තව ද ශාසනානුරූප පිළිවෙතක් මුත් වෙද කම් ආදි වූ මිථ්‍යා ජීවයෙහි නපුර හඟවන්ට සැරියුත් මහ තෙරුන් වහන්සේ ගේ සද්ධි විහාරික නමක ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
ඒ වහන්සේ එක් දවසක් වෙද කම් කොට මධුරාහාරයක් ලදින් හැර ගෙන එන දෑ අතුරු මඟ දී සැරියුත් මහ තෙරුන් වහන්සේ දැක ‘ස්වාමීනි, මේ මා වෙදකම් කොට ලත් ආහාරයෙක. මුඹ වහන්සේ අනික් තැනකින් මෙබඳු ආහාරයක් ලබන්ට නැත. ඒ වැළඳුව මැනව. මම වෙදකමින් නිරන්තරයේ මෙබඳු ආහාර සපයා දෙමි” කී දෑ ය. මහ තෙරුන් වහන්සේ උන්දෑගේ බස් අසා මුයෙන් බැණ නො නැඟී ම වැඩ පී සේක.
වහන්දෑ ද වෙහෙරට අවුත් එ පවත් බුදුන්ට දැන්වූ සේක. බුදුහු ද ‘පාපයෙහි භය ලජ්ජා නැත්තාහු ගසා කා ඇවිදිනා කවුඩන් පරිද්දෙන් අභිප්‍රාය ලෙස ලබන්ට ඇති හෙයින් සුව සේ ජීවත් වෙති. ලජ්ජා සම්පන්නයෝ භික්‍ෂාටනයෙන් ලබන දෙයක් විනා සෙසු ලෙස ලබන්ට කරන උත්සාහයක් නැති බැවින් මෙලොව දුක සේ ජීවත් වෙතී’ වදාරා බණ වදාරණ සේක්- ‘හෙම්බා මහණෙනි, මවුපිය ආදි නොවන්නවුන්ට මවුය, පියෝ ය යනාදීන් කියා ගෙන නළවා බදා ජීවත් වෙත් නම්, මෙලොව ඌ සුව සේ ජීවත් වෙති. යම් සේ කපුටුවෝ බත් පැන් ලබනු නිසා බිතක්කන් ආදියේ හිඳ තමන් කෙරෙහි සැක කෙරෙතී සිතා ඒ දිසා ව නො බලන බඳුව නිදන්නා සේ හිඳ ලා මිනිසුන්ගේ පමාව දැක උන් තැනින් බැස ලා වැළකිය දී ම වළන්වල තුබූ බත් ආදිය කට පුරා හැර ගෙන පලා යෙත්ද, එපරිද්දෙන් ශාසනික වූ පවිටු පුඟුලෝ භික්ෂූන් හා සමඟ ගමට සිඟා ගොසින් සිඟන සිඟමන් තබා ලා කැඳ බත් ආදි ය ඇති තැනක්ම නියම කෙරෙති.
සෙසු ලජ්ජී පේශල භික්ෂූහු ගෙ පිළිවෙළින් සිඟා පිළිගැන්මෙහිත්, අනුභවයෙහිත්, හැරපීමෙහිත්, පමණ දන්නා බැවින් යපෙන පමණක් පිළිගෙන අසුන්හලට අවුදින් සකසා පස් විකාගෙන කැඳ වළඳා ලා බත් වේලා එන තෙක් කමටහන් මෙනෙහි කෙරෙති. හදාරා පිරිවාති අසුන් හලම හිඳිති. පවිටු අදහස් ඇති පුඟුල් එ කී දෙයින් කිසිවකු ත් නොකොට නො සිඟන බඳු වලා හිඳී. සෙසු භික්ෂූන් තමා දිසාව බලත ත් තෙමේ නො බලන බඳුව, අනිකෙක සිත හෙළා හිඳිනා බඳුව, නිදන බඳු ව, සෙමෙන් සිට ගැට ගන්වන බඳු ව, සිවුරු තනන බඳු ව’ ලැසි ගෙන ලා තනි පංගුව ගෙන හුනස්නෙන් නැගී ගම් වැද කැඳ බත් ඇතැ’යි කියා නියම දත් ගෙවලින් එක්තරා ගෙයකට ගොසින් ගෙවල මිනිසුන් මඳක් දොර පියා ලා දොර කඩ සිටිනා කල්හි එක් අතෙකින් දොර හැරලා ඇතුළු ගෙට වැදී ගෙවල මිනිස්සු ඔහු දැක කොට ලූ සැටියෙන් දී ලන්ට රුචි නැත එක් තැනෙක හිඳුවා ලා කැඳ බත් ආදියෙන් යමක් ඇත් නම් ඒ දෙති. එ තෙමේ අනුභව කරන විතරක් අනුභව කොට ඉතිරියෙක් ඇත් නම් පාත්‍රයෙන් හැර ගෙන ගොසින් කැමැත්තක් කෙරෙයි. මෙ තෙම කවුඩන් සේ සුරු ව ගසා කන බැවින් මෙ ලොව සුව සේ ජීවත් වෙයි.
තව ද ‘අසවල් තෙරුන් වහන්සේ අපිස් සේක’ යනාදීන් ගුණ කියන කල්හි ‘කුමක් ද? අපි අපිස් නුවූමෝද’ යනාදීන් අනුන්ගේ ගුණ නසයි. එබන්දවුන්ගේ බස් අසා ‘මුන්වහන්සේ අපිස්, සතොස් නියාවනැ’යි සිතා ගෙන අපිස් සතොස් තැනට දෙමින් සිටි දෙය නො දී හැර පියති. නපුරු අදහස් ඇති පවිටු පුඟුල් තෙමේ මෙ තැන් පටන් නුවණැත්තවුන්ගේ සිත් ගත නොහී බුදුන් ගෙන් ලබන ලාභයෙනු ත් පිරිහී අනුන්ගේ ගුණ ත් මකා අනුන් පැමිණි ලාභයත් නසයි. නැවත භික්ෂූන් උදාසනක් සේ මහ සෑ ආදියට කළ මනා වතාවත් කොට මඳ කලක් භාවනායෙහි යෙදී හිඳ භාවනායෙන් නැඟී ගමට සිඟාවන් කල්හි තෙමේ මූණ සෝධා පියා රන් වන් කොට රඳා ගොප් කළ සිවුරු වැළඳීමෙන් හා ඇස අඳුන් ගෑමෙන්, ඉස තෙල් ගෑමෙන්, බුලත් කෑමෙන් යනාදීන් ආත්ම මණ්ඩන ය කොට ගෙන වත් පිළිවෙත් සරුව හමඳනා කෙනකුන් මෙන් මුස්න දෙපිටට ගසා පියා උගත් වත් ලෙසට ඒ එක් තැනකට දමා පියා දොරටුව බලා පියා යෙයි. මිනිස්සු ද උදාසන මහබෝ වඳුම් හ’යි පුදම්හ’යි යනාදීන් සිතා වෙහෙරට ආවාහු ඔහු දැක ‘මේ විහාරය මුන්වහන්සේ නිසා පිරිමැසෙන වන. මුන් වහන්සේට ත් දෙම්හ’යි සිතා ගෙන වත් පිළිවෙත් සරු තැනකට දෙන තරමටත් වඩා දෙති. එ හෙයින් මෙවැනි ශඨ ප්‍රයෝග ඇත්තහු විසිනු ත් මෙසේ ම සුව සේ ජීවත් විය හැක්ක.
තව ද යම් කෙනෙක් සිත එ බඳු ගුණයක් නැත ත් රූක්‍ෂ චීවර ධාරණාදියෙන් අනුන් කෙරෙහි කරන සම්භාවනා ව තමන් කරා නම් වත් ද උයි ත් මෙලොව සුව සේ ජීවත් වෙති. මෙ ලෙසින් කරන ජීවිකාව මුළුල්ලම නිකෘෂ්ට ජීවිකා නම් වෙයි. යම් කෙනෙක් අධර්මයෙන් උපන් පසු ය අමෙද්ධ්‍යයක් මෙන් සලකා දැහැමෙන් සෙමෙන් ලද දෙයෙක්හි සතුටුව ගෙ පිළිවෙළින් සිඟා ලත් දෙයකින් යපෙත් නම් ඌ තුමූ පරලොව ලබන සැපයක් මුත් මෙලොව දුක සේ ජීවත් වෙති. එතකුදු වුවත් මෙබඳු ජීවිකාව නිරවැද්ද හෙයින් යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන චතුර් විධ මාර්ග ඥාන නමැති වාසල් වලින් නිවන් පුරයට පැමිණියහ.
එ හෙයින් සත්පුරුෂයන් විසින් මිථ්‍යාජීවයෙන් වැලක සම්‍යක් ආජීවයෙහි පිහිටා නිවන් අත් කටයුතු.
________