200. තිස්ස නම් ලදරු භික්ෂුන් ගේ වස්තුව

star_outline

තවද ප්‍රශංසා කටයුත්තට අප්‍රශංසා කිරීමෙහි නපුර හඟවන්ට තිස්ස නම් ලදරු භික්ෂූන්දෑගේ වස්තුව කියමු.

කෙසේ ද යත් -

ඒ භික්ෂූන්දෑ අනාථපිණ්ඩික සිටාණන් දෙන දනට ද, විශාඛාවන් දෙන දනට ද, සෙසු සෙස්සන් දෙන දනට ද, සෙස්සවුන් තබා කොසොල් රජ්ජුරුවන් දුන් අසදිස මහ දනට ද නින්‍දා ම කරන දෑය. කෙලෙස නින්දා කරන දෑ ද යත් - ඒ ඒ දෙනා දන් දෙන තැනින් ඇල් දෙයක් ලදොත් ඇලැ’ යි කියා දොඩන දෑ ය. හුණු දෙයක් ලදොත් හුණු යයි කියා දොඩන දෑ ය. මඳ කොට දුන්නු නම් ‘මෙ සේ දෙන දන් නො දී තබා පූ කල නපුරු උන් දුන් දන් පමණෙක. අප වැළඳූ පමණෙක. උන්ගේ දීම ත් උදාරතර නො වී ය. අපගේ වැළඳීමත් බොහෝ නොවී ය’යි දොඩන දෑ ය. දන් බොහෝ කොට දුන්නු නම් ‘මුන්ගේ ගෙයි තබා ලන්ට අවසරයක් නැති සැටි ය. වහන්දෑට නම් යපෙන පමණක් දිය යුතු වේ ද ? මෙ තෙක් කැඳ බත් නිෂ්ප්‍රයෝජන ව අපවත් වී ය’යි දොඩන සේක. තමන්ගේ නෑයන් දී ලන කොට ලන දෙයක් නැතත් ‘අනේ අපගේ නෑයන්ගේ ගෙවල් නම් සතර දිගින් ආ වහන්දෑට පැන් ලිඳක් හා සරි ය” යනාදීන් කියා ප්‍රශංසා කරන දෑය.

උන්දෑ තමා මුලින් කවුරුද යත් - එක් නුවරෙක වාසල සිටිනා කෙනකුන්ගේ පුතණුවෝ ය. දනවුවල ඇවිදිනා වඩුවන් හා එක්ව සැවැත් නුවරට අවුදින් මහණ වූ දෑ ය.

වහන්දෑ ද දන් දෙන්නවුන්ට මෙ සේ දොඩා ඇවිදිනා නියාව දැක ‘මුන් තමන්ගේ නෑයන් උසස් කොට අනුන්ට හෙළා දොඩන නියාව කුමක් සේ දෝ හෝ යි පරීක්‍ෂා කරම්හ’යි සිතා ‘ඇවැත්නි, තොපගේ නෑයෝ කොයි දැ’යි විචාරා ‘අසවල් ගමය’ යනු අසා නෑයන්ගේ තරම් විමසන්ට බාල වහන්දෑ කීප නමක් යවූ සේක. ඒ වහන්දෑ ද ඒ ගමට ගොසින් ගම ඇත්තවුන්ගෙන් කැඳින් බතින් සාද විඳ ගෙන ‘මේ ගමින් නික්ම මහණ වූ තිස්ස නම් කෙනෙක් ඇද්ද? උන්ගේ නෑයෝ කවුරු දැ’යි විචාළ සේක. මිනිස්සු ද ඒ අසා ‘මේ ගම කුල දරු කෙනකුන්ගෙන් මහණ වූ කෙනෙක් නැත. කවුරුන් අරභයා වදාරන නියා දෝ හෝ යි සිතා ‘ස්වාමීනි, මේ ගම ප්‍රසිද්ධ කෙනකුන්ගෙන් මහණ වූ කෙනෙක් නැත. වාසල බලන තැනැත්තවුන්ගේ පුතකු වඩුවන් හා එක් ව පලා ගොසින් මහණ වුව යි ඇසුම්හ’යි කියා ලා ‘ඒ සඳහා වදාරන නියා වනැ’යි කීහ.

විමසනු නිසා ගිය වහන්දෑ ද කියා ලූ ලෙසට උන්දෑගේ ඒ ගම එ බඳු පොහොසත් නෑ කෙනකුන් නැති නියාව සැවැත් නුවරට ගොසින් ‘ස්වාමීනි, මූ තුමූ නිකම් ම දොඩා ඇවිදිතී’ සියලු පවත වහන්දෑට කී සේක. වහන්දෑ ද එ පවත් බුදුන්ට දැන් වූ සේක. බුදුහු ද ‘හෙම්බා මහණෙනි; තුමූ තෙල ලෙස දොඩා ඇවිදින්නේ දැන් මතු නොවෙයි. පෙරත් දොඩා ම ඇවිද්ද, ඒ දෙඩීම නිසා මෙ පරිද්දෙන් ම නින්දා පරිභව ත් ලදැ’යි වදාරා -

‘බහුම්පි සො විකත්‍ථෙය්‍ය - අඤ්ඤං ජනපදං ගතො’

යනාදීන් කටාහ ජාතක ය විස්තර කොට වදාරා ‘මහණෙනි, යම් කෙනෙක් අනුන් මඳ කොට වේව යි බොහෝ කොට වේව යි, නපුරුකොට වේව යි, යහපත් කොට වේව යි, දුන් කල්හි ත් නො හොත් සෙස්සවුන්ට දී තමන්ට නුදුන් කල්හි ත් මුසුප්පු වෙත් ද, උන්ට ලෞකික විෂයෙන් ධ්‍යානයෙක් වත් ලොවුතුරා විෂයෙන් මාර්‍ග ඵලයෙක්වත් නූපදවන්නේ ය’යි වදාරා බණ වදාරන බුදුහු සත්‍වයන් මඳ කොට වුවත්, බොහෝ කොට වුවත්, නපුරු කොට වුවත්, යහපත් කොට වුවත්, ස්ථවිර නවක මද්ධ්‍යමයන් කෙරෙහි සිත පහදවා ගෙන පහන් ලෙසින් සැදෑ සිත් ඇති ව දන් දෙත් නම් එසේ අනුන් දෙන දෙයෙහි සිත පහදවා ගත නො හී යම් කෙනෙක් මුසුප්පු වෙත්ද, ඌ තුමූ රෑ වුව ත්, දාවල් වුවත්, උපචාර වශයෙන් වුවත්, අර්පණා වශයෙන් වුවත්, මාර්‍ග වශයෙන් වුවත්, මාර්‍ග ඵල වශයෙන් වුවත්, සිත එකඟ වීමකට නොපැමිණෙති. යම් කෙනකුන්ට රහත් මගින් එ හැම මුලින්ම නසන ලද්දේ වී නම් ඔහු ලොවී ලොවුතුරා ගුණ විශේෂයට පැමිණෙතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් තමාගෙන් දී ලන කොට ලන දෙයෙක් නැතත් අනුන් කරන දෙයෙහි සිත පැහැදවීම් පමණකුත් කොට එයින් ජනිත වූ කුශලානුභාවයෙන් භව සැපත් වළඳා කෙළවර නිවන් සම්පත් අත් කටයුතු.