන්නා වූ මගි එකෙකිමි. ස්වාමීනි, මෙ තැන්හි නුඹ වහන්සේ හුදෙකලා ව[1] තපස් කරණ සේක් ද? අනික් කෙණෙකු ත් ඇද්දැ’යි විචාරා ‘මාගේ එක් සහාය තාපස කෙනෙක් ඇතැ’යි කී කල්හි ‘දැන් උන් වහන්සේ කොයි දැ’යි විචාරා ‘ඒ අපි දෙ දෙන ඔවුනොවුන්ට උපද්‍ර ව නුවූ බව හඟවණු පිණිස පොහෝ දවසින් පොහෝ දවස ඔවුනොවුන්ගේ පර්‍වතයෙහි ගිනි දල් වම්හ. මේ පොහොයෙහි ඒ තාපසයෝ තමන්ගේ පර්‍වතයෙහි ගිනි නො දැල් වූ හ. එ සේ හෙයින් ඔවුහු මළහ යි සිතමි’ කී කල්හි ‘එ සේ ද, ස්වාමීනි’යි කියා ඉක් බිති ‘ස්වාමීනි, මම අනිකෙක් ම නො වෙමි. නුඹ වහන්සේ ගේ යාළු තාපසයෝ නම් මම ම ය’යි කීහ.

‘කොයි උපනු දැ’යි කී කල්හි ‘මා රැක්කා වූ ශීලයෙහි අනුහසින් දෙවු ලොව මභෙශාඛ්‍ය දිව්‍ය රාජව උපනිමි. දැන් නුඹ වහන්සේ දක්නා සඳහා ආමි. මෙ තැන්හි වසන නුඹ වහන්සේට කිසි උපද්‍රවයෙක් ඇද්දැ’යි විචාරා ‘අපට අනික් උපද්‍රවයෙක් නැත. ඇතුන් විසින් උපද්‍රවයෙක් ඇතැ’යි කී කල්හි “ස්වාමීනි, ඇත්තු කුමක් කෙරෙද්ද’යි විචාරා ‘හැමදි තෙන බෙටි ලති. පයින් පැහැර පස් උඩ නගති. මම හැම දවස් ම ඇත් බෙටි දමමින් පස් ‍තනමින් වෙහෙස ගනිමි’ කී කල්හි ‘කිමෙක් ද උන් නො ද එන්නා කැමති සේක්දැ’යි විචාරා ‘එ සේ ය’යි කී කල්හි ‘එ සේ වී නම් ඇතුන් නො එන සේ කෙරෙමී’ සිතා තාපසයන්ට හස්තිකාන්ත වීණාවක් ද හස්තිකාන්ත මන්ත්‍රයක් ද දුන්හ. ඒ වීණාව දෙන්නාහු ද එහි තුන් තතක් සාදා පෑ ලා තුන් මන්ත්‍රයක් උගන්වා ලා ‘ස්වාමීනි, මේ තත ගසා මේ මන්ත්‍රය කී කල්හි ඇත්තු පෙරළී සිට බලන්ට ත් අසමර්ථ ව පලා යෙති. මේ මන්ත්‍රය කියා මේ තත ගැසූ කල්හි පෙරළී ආපසු බල බලා යෙති. මේ තත ගසා මේ මන්ත්‍රය කී කල්හි ඇත් මුළට නායක වූ ඇත් තෙමේ ම නැමි නැමී අවුත් පිට දෙ යි’ කියා ‘මෙයින් මුඹ වහන්සේට අභිප්‍රායක් කළ මැනැවැ’යි කියා ගියේ ය. එ තැන් පටන් තාපසයෝ ඇතුන් පලා යන්ට සුදුසු මන්ත්‍රය කියා උන් පලා යන්ට සුදුසු වූ තත ම ගසා ඇතුන් දුරු කොට කාය-චිත්ත සමාධි ලදින් යෙහෙන් පන්සලෙහි වෙසෙති.

එ සමයෙහි කොසඹෑ නුවර පරන්තප නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍යය කෙරෙති. ඔහු එක් දවසෙක දැරි ඇති බිසොවුන් හා සමඟ උදාසන්හි අවුව තප්මින් ආකාශ තලයේ අභ්‍යවකාශයේ සඳැල්ලේ උන්හ. ඉක්බිති බිසවු රජ්ජුරුවන් පොරෝනා ලක්ෂයක් වටනා පළසක් පෙරවාගෙන රජ්ජුරුවන් ඇඟිල්ලෙහි තුබූ ලක්ෂයක් වටනා මුන්දත් තමන් ඇඟිල්ලෙහි ලාගෙන, රජ්ජුරුවන්ට නුදුරු ව කථා කෙරෙමින් උන්හ. එ කල්හි හස්ති ලිඞ්ග නම් පක්ෂියෙක් ආකාශයෙන් යන්නේ පළස පෙර ව ගෙන හුන්නා වූ බිසොවුන් දැක මස් කැටියෙක් දෝ හෝ යි යන සංඥාවෙන් ගසා ගෙන යන පිණිස පියා විදහා ගෙන බස්නට වන. රජ්ජුරුවෝ ඔහු බස්නා හඬින් නැඟී සිට ඇතුළු රජ ගෙට වන්හ. බිසවු ගර්භිණී ව බඩ බර හෙයින් හා ස්වභාවයෙන් ම භය ඇති හෙයින් වහා නැඟී යන්ට අසමර්ථ වූහ. ඉක්බිති පක්ෂි තෙම අවුත් බිසොවුන් නිය අස්සේ හිඳුවා ගෙන අහසට පැන නැංගේ ය.

ඒ පක්ෂීහු නම් ඇතුන් පස් දෙනෙකුට බල ඇතියහ. එ හෙයින් කිසි යම් සතකු අහසින් ගෙන ගොසින් තමන් කැමැති තෙනක හිඳ මස් කති. ඒ බිසවු ද එ දවස් පක්ෂීහු විසින් ගෙන යන වේලෙහි මරණ භයින් භය පත් ව තමන් නුවණැ’ති හෙයින් සිතන්නාහු ‘ඉදින් මම මෙ තැන්හි දී හැඬීම් නම් මිනිසුන් ගේ ශබ්දය තිරිසනුන්ට භය එළවන හෙයින් එළාපුව හොත් මම මාගේ දරුගැබ හා සමඟ බිම හී නැසෙමි. එ සේ හෙයින් යම් තෙනෙක්හි මා තබා ලා කන්ට පටන් ගනී ද එ තැන්හි දී මහත් කොට හඬ ගසා මොහු ලුහුබඳවා පියමී’ සිතූහ. ඒ පක්ෂියා පළ මුත් හිමාලයෙහි මඳක් වැඩී මණ්ඩලාකාර ව සිටි නුඟ රුකෙක්හි බැස හිඳ තමා ගෙන ගිය ඌරන්-මුවන් ආදී වූ යම් කිසි ගොදුරක් කන්නේය. එසේ හෙයින් ඒ බිසොවුන් ද එ පරිද්දෙන් ම ගෙන ගොසින් ඒ නුඟ ගස වෙළෙප් අතුරෙහි තබා ලා ආ මඟ දසාව බැලීය.

පක්ෂීන් ගොදුරු ගෙන ගොස් එක් තැනක බැස හුන් කල පෙරළී ආ මඟ දසාව බැලීම ස්වභාව ධර්‍මයෙක් ම ය. එ සේ හෙයින් ඔහු පෙරළී ආ මඟ බැලූ කෙණෙහි බිසවු ‘මෙ විට මොහු නෙරපියමී’යි සිතා අතින් අත පැහැර මහත් කොට හඬ ගසා පක්ෂියා ලුහු බැඳ වූහ. ඉක් බිති එ දවස් ම හිරු හස්තයට යන වේලෙහි බිසොවුන්ට විළි පහරන්ට පටන් ගත. සියලු දිශා භාග යෙහි ඝොර වූ ගර්ජනා කෙරෙමින් මහත් වූ මෙඝයෙක් නැඟී ය. සැප සේ වැඩී ගිය බිසවු ‘නො බව මැනැව’යි යන වචන මාත්‍රය කුත් නො ලබන්නාහු දුකින් පීඩිත ව රාත්‍රිය මුළුල්ලෙහි නින්දක් නො ලදහ. ඒ රාත්‍රි ය පහන් ව ගිය කල්හි වැසි වලා පහ වීම ද අරුණු නැඟීම ද, දරුවන් වැදීම ද, එක විට ම වි ය. බිසවු මෙඝ සෘතුව ද, පර්‍වත ඍතුව ද, අරුණු ඍතුව ද, ගෙන උපන් හෙයින් පුතණුවන්ට උදේනි කුමාරයෝ ය යි නම් තැබූහ.

අල්ලකප්ප තාපසයන් වසන්නා වූ පන්සල ද ඒ නුග ගසට නුදුරු තැන්හි වි ය. ඔහු ස්වභාවයෙන් ම වැසි දවස් ශීත භයින් වනයට වැද්ද නො හී ඒ ගස මුලට ගොසින් පක්ෂීන් කා හෙලූ ඇට අවුළාගෙන තළා පියා රස කකාරා බොති. එ සේ හෙයින් එ දවස් ද ඇට අවුළා ගෙනෙමී යි.සිතා එ තැනට ගොසින් ගස මුල ඇට සොයන්නාහු ගස උඩ හඬන්නා වූ කුමාරයන් ගේ ශබ්දය අසා උඩ බලා බිසොවුන් දැක ‘තෙපි කවුරු දැ’යි විචාරා ‘මම මනුෂ්‍ය ස්ත්‍රියක්මී’ කී කල්හි මෙ තැනට කෙ සේ අවු දැ යි විචාරා තමන් පක්ෂීහු ගෙනා පවත් කී කල්හි ‘එ සේ වී නම් බැස පියව’යි කී ය. ‘මාගේ ජාතියට විරෝධයක් වෙතී-භය ඇත්තෙමි. ස්වාමීනි’යි බිසොවුන් කී කල්හි ‘තෙපි කවර ජාතියෙහි කෙනෙක් දැ’යි විචාරා ‘මම ක්‍ෂත්‍රිය ජාතියෙහි ය’යි කී කල්හි ‘මම ද ක්‍ෂත්‍රිය ජාති ඇත්තෙමී’ කී ය.

‘එ සේ වී නම් ක්‍ෂත්‍රිය මායම් කියව’යි කී කල්හි ක්‍ෂත්‍රිය මායම් කියා ‘එ සේ වුවහොත් ගසට නැඟී මාගේ පුතණුවන් බා ගන්ව’යි කී කල්හි තාපසයෝ එක් දසාවකින් ගසට නැගෙන උපායක් ඉදි කොට උඩට නැගී දරුවන් පළමු කොට ගසින් බහා, පසු ව බිසොවුන් බාගෙන පංසලට ගෙන ගොසින් ශීල භේදයක් නො කොට උන් කෙරෙහි ම අනුකම්පාවෙන් පණු පිළවුන් නො වන් මී හා සයඤ්ජාත හැල් ගෙනවුත් මැඬ කැඳ පිස දුන්හ. මෙ සේ ඔවුන් රක්නා කල්හි බිසවු සිතන්නාහු ‘මම මා පක්ෂීහු ගෙන ආ හෙයින් මනුෂ්‍ය පථයෙහි සිට ආ මඟත් නො දනිමි. නැවත මෙ තැන සිට යන මඟ ත් නො දනිමි. මේ තාපසයන් හා මාගේ කිසි විශ්වාසයකු ත් නැත. ඉදින් මේ තාපසයෝ අප හැර පියා බැහැර කිසි තෙනකට ගියාහු වී නම් අපි දෙ දෙන මෙ තැන්හි ම මරණට පැමිණෙම්හ. එ සේ හෙයින් මොවුන් අප නො හරන පරිද්දෙන් ම මොහු ශීල භේදයට පමුණුවා කාම පාශයෙන් බැඳ රඳවා ගත මැනව”යි සිතා -

“මුට්ඨස්සතිං තා බන්ධන්ති - පෙක්ඛිතෙන මිහිතෙන ච,

අථො’පි දුන්නිවත්‍ථෙන – මඤ්ජුනා භණිතෙන ච”.

යනු ස්ත්‍රීන්ගේ ස්වභාව ධර්‍මයක් හෙයින් ස්වභාවයෙන් ම රසවත් වූ රජ කුලෙහි උපන්නා වූ තාපසයන්ට හැඳි වස්ත්‍ර ශිථිල කිරීම ආදීන් මනහර ලෝභ කටයුතු වූ ප්‍රදේශ දක්වා තාපසයන් ශීල භෙදයට පමුණුවා එ තැන් පටන් දෙ දෙන ම සමග වාසයෙන් වෙසෙති.

ඉක් බිති එක් දවසක් තාපසයෝ නක්‍ෂත්‍ර යෝගයන් බලන්නාහු කොසඹෑ නුවර රජ කරන්නා වූ පරන්තප රජ්ජුරුවන් ගේ ජන්ම නක්‍ෂත්‍රයට වූ පීඩාවක් දැක බිසොවුන්ට කියන්නාහු ‘සොඳුර, කොසඹෑ නුවර රජකරන්නා වූ පරන්තප රජ්ජුරුවෝ මළහ’යි කීහ. ඒ අසා බිසවු ‘ස්වාමීනි, කුමක් නිසා එ සේ කියන සේක් ද? ඒ රජ්ජුරුවන් හා වෛරයෙක් ඇද්දැ’යි කීහ. එ කල නාපසයෝ කියන්නාහු ‘සොඳුර, එ සේ නො කියව. මා ඔවුන් හා වෛරයෙක් නැත. ඒ රජ්ජුරුවන්ගේ ජන්ම නක්‍ෂත්‍රයට වූ පීඩාවක් දැක ය මා කියන්නේ ය’යි කීහ. එ බස් අසා බිසවු මහා ශෝක පත් ව හඬන්ට පටන් ගත්හ. තාපසයෝ ‘කුමක් සිතා හඬවු දැ’යි විචාරා එ බිසවු තමන් කොසඹෑ නුවර පරන්තප රජ්ජුරුවන්ගේ බිසොවුන් බව කී කල්හි තාපසයෝ කියන්නාහු ‘සොඳුර, ශෝක නො කරව, උපන් සත්‍වයන්ට මරණ එකාන්ත ය’යි කීහ. ඒ අසා බිසවු ‘උපන් සත්‍වයන්ට මරණ නියත බව දනිම් මැ’යි කී කල්හි ‘එ සේ කල කුමක් නිසා හඬවු දැ’යි විචාරා ‘මා හඬන්නේම පුතණුවන්ට පියාණන් සන්තක රාජ්‍යය ලබන තරම් පිනක් නැති හෙයිනැ’යි කීහ.

ඒ අසා තාපසයෝ එසේ වුව ශෝක නො කරව. තොපගේ පුතණුවන් රාජ්‍ය ය ලබන්නා වූ උපායක් මම දනිමී’යි කියා රාජ කුමාරයන් කැඳවා ‘හස්තිකාන්ත වීණාව ඔවුන්ට දී හස්තිකාන්ත මන්ත්‍රය උගන්වා නො එක් දහස් ගණන් ඇතුන් නුග රුක මුළට රැස් වන දවස් කුමාරයන් කැඳවා ‘කුමාරයෙනි, තෙපි ඇතුන් එන්නාට පළමු කොට නුග රුකට නැගී වෙළෙප් මත්තෙහි හිඳ ඇතුන් මුළුල්ල රැස් වූ කල්හි මේ මන්ත්‍රය කියා මේ තත ගසව. සියලු ඇත්තුම තොප දිසාව පෙරළී බැලිය නො හී පලා යන්නාහ. එ සේ ඇතුන් ගිය කල්හි තෙපි ගසින් බැස මා කරා එව’යි කීහ. කුමාරයෝ එපරිද්දෙන් ම කොට අවුත් එ පවත් තාපසයන්ට කීහ. ඉක් බිති තාපසයෝ දෙ වන දවස් කියන්නාහු ‛අද තෙපි ගසට නැගී ඇතුන් ආ කල්හි මෙ මන්ත්‍රය කියා මේ තත ගසාලව. එ සේ කල්හි ඇතුන් තොප දසාව පෙරළී බල බලා දිවෙතී’යි කියා යවූහ. කුමාරයෝ ද එදවස් එ පරිද්දෙන් ම කොට අවුත් තාපසයන්ට කීහ. ඉක් බිති තාපසයෝ බිසොවුන්ට කියන්නාහු තොප ගේ පුතණුවෝ තමන් පියාණන් සන්තක රාජ්‍යය ගනිති. උන්ට හස්නක් කියා නික්මවා පියව’යි කීහ.

එ කල්හි බිසවු පුතණුවන් කැඳවා කියන්නාහු ‘පුතු තෙපි කොසඹෑ නුවර පරන්තප රජ්ජුරුවන්ගේ පුතණුවෝ ය. තොපට මා දැරි ඇති කල්හි මා පක්ෂීහු ගසා ගෙන ආ බව කියා ඒ දේශයෙහි සෙනෙවි රදුන් ආදීන්ගේ නම් සලකුණු මෙ සේ කියව. ඉදින් නො අදහත් නම් තොපගේ පියාණන් අත ලන මේ මුන්ද හා පොරෝනා පළස හා දක්වා ලව’යි පළස හා පේරැස් මුන්ද දී සලකුණු අසුන් කීහ. කුමාරයෝ තාපසයන් කරා ගොසින් ‘මෙ විට කුමක් කෙරෙම් දැ’යි විචාළහ. තාපසයෝ ‘අද තෙපි නුඟ ගසට නැඟී පාත අත්තේ හිඳ මේ මන්ත්‍රය කියා මේ තත ගසා ලව. එ සේ කල්හි සියලු ඇතුන්ට නායක වූ ඇත් රජ තෙම තොපට පිට දී අවුත් සිටිනේ ය. තෙපි ඔහු පිටට නැඟී ගොස් තොප පියාණන් සන්තක රාජ්‍ය ය ගනුව’යි කීහ. එ බස් අසා කුමාරයෝ මෑණියන් හා තාපසයන් වැඳ අවසර ගෙන පලා ගොස් නුග ගසට නැඟී පාත අත්ත මත්තේ හිඳ මන්ත්‍ර ය පිරිවහා වීණාවෙහි තුන් වන තත ගසා ලූහ. එ වේලෙහි ඇත් මුළට නායක වූ මහ ඇත් රජ නැමි නැමී අවුත් පිට දින. එ වේලෙහි ඔහු පිටට නැඟී ‘මම කොසඹෑ නුවර පරන්තප රජ්ජුරුවන්ගේ පුතණුවෝ ය. මට පියාණන් සන්තක රාජ්‍ය ය ගෙන දෙව” කියා ඇතු කනට කොඳුරා කීහ.

ඒ ඇත් රජ එ බස් අසා නො එක් දහස් ගණන් ඇතුන් රැස් වන පරිද්දෙන් මහත් කොට ගර්ජනා කෙළේ ය. ඒ හස්තිගර්ජනාව අසා නො එක් දහස් ගණන් ඇත් සෙනඟ රැස් වූහ. ඉක්බිති වැඩි මහලු ඇතුන් හා බාල ඇතුන් දුරු වන පරිද්දෙන් ඊට සුදුසු හඬින් ගර්ජනා කෙළේ ය. ඒ හඬ අසා මහලු ඇතුන් හා ඉතා බාල ඇත්තු දුරුව ගියහ. ඉක්බිති රාජ කුමාරයෝද හස්තීන් දහස් ගණන් පිරිවරා පසල් ගමකට ගොසින් ‘මම පරන්තප රජ්ජුරුවන්ගේ පුතණුවෝ ය. සම්පත් කැමැති කෙනෙක් මා හා කැටි ව එත්ව’යි බොහෝ දෙනා කැඳවා ගෙන ආ ආ මනුෂ්‍යයන්ට සංග්‍රහ කෙරෙමින් රාජ්‍ය ය සමීපයට ගොස් නුවර වට කොට ගෙන මා හා සමග යුද්ධය හෝ කළ මැනව. රාජ්‍ය ය හෝ දුන මැනැවැ’යි කියා අසුන් යවූහ.

අමාත්‍යයෝ එ පවත් අසා ‘අපි රාජ්‍යයත් නො දෙම්හ. යුද්ධ ත් නො කරම්හ. අපගේ රජ්ජුරුවන් වහන්සේගේ බිසොවුන් වහන්සේ ගර්භිණී අවස්ථාවෙහි ම පක්ෂියෙක් ගසා ගෙන ගියේ ය. එ බිසොවුන් වහන්සේ ඇති බව ත්, නැති බව ත්, නො දනුම්හ. එ පවත් නියම දැන පියන තෙක් අප දෙන රාජ්‍යයක් නැත. කරන සටනු ත් නැතැ’යි කියා යවූහ. එ තෙපුල් අසා රාජකුමාරයෝ ‘එ සේ වුව හොත් මම ඒ රජ්ජුරුවන්ගේ පුතණුවෝ ය’යි කියා බිසොවුන් කී පරිද්දෙන් සෙනෙවිරත් ආදීන්ගේ නම් සලකුණු කියා යවා එ සේ ත් නුවර වාසීන් නො අදහන හෙයින් රජ්ජුරුවන් අත ලූ මුන්ද හා පොරෝනා පළස පෑහ. අමාත්‍යයෝ පළස හා මුන්ද දැක හැඳින ගෙන සැබවැ යි ගිවිස ගෙන නුවර දොර හැර මහත් වූ රජ පෙරහරින් රාජ කුමාර යන් ඇතුළු නුවරට ගෙන වොටුණු පළඳවා රාජ්‍යයෙහි පිහිටු වූහ.

මේ උදේනී රජ්ජුරුවන්ගේ උත්පත්ති කථා ක්‍රමය යි.

__________

  1. උදකලාව