තව ද යහපත් අදහසෙකින් නොව පවිටු අදහසින් වරද සෙවීමෙහි දෝෂ හඟවන්ට කිපි සිත් ඇති ව වරද සොයන තෙරුන් වහන්සේගේ වස්තුව දක්වමු.
කෙසේ ද යත් -
ඒ තෙරුන් වහන්සේ ‘මුන් හැඳ ගත්තේ මෙසේ වේද? මුන් පෙර ව ගත්තේ මෙසේ වේ ද? මුන් හුන්නේ මෙසේ වේ ද? මුන් සිටියේ මෙසේ වේ ද? මුන් කෑයේ මෙසේ වේ ද? මුන් පූයේ මෙසේ වේද? යනාදීන් නපුරු අදහසින් අතුරම සොය සොයා ඇවිදිනා සේක. වහන්දෑ ද ‘ ස්වාමීනි, අසවල් තෙරුන් වහන්සේ කියා ඇවිදින්නේ මෙ සේ වේ දැ’ යි බුදුන්ට දැන්වූ සේක. බුදුහු ‘මහණෙනි, යම්කෙණෙක් නපුරු අදහසින් අනුන්ට වරද සලසන්ට මෙලෙස කියා කියා ඇවිදිත් නම් උන්ට ලොවී ලොවුතුරා ගුණ විශේෂයෙන් කිසි ද දෙයකු ත් නූපද්දි. ආසට පොළොව දුරු වූවා සේ පොළොව ආසට දුරු වූවා සේ නිවනට උන් දුරු හෙයින් නො ගොස් සිටිනා පැනෙක කසළ බොහෝ එන්නා සේ රාග ද්වේෂාදී කෙලෙස්හු ම ඕ හට වඩිතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් අනුන් වරද සලසම්හ යි තමා වරදෙහි නො සැලසී පිළිවන් ලෙසක අනුන් වුවත් සත් අපථයෙක ම යොදා තමා ත් සත් පථයෙක්හි යෙදී නිවන් අත් කටයුතු.