තව ද තරාදියක් සේ මැදහත් නොවී මෙන් අමධ්‍යස්ථ වීමෙහි නපුර දක්වන්ට විනිශ්චයාමාත්‍යයන්ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත්-
එක් දවසක් වහන්දෑ සැවැත් නුවර උතුරු වාසල් දොර කෙරේ ගම සිඟා වළඳාලා වළඳා අන්තයෙහි නුවර මැදින් විහාරයට වඩනා සේක. එ වේලාට වැස්සෙක් වස්නට වන. වැසි හෙයින් මඟ ගාවා සිටි අධිකරණ ශාලාවකට මාර්‍ග සංඥාව එළවා ගෙන වැසි පායන තෙක් වැද අධිකරණ නායකයන් අත්ලස් නිසා හිමියන් නො හිමි කරවන නියා ව දැන ‘අපි මුන් මැදහත් ව යුක්ති විචාරතී සිතුම්හ. අධිකරණ ශාස්ත්‍ර නො දන්නා අපට ත් දැනෙන තරම් අයුක්ති මුන් නො දන්නට කාරණ නැත. මැදහත් කමක් නැති නිසා ම ය’යි සිතා වැසි පායා පී කල්හි විහාරයට ගොසින් බුදුන් වැඳ එකත් පස් ව හුන් සේක්-ඵ පවත් බුදුන්ට දැන් වූ සේක.
බුදුහු ‘මහණෙනි, තෙල ලෙස යුක්ති විචාරන්නෝ මැදහත් නො වෙතී’ වදාරා මැදහත් නො මැදහත් දෙ පක්‍ෂය දක්වන සේක් ‘යම් කෙනෙක් ගිහි වූ නමුත් නෑ කමක් හෝ මිත්‍ර කමක් හෝ උපකාරයක් හෝ තකා උන් කෙරෙහි ප්‍රේමයෙන් බොරු කියා නො හිමියන් හිමි කෙරෙත් ද, ශාසනික වූ නමුත් ඒ හැම තකා සාවැද්දයන් නිරවැද්ද කෙරෙත් ද, නැවත යම් කෙනකුන් කෙරෙහි මුසුප්පු ඇත්තෝ වී නම් බොරු යුක්ති කියා ලා හිමියන් නොහිමි කෙරෙත් ද, ශාසනික වුවො ත් පක්‍ෂබල ලදින් නිර වැද්දයන් සාවැද්ද කෙරෙත් ද? සාවැද්දයන් නිරවැද්ද කෙරෙත් ද, නැවත අත්ලස් කා පියා කෑ අත්ලස් සලකත් මුත් යුක්ති නො සලකා යුක්ති විචාරණ වේලේ දී නො ඇසූ කන් ව කියන දෙය සිත හෙළා නො අසා ප්‍රතිඝානුනය දෙක නැත ත් මෝහයෙන් මුළා ව ගොසින් හිමියන් නො හිමි කොට නො හිමියන් හිමි කෙරෙත් ද, ශාසනික වුවොත් පාත්‍ර චීවරාදියෙහි ආලයෙන් පැමිණි විනිශ්චය ඉඳුරා නො විචාරීමෙන් විනිශ්ච ය නසා ද-
‘තව ද යම් කෙනෙක් පොහොසත්තු වූ නම් නො හිමි වුව ත් හිමි කරවා නුලූවො ත් ගහටයක් වැද හෙති යන භයින් අයුක්ති යමයුක්ති කොට කියත් ද, ශාසනික වුවත් මෙබඳු අදහසින් මූණු බලා අධර්ම අවිනයෙන් විනිශ්චය කෙරෙත් ද, යම් කෙනෙක් කවුරුන් කෙරෙහි ත් ප්‍රතිඝානුනය නැති ව ශාස්ත්‍රානුරූප ව ධර්‍ම විනයානුරූප ව පැමිණි කටයුත්ත විචාරා මැදහත් ලෙසින් පනත් කොට ලත් නම් ඌ තුමූ ධර්මමිෂ්ඨ නම් වෙතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් ඡන්දාදී වූ අගති ගමන කළුවර දෙ පෝයේ චන්ද්‍රයාගේ කුඩා වීමට කාරණ වන්නා සේ හානියට කාරණ ය යි සලකා ඡන්දාදියෙන් අගතියට නො ගොස් සුගති ය සිද්ධ කටයුතු.
_______