තව ද දෙවියන්ට වුවත් මිනිසුන්ට වුව ත් කායික ක්‍රියාවෙනු ත් වාචසික ක්‍රියාවෙනු ත් නිර්‍වඤ්චා තැන් ප්‍රසාදාවහ නියාව හඟවන්ට ඒකුදාන[1] රහත් තෙර කෙනකුන් වහන්සේගේ වස්තුව දක්වමු.
කෙසේ ද යත් -
ඒ තෙරුන් වහන්සේ තමන් වහන්සේ ගණ සඞ්ගණිකායෙහි ඇල්මක් නැති හෙයින් එක් වන ලැහැබෙක තනිව ම වසන සේක.
‘අධිචෙතසො අප්පමජ්ජතෙ - මුනිනො මොනපථෙසු සික්ඛතො,
සොකා න භවන්ති තාදිනො - උපසන්තස්ස සදා සතීමතො.’
යන මේ උදාන ගාථාව ඉතා පුහුණු ය. එසේ හෙයින් පොහෝ දවස් බණට හඬ ගානා අනික් කෙනකුන් නැති හෙයින් තමන් වහන්සේ ම බණට අඬගා පියා බණ අසන්ට එන මිනිසුන් මහ වල හෙයින් නැත ත් දෙවියන් අරභයා උදාන ගාථා ව ම වදාරන සේක. බණ අසා පොළොව ගුගුරන කලක් මෙන් දෙවියෝ සාධු කාර දෙති.
ඉක් බිත්තෙන් එක් පොහෝ දවසෙක පන්සියක් පන්සියක් වහන්දෑ පිරිවරා ආගමධර තෙර දෙ දෙනකුන් වහන්සේ ඒකුදාන තෙරුන් වහන්සේ වසන තැනට ගිය සේක. ඔබද ඒ දෙ දෙනා වහන්සේ දැක සතුටු ව ‘ආ නියා ව ඉතා යහපත. දේශනාම ය කුශලයක් මුත් ශ්‍රවණ ම ය කුශලය අපට තනිව හිඳිනා හෙයින් සිද්ධ වන්ට නැත. බණ කිව මැනව. බණ අසම්හ’යි කී සේක. ‘ඇවැත්නි, මේ වල බණ අසන්නෝ කවුරු දැ’ යි විචාළ සේක. ‘ඇවැත්නි, මේ වල දී බණ පවත්නා ම පොළොව ගුගුරන්නා සේ දෙවියෝ සාධුකාර දෙතී’ වදාළ සේක. ආගමධර දෙදෙනා වහන්සේගෙන් එක් නමෙක් පෙළ කියවාලන සේක. එක් නමෙක් අර්ථ කියන සේක. දෙනම කියන බණ අසා එක දේවතා කෙනෙකු ත් සාධුකාර නුදුන්හ. ආගමධර දෙනම තුමූ ‘ඇවැත්නි, බණ දවසෙක මේ වල දෙවියන් පොළොව ගුගුරුවන්නා සේ සාධුකාර දෙතී’ කිවු ය. ඒ කිම් දැ’ යි අරුන් වහන්සේ රහත් නියා ව නොදැන බසට සැක වූ සේක.
‘ස්වාමීනි, මෙ තෙක් දවස් එ සේ ය. අද කුමක් නිසා සාධුකාර නුදුන් බවත් නො දනිමි’ වදාළසේක. ඒ අසා ඒ දෙන ම ඒ නම විමසනු නිසා ‘එ සේ වී නම් තමන් බණ කිව මැනවැ’යි කී සේක. ඔබ ඒ අසා ඊට මැළි නොව බණ අසන්ට නැඟී ලා විජිනි පත්‍රයක් හැර ගෙන සමහර කෙනකුන් දවසක් මුළුල්ලෙහි කට එළන තෙක් කළ කථා එක බසෙකින් ම නිමවා ලන්නා සේ එක උදාන ගාථාව ම වදාළ සේක. දෙවියෝ ද ආගමධර දෙ දෙන ම බණ කියන තෙක් වේලා නිදා පියා එක විට පිබිද ගියා සේ මහත් කොට සාධු කාර දුන්හ. ආගමධර දෙනමගේ පිරිවර සඟ දහස ‘මේ වෙනෙහි දෙවියන්ගේ ත් කටයුත්ත මුණ බලාය. ආගමධර දෙනමක් මෙ තෙක් වේලා හිඳ මෙ තෙත් බණ කියතත් ප්‍රශංසා පමණකුත් නොකොට මේ මාලු තෙරුන් වහන්සේ දන්නා බණ ත් එ තෙක් ම හෙයින් දෝ එක ගාථාවක් කියන්නා ම සාධු කාර දී කියා ලූ ගාථාව පමණකු ත් වඩා පූ ය’ යි නොසතුටු ව විහාරයට ගොසින් බුදුන්ට ත් දැන් වූ සේක.
බුදුහු ඒ අසා ‘මහණෙනි, බොහෝ කොට බණ උගතත් බොහෝ කොට බණ කියතත් එ ලෙස පිළිපැදීමෙක් නොපෙනේ නම් බණ උගත් පමණකින් හා කියන පමණකින්ම ධර්‍මධර ය යි නො කියමි. යම් කෙනෙක් මඳක් වුවත් අසා ඉගෙන වෙළඳාම් දන්නා කෙනකුන් භාණ්ඩ මූල ය නො නසා වෙළඳාම් කරන්නා සේ පිළිවෙත නො නසා බණ පිළිමසත්[2] නම් උන් ධර්‍මධර ය යි කියමි. තව ද යම් කෙනෙක් වඩන ලද විර්‍ය්‍ය ඇති ව නො පමා වූ නම් උනු ත් පර්‍ය්‍යාප්තියෙහි අභියොග ය මඳ වුවත් ධර්‍මධර ය යි කියමී වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එහෙයින් සත් පුරුෂයන් විසින් නිස්සරණාධ්‍යාශයෙන් බණ ඉගෙන පර්‍ය්‍යාප්ති ය ප්‍රතිපත්තියට මුල් හෙයින් පිළිවෙත ත් යෙදී ප්‍රතිපත්තිය ප්‍රතිවෙධය ට මුල් හෙයින් අධිගම ශුද්ධියට උත්සාහ කටයුතු.
_________