199. පන්සියයක් උපාසකවරුන්ගේ වස්තුව

star_outline

තව ද පඤ්චශීල සංරක්‍ෂණයෙහි අනුසස් දක්වන්ට පන්සියයක් උපාසකවරුන්ගේ වස්තුව කියමු.

කෙසේද යත් -

ඒ පන්සියයක් උපාසකවරුන් අතුරෙන් සමහර කෙනෙක් පණිවායෙන් වැළක වෙසෙති. සමහර කෙනෙක් අයිනාදනින් වැළක වෙසෙති. සමහර කෙනෙක් පරදාරයෙන් වැළක වෙසෙති. සමහර කෙනෙක් බොරු කීමෙන් වැළක වෙසෙති. සමහර කෙනෙක් රා පීමෙන් වැළක වෙසෙති. ඌ එක් දවසක් අප ම කරන දෑ යහපත, අප ම කරන දෑ යහපතැ’යි විවාද කොට ගෙන සනිටුහන් කොට ගත නො හී බුදුන් කරා ගොසින් එ පවත් දැන් වූ ය. බුදුහු ත් උන්ගේ කථා අසා එකක් එකකට අඩු නො කොට හැම ම රැක්ක නො හැකි නියාව වදාරන සේක් - ‘උපාසකවරිනි. යම් කෙනෙක් තුමූ යට ත් පිරිසෙයින් ලේඬිල්ලන් පටන් උඩත් පිරිසෙයින් මහ බඹුන් දක්වා සංවෘති ව්‍යවහාර වශයෙන් සත්‍වයන් සාහත්‍ථිකාදී ප්‍රයෝග සයින් එක්තරා ප්‍රයෝගයකින් නසත් ද, අර්ථභඤ්ජක මෘෂාවාද කෙළි පිණිස වත් කියත් ද, නැවත අනුන් සන්තක දා හූ වැළක් විතරත් සොර සිතින් හැර ගනිත් ද තව ද පරදාර කර්මයෙහිත් හැසිරෙත් ද, රා බී ඇවිදිත් ද, එසේ වූවෝ පරලොව දුක් තිබේව යි මෙලොව ම පිහිටක් ලැබගත නො හෙති.

‘එ සේ හෙයින්, උපාසකවරිනි, පඤ්චවිධ දුශ්චරිතයෝ නම් ඉතා ලාමකයහ. අකුශල සිද්ධ වන්නේත් ලෝභ මෝහ දෙක හේතු කොට ගෙන හෝ ය. දෝෂ මෝහ දෙක හේතු කොට ගෙන හෝ ය. හුදෙක් මෝහය හේතු කොට ගෙන හෝ ය, එ හෙයින් මේ අකුශල හේතූහු තුන් දෙන සතර අපායට පමුණුවනු නිසා තොප කරා නො නැමෙත්ව’ යි වදාළ සේක. දේශනා කෙළවර පන්සියයක් උපාසකවරු හැම දෙනා සමෘද්ධ වූ පන්සිල්හි අනුසසින් සෝවාන් වූහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් පඤ්ච ශීලය මුළුල්ල කොට වේව යි, නැත. ශක්ති වූ ලෙස සතරක් වේවයි, තුනක් වේව යි, දෙකක් වේව යි, යටත් පිරිසෙයින් එකක් වේව යි, රැක ලොවී ලොවුතුරා සැපත් සිද්ධ කට යුතු.