තව ද කරන පින් කම ලැසි ගත් කල දී ලන විපාකයක් ලැසි ගන්නා නියාව හඟවන්ට සුභද්‍ර පරිබ්‍රාජකයන්ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
ඌ තුමූ ගිය දවස බාල මලණුවන් එක ගොයම් මුරයේ නව අගස් බතක් දෙන ගමනේ දී ගත නො හී පසු බැස කෙළවර දී අගස් බත කුම් වුව ත් දන් පමණක් දුන්හ. කොණ්ඩඤ්ඤ මහ තෙරුන් වහන්සේ බුදුන් ආදියෙන් බණ වදාළ දවස් පළමු කොට නිවන් දුට ත් මූ තුමූ ප්‍රථම බෝධියෙන් බුදුන් දැක ගත නුහුණු වූ ය. කෙළවර කොට ලා පිරිනිවන් පානට වැද හොත් දවස් ‘මම මගේ සැක තුනක් මාලු මාලු පරිබ්‍රාජකවරුන් විචාරා මහණ ගොයුම්හු බාල ය යි සිතා ගොසින් විචාරන්ට ගර්‍ව ඇති ව නො විචාළෙමි. දැන් පිරිනිවන් පානට හොත්තෝ ය. මහණ ගොයුම්හු අතිනු ත් බලා වුව ත් නුවණ බාල නොවන බැවින් විචාරා පියන්ට නො වී ය යි විපිළිසරෙක් උපන් නමුත් නපුරැ’යි බුදුන් කරා ගොසින් අනඳ මහ තෙරුන් වහන්සේ නවතා වදාළ ත් කෙළවර කොට ත් කොට ලූ කුශල කර්‍ම මහිමයෙන් බුදුන් ගෙන් අවසර ලදින් තිරයෙන් ඇතුලට වැද ලා හැඳ යට වැද හිඳ ‘කුමක් ද? මහණ, අහස පිය ඇත් ද? ශාසනයෙන් පිටත මහණහු ඇත් ද? නො නස්නා වූ ප්‍රත්‍යය සමුත්පන්න ධර්‍මයෝ ඇත් ද’යි මේ ප්‍රශ්න තුන විචාළහ.
බුදුහු ඕ හට ප්‍රශ්න විසඳීම් මුඛයෙන් බණ වදාරණ සේක් ‘හෙම්බල පිරිවැජිය, මේ අහස පෑයෙන් වේව යි, සැටියෙන් වේව යි, කියා පෑ ලිය හැකි පියවර ත් නැත. මේ ශාසනයෙන් පිටත වැව භාර පමණින් මුත් සතර මග සතර ඵලයෙහි පිහිටි ශ්‍රමණයෝ ත් නැත. මේ ලෙව්හි අනධිගත සත්‍වයෝ නම් තෘෂ්ණා, ප්‍රපඤ්චාදි වූ ප්‍රපඤ්චයෙහි යෙදී වෙසෙති. සම්‍යක් සම්බුද්ධයෝ බෝ මැඬදී ම නසා පී හෙයින් ප්‍රපඤ්ච රහිතයහ. ප්‍රපඤ්ච තබා සව් කෙලෙස්හු ම නැත්තෝ ය. නො නස්නා සුලු වූ පඤ්චස්කන්ධ කෙනකු ත් නැත. ඌ හැම ම නස්නා සුල්ලෝ ය. සම්‍යක් සම්බුද්ධ වරයන් ශාශ්වත ග්‍රාහ උච්ඡෙද ග්‍රාහ නැති බැවින් ඒ විෂයෙහි සැලීම් පෙළීම් නැතැ’යි වදාළ සේක. දේශනා කෙළවර සුභද්ද පරිබ්‍රාජකයෝ අනගැමි වූහ. සෙසුත් බොහෝ දෙනාට මේ දේශනාව සප්‍රයෝජන වි ය.
එ හෙයින් නුවණැත්තවුන් විසින් සුචරිත පූරණයෙහි ලැසි නොගෙන ත්‍රිවිධ සුචරිත පුරා ලොවී ලොවුතුරා සැපත් ලැබීමටත් පසු නොබැස්ස යුතු.