201. උපාසකවරුන් පස්දෙනකුගේ වස්තුව

star_outline

තව ද එකඟ සිතින් යහපත් කොට බණ අසා ගැන්මෙහි යහපත දක්වනු සඳහා උපාසකවරුන් පස්දෙනකුගේ වස්තුව කියමු.

කෙසේද යත් -

ඒ උපාසකවරු පස් දෙන බණ අසනු කැමැති ව විහාරයට ගොසින් බුදුන් වැඳ ගෙන එකත් පස්ව හුන්හ. සර්වඥවරයන්ටද ‘මූ රජ දරුවෝ ය, මූ බ්‍රාහ්මණයෝ ය, මූ පෝසත්තු ය, මූ දුප්පත්තු ය, මුන්ට බණ වඩා කියමි. මුන්ට අඩු කොට කියමි” යන අදහස් උපදනට නැත. කවරත් කෙනකුන් අරභයා බණ වදාරන කළ වදාරන බණ පොහොසතුන් කරා පැමිණ පෝසත් වීමක් හෝ දුක්පතුන් කරා පැමිණ දුක්පත් වීමක් හෝ නැති බැවින් ධර්‍ම ය තෙමේ එක තරම් මය. එහෙයින් ධර්‍ම ගෞරවය පෙරදැරි කොට ආකාශ ගංගා ව බිමට බානාක් මෙන් අති විස්තර කොට දෙසන සේක. එ සේ බණ වදාරන බුදුන් ළඟ හිඳ බණ අසන පස් දෙනාගෙන් එක් කෙනෙක් බණ ඇසීමෙහි තර අදහසක් නැති බැවින් හිඳ ම නිදන්නාහු ය. එක් කෙනෙක් ඇඟිල්ලෙන් බිම හිරි හැඳ හැඳ හුන්හ. එක් කෙනෙක් ළඟ සිටි ගසෙක අත්තක් සොලව සොලවා හුන්හ. එක් කෙනෙක් බණ එන අත් බලන්නා සේ ආස බල බලා හුන්හ. එක් කෙනෙක් ගිය වේලෙහි පටන් අසන්ට ගිය බණ හෙයින් වික්‍ෂෙප රහිත ව සකසා බණ ඇසූය.

අනඳ මහ තෙරුන් වහන්සේ බුදුන්ට පත් සල සලා සිටි සේක් උන් පස් දෙනාගේ ම බණ අසා ගන්නා සැටි ය දැක ‘ස්වාමීනි, මුඹ වහන්සේ මුන් පස් දෙනකු හෙයින් පර්‍ෂ ත් මඳ වේ දැ’යි නොසිතා සතර මහ දිවයින එක පැහැර වස්තා වැස්සක් මෙන් බණ දෙසන සේක. මූ පස් දෙන මුඹ වහන්සේ මෙ ලෙස බණ වදාරත ත් එක් කෙනෙක් රෑ නිඳි නොලද්දා සේ නිඳ නිඳා හිඳිති. එක් කෙනෙක් ඇසු ඇසූ බණ වැල්ලේ ලියා සිතට නඟන්නා සේ බිම හිරි හැඳ හැඳ හිඳිති. එක් කෙනෙක් වල් ව ගිය කෙනකුන් තමන් හුන් නියාව හඟවන්ට අතු පතු සොලවන්නා සේ අත්තක් සොලව සොලවා හිඳිති. එක් කෙනෙක් නකත් තරු බලන්නා සේ අහස බල බලා හිඳිති. එක් කෙනෙක් කන් යොමු කොට සකස් කොට ම අසතී’ වදාළ සේක.

බුදුහු ඒ අසා ‘ආනන්‍දයෙනි, තොපි මුන් හැම දනු දැ’ යි විචාළ සේක. ‘නොදනිමි, ස්වාමීනි’ කී කල්හි ‘හෙම්බා මුන් හැම දෙනා ගෙන් යමෙක් තෙමේ අසන බණ තබා ලා නිඳා නම් ඒ තෙමේ සියක් ජාතියෙහි සර්‍පව ඉපැද දරණ ගබ හිස තබා නිඳි ය. දැනු ත් මූට නිඳීමෙන් රිසි යෑමෙක් නැත. එ හෙයින් මාගේ බණ මූ කන හෙන්ට නැතැ’යි වදාළ සේක. අනඳ මහ තෙරුන් වහන්සේ ‘ස්වාමීනි, ඒ සර්ප ව උපන් ජාති පන්සියය පන්තීන් වදාළ නියා ද? නොහොත් අතරතුරෙක උපන් ජාති ගෙන වදාළ නියා දැ’ යි විචාළ සේක. ‘ආනන්‍දයෙනි, මූ කලෙක මිනිස් ලොව හා කලෙක දේවතාව හා කලෙක නාගව උපන් කල්හි නාග ව උපන් ජාති ගෙන කියතොත් එසේ නාගව උපන් ඡාති බුදු නුවණිනුත් පිරිසිඳ දත නොහැක්ක. පිළිවෙළින් ම පන් සියයක් ජාතියෙහි නාග ව ඉපැද තර ව නිඳූ හෙයින් දැනුත් නිඳන්ට සුරු ය’යි වදාළ සේක.

ඔහු බණ අස අසා හිඳ නිඳීමට කාරණ ය වදාරා ලා ඇඟිල්ලෙන් බිම හිරි හැඳ හැඳ උන් තැනැත්තේ පිට පිට හෙළා පන්සියයක් ජාතියෙහි ගැඩවුල් ව ඉපැද යන එන ගමනේ බිම හිරි හැඳ දැනුත් ඒ අභ්‍යාසයට බිම හිරි ඇඳීම් පමණක් මුත් උයි ත් අසන බණෙක් නැත. අත්ත සොලව සොලවා හුන් තැනැත්තේ ද පිළිවෙළින් ජාති පන් සියයෙක වඳුරු ව උපන. දැනුත් පෙර පුරුද්දට අතු පත් සොලව සොලවා හිඳී. අත්ත සෙලවුණු හඬ අසත් මුත් මා කියන බණින් ඌ කන හෙන දෙයෙක් නැත. ආස බල බලා හුන් බමුණු ද පිට පිට හෙළා පන්සියයක් ජාතියෙහි නැකැතිව උපන. ඒ ඒ ජාතිවල නකත් තරු බල බලා පුරුදු හෙයින්ද අදත් ආසම බලයි. මා කියන බණින් ඌට ඇසෙන දෙයෙක් නැත. එ හෙයින් ඇළ අශුද්ධ කලට කුඹුරට වදනා දියක් නැත්තා සේ උන් හැම දෙනා ගේ ත් ක්‍රියා නමැති ඇළ නපුරුව අදහස් නමැති කුඹුරුවලට සදහම් නමැති පැන් වදිනට නොවීය. තෙල යහපත් කොට බණ අසන තැනැත්තේ පිට පිට හෙළා පන්සියයක් ජාතියෙහි වෙද මන්ත්‍ර හදාරන බ්‍රාහ්මණ ව උපන්හ. දැනුත් මන්ත්‍ර සමන්නා කෙනකුන් මෙන් සකස් කොට බණ අසති’යි වදාළ සේක.

‘ස්වාමීනි, මුඹ වහන්සේ වදාරන බණ නම් සිත හෙළා අසන්නවුන්ට තුනු ඡවියත් බොල ඡවියත් මසු ත් නහර ත් ඇට ත් වැද ගෙන ගොසින් ඇට මිදුලේ පැහැර සිටිනට ඇත. මොහු සතර දෙන කුමක් නිසා සිත හෙළා නො ඇසුණැ’යි විචාළ සේක. ‘ආනන්‍දයෙනි, අපගේ ධර්‍ම ය අසන්ට හැම දෙනාට පිළිවන්දැ’යි වදාළ සේක. ‘හැයි, ස්වාමීනි, අසන්ට බැරි සැටිත් ඇද්දැ’යි විචාළ සේක. එසේය’යි වදාළ කල්හි ‘කුමක් නිසා දැ’යි විචාළ සේක. ‘ආනන්‍දයෙනි, තුනුරුවන් නම් පමණකු ත් ලක්‍ෂ ගණන් කප්වල මේ සත්‍වයන් ඇසූ විරූ නැත. එහෙයින් අනභ්‍යාස හෙයින් මේ ධර්‍මය අසන්ට සිත් පමණකුත් හට නොගන්නී බුදු නුවණිනු ත් නොදත හැකි අක් මුල් නැති සසර මේ සත්තු සග මොකට ඩහක් රාම-ශීතාදි කථා ම අසා පුරුද්දෝය. එ හෙයින් කෙළි මඬුලු ආදියෙහි පිරෙන පිනක් නැතත් නටා ගී කියා ඇවිදිති. ගෙයි පටන් බණ අසන්ට ම නියැලී ගොසින් අසන බණ තබා කෙළි ලළුයෙන් දවස් යවති. එ බඳු යහපත් අදහස් පමණෙකු ත් නැතැ’යි වදාළ සේක.

වදාරා ලා එ බඳු අදහස් නැති වන්ට කාරණ වදාරණ සේක් ‘ආනන්දයෙනි, රා දොස් ඈ කෙලෙසුන් නිසා සත්‍වයන්ට එ බඳු අදහස් ඇති නොවෙයි. කල්ප විනාශ කාලයෙහි සත් හිර පහළ වීම නිසා උපන්නා වූ කප ගින්නත් දැවුව මනා දෙයින් කිසිවකුත් නො තබා දවයි. එතකුදු වුවත් ඒ ගින්න කිසි කලෙක දවයි. රාග නමැති ගින්න නො දවන කලෙක් නැත. එ හෙයින් දුමුත් නො දක්වා අඟුරු ත් ඇති නොකොට ශරීර ය ඇතුළත ම ඇති ව දැවීමෙන් රාග ය වැනි වූ ගින්නකු ත් නැත. යක්-පිඹුරු-කිඹුල් ආදීහු හැම කල්ම ඇල්විය නොහෙන්නෝ වෙති. ද්වේෂය තෙමේ යම්තාක් ප්‍රහීණ නො වී නම් හැම කල් ම අල්වයි. එහෙයින් ද්වේෂ ය වැනි වූ අපායෙහි හෙළීමට තර ව අල්වන කෙනකුත් නැත. නැවත ඉස වසා අවුල් ව හී මෙන් මෝහ ය වැනි වූ දැළෙකුත් නැත. ගං වැව් ආදිය පිරී තිබෙන කලු ත් අඩු ව තිබෙන කලු ත් වියළී තිබෙන කලුත් පෙනෙයි. තෘෂ්ණා නමැති ගඟ පිරුණු කලක් වේව යි, වියළුණු කලක් වේව යි, රහත් මඟින් නැසෙන තැන් දක්වා පෙනෙන්ට නැත. නිරන්තරයෙන් අඩුව ම පෙනෙන හෙයින් පුරා ලිය නොහැකි වීමෙන් තෘෂ්ණාව වැනි වූ ගඟකු ත් නැතැ’යි වදාළ සේක.

දේශනා කෙළවර සකස් කොට බණ ඇසූ උපාසකයෝ සෝවාන් වූහ. තවත් පැමිණි යම් කෙනකුන්ට මේ දේශනාව සප්‍රයෝජන වි ය.

එහෙයින් නුවණැත්තවුන් විසින් රාගාදි කෙලෙසුන් තදඞ්ගාදී වශයෙන් නසා ශීල සංරක්‍ෂණා දී වූ සුචරිතයෙහි හැසිර භවක්‍ෂයට උත්සාහ කටයුතු.