තව ද දාන මුඛයෙන් පැවති පරිත්‍යාගය තෙමේ ලඝු වී නමුත් නුග බිජු වට කුඩා වුව ත් එයින් ඇති වන ශාඛා මහත් වන්නා සේ විපාක මහත්‍ව ය හඟවන්ට මෙණ්ඩක මහ සිටාණන් ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
බුදුහු අඞ්ගුත්තරාප නම් දනවුවෙහි සැරි සරන සේක් මෙණ්ඩක මහ සිටාණන්ද, ඇඹේණියන් චන්‍දපදුමා දේවීන්ද, පුතණුවන් ධනඤ්ජය සිටාණන් ද, යේළණියන් සුමනා දේවීන් ද, මිනිබිරිණියන් විශාඛාවන් ද, පුණ්ණ නම් වූ කොල්ලණුවන් දැ යි මුන් හැමදෙනා සෝවාන් වන්ට නිසි පින් ඇති නියාව දැන භද්දිය නුවරට වැඩි සේක. මැඬ මහ සිටාණෝ ද, එ නුවරට බුදුන් වැඩි නියාව ඇසූය.
උන්ට මැඬ මහ සිටාණෝ යයි කියන්ට කාරණ කවරේ ද යත් - උන්ගේ ගේ පිටිපස්සෙහි බිජුවට එක් යාළ දොළසාමුණක් විතර වප් යන තැන්හි මහත් තරමින් ඇතුන් සා වූ ත් මධ්‍යම තරමින් අසුන් සා වූ ත් කුඩා තරමින් ගොන් සා වූ ත් ඝන රන් මුවා එළුවෝ මහ පොළොව පළ ගෙන පිටින් පිට පැහැර පැන නැංගාහු ය. උන්ගේ කටවල පස් පෑයෙකින් විසිතුරු වූ පලස් හූවට ගන්වා තිබෙයි. ගිතෙල් තල තෙල් ආදියෙන් හෝ රත් රන් මුතු මැණික් ලෝ කඩ තඹ යකඩ ආදියෙන් හෝ ප්‍රයෝජනයක් ඇති කල්හි හැම එළුවන් සිටිය දී එකක්හුගේ කටින් වුවත් පලස් හූවට ගැළ වූ නම් දඹදිව වැස්සන්ට සෑහෙන පමණ ලෙස එකී දෙය නික්මෙයි. එ තැන් පටන් මූ තුමූ මැඬ මහ සිටාණෝ යයි ප්‍රසිද්ධ වූ හ.
එසේ එළුවන් ලැබීමට කළ පින කවරේ ද යත් - විපස්සි නම් බුදුන් සමයෙහි මූ තුමූ අවරොජ නම් වූ බුදුන් දාවල් දවස වැඩ හිඳිනා ලෙස ත් දාවල් බණ වදාරන ලෙසත් කුඤ්ජර ශාලා නම් වූ මණ්ඩප ගෙයක් කරවාලී නම් යහපතැ යි සිතා වලට මිනිසුන් යවා ඊට නිසි වූ දඬු පත් ගෙන්වා ගෙන එක් ටැඹෙක් රන් බඳවා ය. එක් ටැඹෙක් රිදී පත් සඹලවා ය. එක් ටැඹෙක් රුවන් කර්මාන්ත කරවා ය, යි මෙ සේ ටැම් පේකඩ පුවරු සඟල සංගාළියම්[1] දොරලි දොර බා ගොනැස් පුවට්ටු ආදියත් රන් බැඳුව මනා දෙයෙහි රන් බඳවා රිදී පත් සඹල මනා දෙයෙහි රිදී පත් සඹලවා රුවන් කර්මාන්ත කැරවුව මනා දෙයෙහි රුවන් කර්මාන්ත කරවා මයිලණුවන් කැර වූ ගඳකිළියට ඉදිරියෙහි සත් රුවන් මුවා වූ කුඤ්ජර ශාලා නම් මණ්ඩපයක් කැර වූ ය. සොයන උළු ත් එ ලෙස ම කරවා සොයවා නිම වූ ය.
ඒ මණ්ඩපයෙහි කොටත බිබිල රන්මුවා ය. බිසෝ කොටුව හා කැරැල්ල පබළු මුවා ය. ඒ කුඤ්ජර ශාලාව මැද බුදුන් වැඩ හිඳිනා විතරකට වෙන තෝරා රුවන් මඬුවකුත් කරවා ලා බුදුන් වැඩහිඳ බණ වදාරන ලෙසට හැඳකු ත් කරවාලූ ය. ඒ ඇඳෙහි ඇඳ පත් හැඳවතු ත් ඝන රන්මුවා ය. රන් එළුවන් සතර දෙනකු කරවා ඇඳ පා සතරට පා අළු කොට ලවා ලූ ය. ඝන රන් එළුවන් දෙන්නකු කරවා ආසනයෙහි වැඩ හිඳිනා කල පය ඔබා ගන්නා ලෙසට තැබ්බු වූ ය. එළුවන් සදෙනකු ඝන රනින් කරවා මණ්ඩපය වට කොට සිටුවා ලූ ය. බණ වදාරන්ට වැඩ හිඳිනා ඇඳ ද පළමු කොට හූ ලණුවලින් වියවා ලා මධ්‍ය ය රන් කෙන්දෙන් වියවා ලා මොළොක නිසා මුඳුන පටහුයින් වියවූය. වැතිර වැඩ හිඳිනට සඳුන් දණ්ඩෙන් පිටාටුවකු ත් ගස්වා ලවා ලූ ය.
මෙසේ කුඤ්ජර ශාලාව නිමවා ලා කරවා නිමි පූජාව කරන තැනැත්තෝ බුදුන් ප්‍රධාන කොට ඇති එක් ලක්‍ෂ අට සැට දහසක් වහන්දෑට ආරාධනා කොට සාර මසක් මුළුල්ලෙහි මහ දන් දුන්හ. දන් දී නිමවන දවස් හැම දෙනා වහන්සේටම තුන් සිවුරට සෑහෙන ලෙස පිළී පිළිගැන්වූහ. හැම දෙනා වහන්සේට පැවිද්දෙන් බාල ව සිටි නම් ලත් සිවුරු පිළී දහසක් වට්ටි.
මෙසේ විදර්ශී බුදුන් සමයෙහි මේ පින්කම සැව දෙව්ලොව ත් මිනිස් ලොව ත් අගති ගමනක් නු වූ හෙයින් චුති ප්‍රතිසන්ධි වශයෙන් මිය ඉපැද ඇවිදිනාහු අනූ කපක් ගෙවා පියා මේ අපගේ බුදුන් බුදු වූ කප බරණැස් නුවර මහ සැපත් ඇති සිටුකුලයෙක ඉපැද බරණැස් සිටාණෝ ය යි ප්‍රසිද්ධ වූ ය. ඌ එක් දවසක් රජ්ජුරුවන් දක්නට යන්නෝ පෙරෙවි බමුණානන් අතුරු මඟදී දැක ‘කුමක් ද, ආචාරිනි, නකත් මොහොතක් බලා පරීක්ෂා කෙළේ ඇද්දැ’ යි විචාරා අනික් අප කරන්නේ කිම්ද? ඊට ම නියැලී ඉඳිනා බැවින් බලන්නමෝ වේ දැ’යි කී කල්හි රටට වන වැඩ අවැඩ කවරේ දැ’යි විචාළෝ ය. සෙසු කුමක් ද? එක් භයෙක් වෙ යි’ කියා ග්‍රහ විඝ්නයක් දැක දෝ කීහ. කුමන භයෙක් දැයි සිටාණන් විචාළ හෙයින් සායක් රටට වන නියා කිවු ය. කෙතෙක් කලින් දැ යි සිටාණන් විචාළ කල්හි තුන් හවුරුද්දකින් වන නියා ව කිවු ය.
සිටාණෝ ඒ අසා බොහෝ ගොවිතැනු ත් කරවා ඉනුත් ගෙයි ඇති වස්තු ත් වියදම් කොට ශාලි ව්රීහි ආදී ධාන්‍යයන් රැස්කරවා එක් දහස් දෙසිය පනසක් විතර බඬසල් වෙයි. කරවා ලා ඒ හැමයේ ම දෙ ලෙසින් එක් කළ වී පුරවා ලූය. බඬසල්වලට බොහෝ දෙය අවසර ව තිබෙන සැළි තාළි කළ කොතලා ආදියෙහි පුරවා පියා තව ත් බොහෝ හෙයින් බිම වළ ගස්වා පියා ලවා තව ත් බොහෝ හෙයින් ම මැටි හා එක් කොට හනා පිය භිත්තිවල ගස්වා පීහ.
තුන් හවුරුද්ද පලා ගොසින් සාය අවුත් වන් කල්හි නියඟ තද හෙයින් ගොයම් කිරීම් නැති ව අඩුව[2] පුරා සම්භ වන වී සාල් නැති ව රැස් කොට තුබූ වී සාල් කන්ට පටන් ගෙන බඩසල් මුළුල්ලෙහි වී ත් නිමා සැළි වලන් ආදියෙහි තුබූ වී ත් නිමි කල්හි බත් කන අයත් බොහෝ හෙයින් බතුත් සපයා ගත නො හී පරිවාර කැඳවා ලා ‘තෙපි හැම දෙන පිළිවන් පිළිවන් තැනකට පලා ගොසින් ජීවත් ව ගෙන රට බත් ඇති කලට මා ළඟට එනු කැමැති කෙනෙක් නැඟී එව. ඊට ත් බාධා නැත. එනු නො කැමති කෙනකුන් අවමැනවැ යි නැත. ගිය ගිය තැන ම රඳන බව ය. සාය අවධියේ යවා පී හෙයින් නො ආව යි කියා අපි මුසුප්පු ත් නැතැ’යි කිවු ය. ඌ හැම ත් රඳා ජීවත් විය නො හැකි හෙයිනුත් සිටාණන්ගෙන් සම්මත ඇති හෙයිනු ත් පලා ගියහ.
සාය නො සලකා ස්වාමි පක්ෂපාත කම් ම තකා උන් ළඟ පුණ්ණ නම් කොල්ලණු කෙනෙක් ම රඳා පීහ. එ හෙයින් උන් හා සමග සිටාණෝ ය. සිටු දුවණියෝ ය, පුතණුවෝය. යේළණියෝ යයි පස් දෙනෙක් ම වූ ය. රැඳුණු පස් දෙන බිම වළ වල තුබූ වී ත් නිමී කල්හි මස් දවස් ගණනක් නො ව සාය තුන් හවුරුද්ද ම සිටි හෙයින් භිත්තිවල වී මුසු මැටි ත් සාරා වගුරුවා ගෙන මැටි තෙමා වී වෙන් කොට ගෙන ඉනු ත් යැපෙති. සිටාණන්ගේ ඇඹේණියෝ ද සායත් බලවත් ව මැටියෙහි තුබූ වීත් නිමා ගෙන යන්නා හිත්ති කැබැල්ලෙක තුබූ මැටි සුඟ සාරා වගුරුවා ගෙන තෙමා පියා ගරා පෙරා වී දෙ නැළියක් දුක සේ ලදින් එ ගෙම හෙයින් පෑර පියා සාල් නැළියක් ලදින් සාය සමයේ සොරුන් බොහෝ හෙයින් රැක තබනු නිසා කළයක ලා ලා පස් නො වදනා ලෙසට වසා ලා එළියේ තුබූවෝ ත් සොරුන් කළයේ නො නවත්නා හෙයින් බිම වළක් සාරා ලා පස් වසා තබා ලූහ.
සිටාණෝ ද රජ්ජුරුවන් දැක පියා අවුත් ‘සොඳුර, බඩ සා ය. කිසිවක් ඇද්දැ’යි විචාළෝ ය. උයි ත් සාල් නැළියක් පමණ ඇති හෙයින් නැතැ යි නො කියා ‘සාල් නැළියෙක් ඇතැ’යි කිවුය. ඒ කොයි දැ යි විචාළ කල්හි සොරුන් හැර ගනිති යි සිතා සඟව තබා ලූ නියා ව කිවු ය. ‘එ සේ වී නම් ඒ මෑත් කොට ගෙන පිසව යි කිවු ය. සිටු දුවණියෝ තමන් ඉතා ලෙටි පාට ව හෙයින් මේ සාල් නැළියෙන් උළු කැඳක් පිසම් නම් මනාව මනාව බැවින් දෙ වේලකට ඇත. බතක් පිසතො ත් අප පස් දෙනකු හෙයින් සෙස්සවුන් හැර මුන් වහන්සේ නො කන හෙයින් එක වේලකට මුත් නැත. විචාරා අදහස් ලෙසක් කරමි යි සිතා ‘කුමක් පිසම් දැ’යි විචාළෝ ය. සිටාණෝ ‘තොපගේ බලයෙන් රැක තබා ගත් මේ සාල් නැළි ය විනා අනික් ජීවනූපායක් නැත. මියන ගමන් බත් අනුභව කොට ම මියම්හ. බත් ම පිසව’යි විධාන කළහ. උයි ත් සාල් නැළියේ බත පිස ලා පසුව පමණ නො දැනෙන හෙයින් ආදි කොට ම කොටස් පසක් කොට බෙදා ලා සිටාණන්ට නිළ කළ කොටස තළියෙක ලා ලා ඉදිරියේ තබා ලූ ය.
ඒ වේලාට හිමවත ගඳමහන් පව්වෙහි නන්‍ද මූලක නම් ගල්ලෙණ වසන පසේ බුදු කෙනකුන් වහන්සේ සමවන් සමවතින් නැගි සේක. ඇතුළු සමවත දී සමවත් බලයෙන් බඩ සාය නො දැනෙයි. සමවතින් නැඟි කල ම ක්ෂුධාව බලවත් වෙයි. එ දවස් බතක් නොලදොත් ආහාර ක්‍ෂයින් මරණ වන හෙයින් ලබන තැනක් සලකා ම සිඟා වඩිනා සේක. එ දවස් ඔබට දන් දුන් කෙනෙක් සෙනෙවිරත් තනතුරු ආදියෙන් එක්තරා තනතුරකට පැමිණෙති. එ හෙයින් එ දවස් පසේ බුදුන් වහන්සේ ද දිවසින් ලොව බලන සේක් සියලු දඹදිව සාය ගැති වි ය. බරණැස සිටාණන්ගේ ගෙයි සාල් නැළියක් විතර බතක් පැසී තුබූයේ ය. බත් වන්නා මඳක් වුවත් ඇති ව තුබූ යේ වේ ද? සංග්‍රහ කිරීමට තරම් වූ සැදෑ සිත් කිම් දෝ හෝ’යි විමසා පස් දෙන ම සැදෑ ඇති නියාව ත් සංග්‍රහ කරන්ට බල ඇති නියාව ත් දැන ගැට වටු ගන්වා පාත්‍ර ය ත් පටවා ගෙන නිල් වූ ගුවන් කුසින් නිල් බිමෙක ලා ලන රන්වන් පට්ටිකාවක්[3] මෙන් වැඩ සිටාණන්ගේ ගෙයි දොරකඩ සිඟා සිටි සේක.
සිටාණෝ ද ඔබ දැක පහන් සිත් ඇති ව පෙර ත් කම් පල අදහා දනක් දී නු ලූ හෙයින් දෝ සායක් දුටුම්හ. මේ බත් සුඟ රැක පියා නම් එක දවසක් පමණ රැක පිය යි. මුන් වහන්සේට පිළි ගන්වා පීම් නම් පින් විෂයෙහි පවත්නා කුසල් ජවන් හෙයින් අසුරු සනකට සතර නැළි ගන්නා ලාස්සෙන් එක්සිය පනස් යාළ සතරමුණු අටලාස්සක් වී ඇට ගණනේ කුසල් ජවන් උපදනා හෙයින් දී ලන බත් සිඟිත්ත මඳ වුවත් කුසල් ජවන් බොහෝ වූ පමණින් නො එක් කප් කෙළ ගණනෙහි ලොවී සම්පත් සාදා දී ලා කෙළවර ලොවුතුරා සැපතු ත් සාධා දී ල යි සිතා බත් තලි ය ඉවත් කොට තබා ලා පසේ බුදුන් කරා ගොසින් පසඟ පිහිටුවා වැඳලා ගෙට වඩා ගෙන ගොසින් ඒ බත් තළි ය හැරගෙන පසේ බුදුන්ගේ පාත්‍රයට පිළිගන්වන්ට වන්හ. භාගයෙනු ත් භාගයක් විතර පිළිගන්වා ලූ කලට පසේ බුදුහු අතින් පාත්‍රය වසා ගත් සේක. ‘ස්වාමීනි, මේ බත් සුඟ නම් සාල් නැළියේ බත් පස් කොටසක් කළායෙන් එක් කොටසෙක. මේ දෙකක් කරන්ට නො පිළිවන. කරන සංග්‍රහයක් පරලොවින් මුත් මෙ ලොවින් නොකැමත්තේ ය. සුඟකුත් නො රඳවා පිළිගන්වනු කැමැත්තෙමි’ කියා ලා තමන් ලත් කොටස පිළිගන්වා පීහ.
පිළිගන්වා ලා ‘ස්වාමීනි, මේ ජාතියේ පටන් නිවන් දක්නා ජාති දක්වා මෙසේ වූ සායකුත් නො දකිම්ව’යි මෙවක් පටන් දඹදිව වැස්සන්ට බත් බිජුවටත් දිය හෙම්ව යි. සිය අතින් කර්‍මාන්තයකුත් නො කෙරෙම්ව යි. එක් දහස් දෙසිය පනසක් විතර බඬ සල් අවසර කරවා ලා ඉස් සෝධා නා පියා බඬ සල් දොරකඩ හිඳ සිස් වූ ආස බලන්නා ම අදහස නො සිස් ව රත්හැල් වී කඳු අවුදින් සිස් ව තුබූ බඬ සල් පුරා ලව යි. උපනුපන් තැන මෙම සිටු දුවණියෝ අඹු වෙත්ව යි. මෙම පුතණුවෝ පුත් වෙත්ව යි. මෙම යේළණියෝ යේළි වෙත්ව’යි මෙම කොල්ලණුවෝ කොලු වෙත්ව’යි කියා ලා පතා ගත්හ. දී පියන දන් ස්වල්ප වුව ත් පතා ලූ පැතීම් සුඟ නො වී ය.
සිටු දුවණියෝ තමන් ලත් බත් කොටසත් පසේ බුදුන්ට පිළිගන්වා ලා ‘නිවන් දක්නා ජාති දක්වා සායකුත් නො දකිම් ව යි, සාල් දෙ නැළියක් විතර පැසෙන සැළි ගැටෙකින් බතක් පිස තබා ගෙන දඹදිව වැස්සන් මුළුල්ලට බත් බෙදා දෙත ත් යම් තාක් නැඟී නො සිටිම් ද ඒ තාක් සැළියේ බත් නො ගෙව් ව යි, උපනුපන් ජාතියෙහි මේ සිටාණන් වහන්සේ ම මට ස්වාමි වන සේක් ව යි, මේ පුතණුවෝ පුත් වෙත් ව යි, මෙ ම යේළණියෝ යේළි වෙත් ව යි, මෙ ම කොල්ලණුවෝ කොලු වෙත් ව’යි පතා ගත්හ.
පුතණුවෝ ද තමන් ලත් බත් කොටස ත් පසේ බුදුන්ට පිළි ගන්වා ලා ‘මෙ වක් පටන් මෙ සේ වූ සායකුත් නො දකිම්ව’ යි දහසින් බඳ පියල්ලක් හැර ගෙන දඹදිව් වැස්සන්ට රන් බෙදා දෙතත් පියල්ල අඩු නො වේව’යි නිවන් දක්නා ජාති දක්වා මෙම දෙමවුපියෝ ම දෙමවුපියෝ වෙත්ව යි, මෙම ඇඹේණියෝ අඹු වෙත්ව යි, මෙම කොල්ලණුවෝ කොලු වෙත්ව’යි පතා ගත්හ.
යේළණියෝ ද තමන් ලත් බත් කොටසත් පසේ බුදුන්ට පිළිගන්වා ලා ‘මෙ වක් පටන් මෙ සේ වූ සායකු ත් නොදකිම් ව යි, තිඹක් පල්ලාසක් විතර වී ගන්නා වී පෙට්ටියක් ඉදිරියේ තබා ගෙන සියලු දඹදිව් වැස්සන්ට බත් බිජුවට බෙදා දෙතත් පෙට්ටි ය අඩු නො වේව’යි කියා පතා ගත්හ. නැවත එවක නැදි මයිලන් ම නැදි මයිලන් වන්ට හා එවක ස්වාමි වූ සිටු පුත්‍රයන් ස්වාමි වන ලෙසට පතා ගත්හ.
කොල්ලණුවෝ ද තමන් ලත් බත් කොටසත් පසේ බුදුන්ට පිළිගන්වා ලා ‘මෙ වක් පටන් මෙ සේ වූ සායකුත් නො දකිම් ව යි, සීයක් සෙම් නම් මෑතින් හී විටි තුනක් හා ඈතින් හී විටි තුනක් හා මධ්‍යයෙන් හී විටක් හා එක් දඬු ඔරු සා හී විටි සතෙක් එක විට යේව’යි පතා ගත්හ. ඌ එ දවස් කැමැත්තොත් සෙනෙවි රත් තනතුරක් වත් ලබන්ට නිසි ව ස්වාමි දරුවන් කෙරෙහි කළ ස්නේහයෙන් ‘මේ ස්වාමි දරුවෝ ම ජාති ජාතියෙහිම ස්වාමි දරු වෙත්ව’යි පතා ගත්හ.
පසේ බුදුහු ද ඒ හැම දෙනාගේ ප්‍රාර්ථනා කෙළවර ‘ඒ එ සේම වේව’යි වදාරා ප්‍රත්‍යෙක බුද්ධ ගාථාවෙන් අන්මෙවුනි කොට ලා ‛යන ගමනිනු ත් හැම දෙනාගේ සිත පහදලුව මනා වේ දැ’යි සිතා මෙ තැන පටන් ගඳ මහන් පවුව දක්වා යන්නා වූ මා මොහු බල බලා සිටිත්ව’යි ඉටා ලා වැඩ පී සේක. උයිත් ඔබගේ ඉටන් බෙලෙන් බල බලාම සිටියහ. උන් වහන්සේ ත් වැඩ සාල් නැළියේ බත් පන්සියක් පසේ බුදුවරුන් වහන්සේ හා සමඟ බෙදා වැළඳූ සේක. ඒ බත සුඟ වුව ත් උන් වහන්සේගේ ආනුභාව ය නුසුඟ බැවින් හැම තැනට ම සෑහිණ. ඔහු පස් දෙනා බෙදා වළඳන නියාව බල බලා සිටියහ.
හිර මුඳුනෙන් ගැළවූ කලට සිටු දුවණියෝ ද සැළි ය සෝධා පියා මලාවෙකින් වසා තබා ලූ ය. සිටාණෝ ද බඩ සාය බලවත් හෙයින් වැද හෙව නිඳා පියා සවස පිබිද ඇඹේණියන්ට ‘බඩ සාය දැඩි ය. බත් පිසූ සැළි පල්ලේ දමු කඩ ඇද්දැ’යි කිවු ය. සිටු දුවණියෝ සැළි ය සෝධා තිබූ නියා දැන ත් නැතැ යි නො කියා මලාව හැර ලා ම හඟවමී’ නැඟී සිට සැළි ය කරා ගොසින් වසා ලූ මලාව හැර ලූ ය. ඒ ඇසිල්ලෙහි ම තුඹ මල් රැසක් වැනි වූ බතින් සැළිය පිරී වසා ලු මලාවත් උපුල්වා ගෙන සිටියේය.
උයි ත් ඒ දැක ප්‍රීතීන් පිනා ගොසින් සිටාණන්ට ‘ස්වාමීනි, නැඟී සිටිය මැනව. මම වැළි ත් බත් පිසූ සැළිය සෝධා පියා වසා ලා තබා ලීමි. දැන් ඒ සැළි ය තුඹ මල් රැසක් වැනි වූ බතින් පිරී තිබිණ. පින් නම් නො මැළි ව කළමනා දෙයක. තමාට නැතත් දන් නම් දිය යුතු දෙයෙක. දන් දීමෙහි විපාක ඔබ්බෙන් අසා දත මැනැවැ’යි නැති ව අපි ම ඇස දුටුම්හ. නැඟී සිට බත් අනුභව කළ මැනැවැ’යි කියා ලා දෙ පුතු පියන්ට බත් ලා ලූ ය. උන් බත් කා නැඟී සිටි කලට යේළණියන් හා එක් ව වැද හිඳ බත් කා ලා ඉඳුල් බත්[4] පුණ්ණ නම් කොල්ලණුවන්ට දුන්හ.
සැළියේ බතුත් උතුරුකුරු දිව සාල් නැළියෙක බත සේ නො ගෙවෙයි. එ දවස් ම එක් දහස් දෙ සිය පනසක් විතර බඩසලු ත් රත් හැලින් පිරිණ. සැලි වළන් ආදිය ත් ආදි පිරුණා සේ පිරිණ. සිටාණෝ ද ‘අපගේ ගෙයි බත් ඇති වි ය. බත් බිජු වටින් ප්‍රයෝජන ඇති කෙනකුන් අවුත් හැර ගත මැනැවැ’යි නුවර විධාන කැර වූ ය. නුවර වැස්සෝද උන් හෙන් බත් බිජුවට ලත්හ. නුවර වැස්සන් තබා සියලු දඹදිව් වැස්සෝ ත් සිටාණන් නිසා බත් බිජුවට ලත්හ. එවක් පටන් සිටාණන් ගේ කුශල මහිමයෙන් රට සාය ත් නැති වි ය.
සිටාණෝ ද ආයු පමණින් සිට ලා එයින් චුත ව දෙව් ලෝ මිනිස් ලෝ දෙක්හි චුති ප්‍රතිසන්ධි වශයෙන් හැසිරෙන්නෝ මේ අපගේ බුදුන් සමයෙහි භද්දිය නුවර සිටු කුලයෙක උපන්හ. සිටු දුවණියෝද මහ සම්පත් ඇති සිටු කුලයක ඉපැද වැඩි විය පැමිණ මැඬ මහා සිටාණන්ට ම සරණ අවු ය. ඒ සිටාණන් කුඤ්ජර ශාලාව කරවා ලූ පින් කම නිසා ගේ පිටි පස්සෙහි රන් එළුවෝ පහළ වූහ. කරවන එවක පුතණුවෝ දැනු ත් පුත් වූහ. යේළියෝ යේළි ම වූහ. කොල්ලණුවෝ කොලු වූහ.
එක් දවසක් සිටාණෝ තමන් කළ කුශලයෙහි විපාක විමසනු කැමැති ව එක් දහස් දෙ සිය පනසක් විතර බඬ සල් අවසර කර වා ලා තුමූ ඉස් සෝධා නා පියා බඬ සල් ළඟ හිඳ ආස බලා ලූ ය. රත් හැල් වී කඳු අවුදින් බඬ සල් පුරවා ලී ය. සිටාණෝ සිටු දුවණියන්ට ත්, පුතණුවන්ට ත්, යේළණියන්ට ත්, කොල්ලණුවන්ටත් තමන් විමසූ ලෙස ම විමසන්ට විධාන කළහ. විධාන ලදින් සිටු දුවණියෝ ආභරණ ලා සැරහී ගෙන බොහෝ දෙනා බල බලා සිටිය දී සාල් දෙ නැළියක් මන්වා පියා ඉන් බත් පිසවා ලා දොරටුවේ පුටුවක් ලවා ගෙන හිඳ රන් කෙණෙස්සක් හැර ගෙන ‘බත් කනු කැමැති කෙනෙක් අව මැනැවැ’යි විධාන කරවා ලා ආ ආවුන් ගෙන ගෙනා වළන් පුර පුරා දෙති. දවස මුළුල්ලේ බත් බෙදා දීත් සැළියේ බත් අඩු වන්ට නැත.
උන් තමන් සසර සිටිනා කල බුදු පාමොක් මහ සඟනට වමතින් මලාව හා දකුණතින් සැන්ද හැර ගෙන පාත්‍ර ය පුරා බත් පිළිගැන්වූ හෙයින් වමත්ල පුරා ගෙන පියුම් ලකුණෙක් උපන. දකුණු අත්ල පුරා ගෙන සඳ ලකුණක් උපන. කෙණ්ඩිකා ඩබරා ආදි ය හැර ගෙන පැන් ඇති තැනට ගොසින් පැන් පරහා දීම් ආදි වූ මෙහෙවර කළ හෙයින් දකුණු පත්ල පුරා ගෙන සඳ ලකුණ උපන. වම් පත්ල පුරා ගෙන පියුම් ලකුණ උපන. එහෙයින් ඌ තුමූ චන්දපදුමා නම් වූහ.
උන්ගේ පුතණුවෝත් ඉස්සෝධා නා පියා දහසින් බඳ පියල් ලක්හැර ගෙන ‘රන් වුව මනා කෙනකුන් අව මැනැවැ’යි කියාලා ආ ආවුන්ට බෙදා දී සවස නැගී සිටිනා වේලාට මසු දහසින් මස්ස කු ත් අඩු නො වීය. යේළණියෝ ද සව් බරණ ලා සැරහී ගෙන වී පෙට්ටියක් හැර ගෙන දොර මිදුලේ වැද හිඳ බත් බිජු වට කැමැත්තවුන් රැස් කරවා ලා ආ ආවුන්ට ගෙනා ගෙනා වළන් පුරා දුන්හ. සවස නැඟී සිටින වේලාට පෙට්ටිය පිරුණු වන ම තුබූයේ ය. කොල්ලණුවෝ ද තමන් පළඳනට නිසි ආභරණ ලා සැරහී ගෙන රන් වියයේ රන් රෑනින් ගොන් යොදා ගෙන රන් කැවිටක් හැර ගෙන ගොන් ඇඟ සුවඳ පස’ඟුල් දී ලා හං සතරේ රන් කුප්පි බහා ලා කුඹුරට ගොසින් සීයට පටන් ගත්හ. දෙ ඇළයෙන් තුන තුන හා මැදින් එකක් හා හී විටි සතෙක් එක් දඬු ඔරු සා ව යෙයි. දඹදිව් වැස්සෝ බත් බිජු වට ආදිය ත් රත්රන් ආදිය ත් සිටාණන් ගෙන් ම ගෙන යන්නාහ.
මෙණ්ඩක මහ සිටාණෝ ද බුදුන් එ නුවරට වැඩි නියාව අසා පෙර ගමන් කොට නික්මුණු තැනැත්තෝ අතුරු මග දී නිවටුන් නො එක් වාහකුල් කියා බුදුන් කරා ගමනට බාධා කොට කීව ත් උන් හැම දෙනා කරන වාහකුලට ත් වඩාකුශල කර්‍මයාණන්ගේ පැරැත්ත ය බලී හෙයින් නො නැවත ගොසින් බුදුන් වැඳ එකත් පස් ව හුන්හ. බුදුහු ත් නො නැවත ආ ලෙසට ප්‍රසාදයක් දෙන්නා සේ බණ වදාළ සේක. බණ අසා සෝවාන් වීමෙන් අපායට යන ගමන නැවැත්තා සේ ම තමන් බුදුන් කරා එන ගමනත් නිවටුන් නවතන්ට උත්සාහ කළ නියාව කිවු ය.
බුදුහු ඒ අසා වදාරා ‛සිටාණෙනි, අනුන්ගේ මඳ වරදෙක් ඇත් නමුත් ඒ සුව සේ ම පෙනී යෙයි. හබ ඇට විතරට කුඩා වුවත් මහ මෙර විතරට ත් මහත් ව පෙනෙයි. තමාගේ මහ මෙර විතරට ත් මහා වරදක් වුවත් පරමාණුවක් විතරට ත් ඒ නො පෙනෙයි. අනුන්ගේ කුඩා වූ වරද මහත් කොට දැක ත් එ විතරෙකින් රඳා පූවොත් යහපත් වේද එසේ නොකොට උස් තැනෙක සිට රොඩු පොළා නඟන්නා සේ ඒ ඒ තැන කියා ඇවිදිති. තමන්ගේ මහත් වරදක් වුව ත් සීනෙන් සැඟවෙන්නා සේ බළලුන් ඇස පියා ගෙන දී කන්නා සේ පරලොව නො සැඟවෙත ත් පක්‍ෂි වැද්දහු කැළයෙකැ යි අවුත් හිඳිනා ලෙසට කොළ කැළවලින් තමාගේ ශරීර ය වසන්නා සේ සඟවතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටුහ.
එ හෙයින් සත් පුරුෂයන් විසින් තම තමන්ගේ ඇති නුගුණ සැඟවීමෙන් හා අනුන්ගේ ඇති නුගුණ ප්‍රකාශ කිරීමෙන් හා සිද්ධ වන වියවුල් නො වැද්ද දී කුශල්හි ම හැසිර ලොවී ලොව්තුරු සැපත් සිද්ධ කට යුතු.