තව ද යම් කෙනෙක් සදහම් දැන ත් ඒ වූ පරිද්දෙන් පිළි නොපදිත් නම් ආයුධ සරම නොදන්නවුන්ට ආයුධයෙන් ප්‍රයෝජන නැත්තා සේ ඒ දහමින් උන්ට ප්‍රයෝජන නැති නියාව ත්, පිළිපදින්නවුන්ට, නැව සිටිය වුන්ට පිහිට වන නැවක් සේ වලවත් ව පිහිට වන නියාව ත් දක්වන්නමෝ මිත්‍ර ව වසන දෙනමකගේ වස්තුව දක්වමු.
කෙසේ ද? යත්:-
සැවැත් නුවර වසන කුල දරුවෝ දෙදෙනෙක් බුදුන් වසන දෙවුරමට ගොසින් බණ අසා සැප ත් හැර සසුන් වැද මහණ ව මාලු පැවිදි ව නිස පිළිබඳ ව වසන පස් වස ඇදුරු වූ තෙරුන් වහන්සේ ළඟ වැස වස්පස පිරෙන්නා ම නිස නො ගෙන වසන්ට නිසි ව බුදුන් කරා ගොසින් යෙදුන මනා ධුර විචාරා ධුරද්ව ය විස්තර සෙයින් අසා දෙ නමින් නමෙක් ‘ස්වාමිනි, මා වැඩි මාලු කල මහණවූ හෙයින් ග්‍රන්ථධුර යපුරා ගත නො හෙමි. විපස්සනා ධුර ය වදාළොත් යහපතැ’යි රහත් වීම දක්වා කියවාගෙන යම් සේ පියුමෙක් දියෙහි ඇති ව, දියෙහි වැඩී, එ ම දිය හා එක් ව නො වේ ද, එ මෙන් කුලෙහි ගෙණෙහි ඇල්මක් නැති ව යම් සේ ඒ පියුම දියට උස් ව සිටී ද, එමෙන් රහත් වී මෙන් උස් වනු නිසා යම් සේ පියුම මද සුළඟිනු ත් වෙවුල වෙවුලා තිබේ ද, එ සේ ම ඇසිල්ලකු ත් කෙලෙසුන්ගේ පහළ වී මෙක් වී නම් භයින් වෙවුල වෙවුලා යම් සේ ඇස නොවන යහපත් බිජුවට තෙමේ මනා වී නමුත් සරු කෙත වපුරන ලද්දේ වැසි දිය ලත් නම් අසු පැවත යහපත් ද, එ මෙන් බුදු සසුන් නමැති සරු කෙත, සිල් නමැති බිජුවට වපුට, භාවනා නමැති ඇල වලින් මාර්‍ග නමැති දිය පෑ අර්හත් ඵල නමැති වී ලබනු නිසා වීර්‍ය්‍ය නමැති කර්‍මාන්ත කොට, යම් සේ සී සකස් කුඹුරෙහි වපුළ බිජුවට වපුළවුන් සතුටු කරවා, උදවු කොට ම පී ද, පැසේ ද, එ මෙන් වීර්‍ය්‍ය කර්මාන්තයේ සකස් නිසා කෙලෙස් කුඩු මැටි නැඟ නො දී බුදු සසුන් කෙතින් රහත්ඵල නැමැති වී මිරිකා සිත් සතන් ගුළෙහි පුරා ගත් සේක.
බාලව මහණ වූ අනික් නම ‘මම ග්‍රන්ථ ධුරය පුරමි’ උත්සාහ කොට තෙවලා බුදු වදන් ඉගෙන ඒ මුල් කොට පිළිවෙත යෙදී ප්‍රති වෙධයට නො සිතා අසන තැන් කීමෙහි රුචි ඇති ව පන්සියක් දෙනා වහන්සේට අසන තැන් කියන සේක් අටළොස් ගණයකට ඇදුරු වූ සේක. වහන්දෑ ද බුදුන් ගෙන් කමටහන් ඉගෙන රහත් තෙරුන් වහන්සේ ළඟට ගොසින් උන් වහන්සේගෙනු ත් උප දෙස් ලදින් රහත් ව තෙරුන් වහන්සේ වැඳලා ‘මහණුවම් මුළුලු නියාව දන්වන්නට බුදුන් කරා යම්හ’යි කියන සේක. රහත් තෙරුන් වහන්සේ ද ‘යව ඇවැත්නි, මගේ වැඳීමෙන් බුදුන් වැඳ අසූ මහ සවුවන් වහන්සේ ත් වඳුව. ගිහි කල මිත්‍ර ව හුන් අපගේ තෙරුන් වහන්සේට ත් මා වැඳි නියාව කියව්’ය යි වදාරන සේක. ඒ වහන්දෑ ද වෙහෙරට ගොසින් බුදුනුත් අසූ මහ සවුවන් වහන් සේත් වැඳ ලා තෙවලා ධර තෙරුන් වහන්සේ කරා ගොසින් ‘ස්වාමීනි, අපගේ ආචාරීන් වහන්සේ මුඹ වහන්සේ වැඳ එවූ සේකැ’යි කියන සේක.
‘තමන් හැමගේ ආචාරීන් වහන්සේ නම් කවුරුන් වහන්සේ දැ’යි විචාළ තෙන දී ‘මුඹ වහන්සේ ත් ඔබත් ගිහි කල මිත්‍ර තෙරුන් වහන්සේ ය’යි කියන සේක. රහත් තෙරුන් වහන්සේ එක්වන් ව වැඳ එවන කල්හි තෙවළාධර තෙරුන් වහන්සේ කීප දවසෙක ඉවසා හිඳ පියා පසුව ඉවසා ගත නොහී ‘අපගේ ඇදුරු තෙරුන් වහන්සේ මුඹ වහන්සේ වැඳ එවූ සේකැ’යි කී කල්හි ‘තමන් හැමගේ ඇදුරු තෙරහු නම් කවුරු දෑ’යි අරුචි සූචක ව විචාරා ‘මුඹ වහන්සේගේ යාළු තෙරුන් වහන්සේ ය’යි කී කල්හි ‘උන් සමීපයෙහි තමන් උගත්තේ කිම් ද? දික් සඟි ආදියෙන් එක් තරා සඟියෙක් හදාළ නියා ද? පිටක තුනෙන් එක් පිටකයක් හෝ ඇසූ නියා දැ’යි විචාරා සතර පදයෙන් යුත් ගාථා පමණකුත් නො දැන පවුල් සිවුරු පෙර ව මහණ වූ ගමනේ ම අපිස්කමට වල් වැද කියන අසන තැනකු ත් නැති ව අත වැස්සන් බොහෝ කළ නියා ද? මුඹ අවුනම් ශක්ති බලන්ට ප්‍රශ්න විචාරමී’ සිතූ සේක.
පසු ව කලක දී රහත් තෙරුන් වහන්සේ බුදුන් දක්නට වැඩි සේක් යහළු තෙරුන් වහන්සේගේ නපුරු අදහස ආවර්ජනය නො කළ හෙයින් නොදැන පා සිවුරු ඒ විහාරයෙහි තබා ගොසින් බුදුනුත් අසූ මහ සවුවන් වහන්සේත් වැඳ යහළු තෙරුන් වහන්සේ වසන තෙනට පසු ව ආ සේක. තෙවළාධර ඒ තෙරුන් වහන්සේද කැරවුව මනා වත් කරවා ලා හිඳිනා අසුන් සමකොට පනවා ගෙන, ප්‍රශ්න විචාරමි යි සැරහී උන් සේක. ඒ වේලෙහි බුදුහු ‘මේ තෙමේ තමා බහුශ්‍රැත පමණක් ඇති හෙයින් ප්‍රශ්න විචාරා ම පුතුන් පෙළා නමුත් එ සේ කොට නරකයෙහි උපන් නමුත් නපුරැ’යි උන් වහන්සේ කෙරෙහි කරුණාවෙන් වෙහෙර සැරි සරන්නාක් මෙන් දෙන ම වැඩහුන් තෙනට ම වැඩ කවර තෙනක වහන්දෑ හිඳිනා කලත් බුදු හස්නක් පනවා තබන හෙයින් එ තැන ත් පනවා තුබූ බුදු හස්නෙහි වැඩහුන් සේක.
වැඩ හිඳ තෙවළාධර තෙරුන් වහන්සේ අතින් ප්‍රධම ධ්‍යාන විෂයෙහි ප්‍රශ්න විචාරා උන්වහන්සේගේ ආගමාභියොග ය ඇති හෙයින් ඒ කීකල්හි ද්විතීය ධ්‍යානයෙහි පටන් සමාපත්ති මුළුල්ල ම විචාරා එයිත් කී කල්හි, ප්‍රථම මාර්‍ග විෂයෙහි ප්‍රශ්න විචාළ සේක. කෙසේ තෙවළා ධැරුව ත් අධිගත වූවොත් මුත් ඒ බැරි හෙයින් කියනුහුණු සේක. මෙම ප්‍රශ්නය රහත් තෙරුන් වහන්සේ අතින් විචාරා වදාළ කල්හි තමන් වහන්සේ අධිගත හෙයින් වහා ම වදාළ සේක. බුදුහු ඊට සාධු කාර දෙවා වදාරා අනික් ත්‍රි විධ මාර්‍ග ය ත් අරභයා ආගම ධර භික්ෂූන් වහන්සේ අතින් ප්‍රශ්න විචාළ සේක. ප්‍රථම මාර්‍ග ය පමණකට ත් නො පැමිණි හෙයින් ඒ කියා ලිය නුහුණු සේක. රහත් තෙරුන් වහන්සේ එයි ත් තමන් වහන්සේ අධිගත හෙයින් සැකයක් ම නො තබා වදාළ සේක.
බුදුහු, ඒ සතර තැන්හි ම රහත් තෙරුන් වහන්සේට සාධු කාර දුන් සේක. ඒ සාධුකාර ශබ්ද ය අසා බූමාටු දෙවියන් පටන් කොට අකනිටා බඹ ලොව දක්වා සියලු දෙවියෝ ද, නාග සුපර්‍ණයෝ ද, සාධු කාර දුන්හ. ඒ සාධුකාර ශබ්දය අසා ත්‍රිපිටක ධර තෙරුන් වහන්සේගේ අතවැසි වහන්දෑ ද සද්ධි විහාරික වහන්දෑද බුදුන් කෙරෙහි නො සතුටුව’බුදුන් විසින් මේ කුමක් කළ නියා ද? කිසිවක් නොදන්නා මහලු තෙරුන් වහන්සේට සතර තෙනක දී සාධු කාර දුන් සේක. තෙවළා ධර වූ පන් සියයක් වහන්දෑට නායක වූ අපගේ ගුරුන් වහන්සේට සාධුකාර තබා යහපතැ යි යන බස් පමණකුත් නො වදාළ සේකැ’යි බුදුන්ට නුගුණ කිවු ය. ඉක්බිති බුදුහු කුමක් කියවු ද, ‘මහණෙනි’යි ඔවුන් විචාරා ඒ කාරණ ය දැන් වූ කල්හි ‘මහණෙනි, තොප හැමගේ ආචාරි තෙරහු නම් බැළ මේ පිණිස ගෙරින් රක්නා ගො පල්ලකු වැන්නෝ ය.
‘මාගේ පුතණුවෝ අභිප්‍රාය වූ පරිද්දෙන් පස්ගෝ රස අනුභව කරන්නා වූ ගෙරින් හිමි පුරුෂයකු වැන්නෝ ය’යි වදාරා මත්තෙහි බණ වදාරන බුදුහු ‘හෙම්බා මහණෙනි, මේ සස්නෙහි ප්‍රමාදශීලී වූ යම් මහණෙක් ආචාරිවරයන් කරා එළඹ තෙවළා බුදු වදන් ඉගෙන අනුන්ට බොහෝ කොට උගන්වන්නේ ද තෙමේ වනාහි ඒ බණ අසා එලෙස පිළියම් කරන්නා වූ පුඟුලක්හු විසින් යම් දහමකට පැමිණිය යුතු ද, එ බඳු පිළිවෙත්හි නො පවතී ද කුකුළකු පියා පහරන පමණ ඇසිල්ලකුදු අනිත්‍යාදි වශයෙන් නමස්කාර නො පවත්වා ද, එ බඳු මහණ තෙම යම් සේ ගොපල්ලෙක් බැල මේ පිණිස ගව මුළක් උදෑසන පාවා ගෙන දිවස භාග ය මුළුල්ලෙහි තණ-පැන් කවා-පොවා සවස ගෙනවුන් ගව ස්වාමීන්ට පාවා දී දවස වැටුප් මාත්‍රයක් ලැබේ ද කැමති පරිද්- දෙන් පඤ්ච ගව රස ය අනුභව කරන්ට නො ලැබේ ද, එ පරිද් දෙන් ම අත වැසි මහණුන් ගෙන් වත් පිළිවෙත් කරවා ගන්නා පමණකට හිමිවෙයි. ශ්‍රාමණ්‍ය ඵල යයි කියන ලද ලෝකොත්තර ධර්‍මයට හිමි නොවෙයි. හේ එසේ මැ යි. ගව පාලයා විසින් රැක පාවා දුන් ගවයන්ගේ ගව රස ය ගව ස්වාමීහු අනුභව කෙරෙති. වීර්‍ය්‍ය වඩන්නා වූ පුද්ගලයෝ ද බුදුන් විසින් වදාළ වූ දහම් අසා අනුශාසනා වූ පරිද්දෙන් පිළිපැද සමහර කෙනෙක් ප්‍රථම ධ්‍යානාදියට ද සමහර කෙනෙක් විවසුන් වඩා සතර මග සතර ඵලයට ද පැමිණෙත්. හෙවත් ගව ස්වාමීන් ගව රසයට හිමි වූ වා සේ ම ශ්‍රමණ භාවයට හිමි වෙත්.
මෙ සේ බුදුහු මේ සස්නෙහි සිල්වත් ව බහුශ්‍රැත ව අනිත්‍යාදී වශයෙන් කමටහන් මෙනෙහි නො කොට ප්‍රමාදශීලී ව වසන්නා වූ මහණුන්ගේ වශයෙන් පළමු ව බණ වදාරා, දෙවෙනි ව අල්පශ්‍රැත වුව ද යෝනිසොමනස්කාරයෙන් යෙදී කමටහන් මෙනෙහි කරණ වීර්‍ය්‍යවත් පුද්ගලයන්ගේ වශයෙන් බණ වදාරණ සේක් ‘අප්‍රමාදී වූ යම් පුද්ගලයෙක් තෙම එක වර්‍ග ද්වි වර්‍ග වශයෙන් ඇති ස්වල්ප වූත් යම් කිසි ධර්‍මයක් සිත හෙළා අසා එහි අභිප්‍රාය ද එයින් ලැබ්බ යුතු ගුණ ධර්‍ම ය ද දැන නව ලොවුතුරා දහමට අනුරූප වූ පූර්‍වභාග පටිපදා ය යි කියන ලද චතුපාරිශුද්ධි ශීලය, තෙරස ධුතගුණය, දශ අශුභ කර්‍මස්ථාන ය යනාදී වූ ප්‍රභේද ඇති ධර්‍ම ය සිත්හි පවත්නා හෙයින් ලොවී ලොවුතුරා දහම් අනුව පවත්නේ වේ ද ‘අද දවස් ම දැන් ම මග පල ලැබෙමි’යි ධර්‍ම ප්‍රතිවෙධයෙහි සිත් ලා හැසිරේ ද ඒ මහණ තෙම මේ සම්‍යක් පිළිවෙතින් රාග-ද්වේෂ–මොහාදී වූ කෙළෙසුන් පහ කොට සම්‍යක් හේතු නයින් පිරිසිඳ දත යුත්තා වූ ධර්‍මයන් පිරි සිඳ දන්නේ තදඞ්ග ය විෂ්කම්භණ ය සමුච්ඡෙද ය ප්‍රතිප්‍රශ්‍රබ්ධි ය නිශ්ශරණ ය විමුක්ති ය යන මොවුන්ගේ වශයෙන් අතිශයින් මිදුණු සිත් ඇත්තේ මෙ ලෝ පර ලෝ දෙක්හි ම අන්තර්‍ගත වූ හෝ ආධ්‍යාත්මික-බාහිර වූ හෝ පඤ්චස්කන්ධ ය ද්වාදස ආයතන ය අට්ඨාරස ධාතු ය යන මොවුන් සතර උපදාන රූපයන් හා සමග කිසිවක් නො ගන්නා වූ මහා ක්ෂීණාශ්‍රව තෙමේ මාර්‍ග ය යි කියන ලද ශ්‍රාමණ්‍ය ගුණයාගේ වශයෙන් ආවා වූ ඵල සමාපත්ති යට ද පසක් පමණ වූ අශෛක්ෂ ධර්‍මස්කන්ධයට ද හිමි වෙයි-වදාරා රුවන් මඬුල්ලෙකින් නිමි ගෙයක් මෙන් අර්හත් ඵලයෙන් දේශනාව කුළුගන්වා වදාළ සේක.
මේ ධර්‍ම දේශනාවගේ කෙළවර බොහෝ දෙනා සතර මඟ සතර ඵලයට පැමිණියහ. එ හෙයින් නුවණැත්තවුන් විසින් බුදුන් වදාළා වූ ධර්‍ම ය ඉගෙන ඒ වූ පරිද්දෙන් පිළිපැද නිවන් දහම් පසක් කට යුතු.