මුලට පූර්විකාව-සූවිසි විවරණය හා බුද්ධ චරිතයත් මැදට කථා වස්තු 308 කුත්, අගට මඞ්ගල සූත්‍රාදි කථාන්තර 33 කුත් ඇතුළත් මේ මාහැඟි මහා ග්‍රන්ථ රත්නය වූකලි අර්ථ කථාචාර්‍ය්‍ය අනුබුද්ධ බුද්ධඝෝෂ මහා සාමීන් විසින් ධම්මපද පාළියට ලියූ අටුවාවෙහි එන කථා වස්තු සමූහයකින් හා නාගසේන කථා ආදී තවත් බොහෝ සවිස්තර කරුණු වලිනුත් යුක්ත වූවකි.
මෙය ව්‍යවහාර සිංහල භාෂාවෙන් ලියවුන සාහිත්‍ය ග්‍රන්ථයක් වශයෙනුත්, උගත්-නූගත් හැම දෙනාගේ ම සිත් ගන්නා සුළු ධර්‍ම ග්‍රන්ථයක් වශයෙනුත්, දඹදෙණි සමයේ ලක්දිව පැවැති සිරිත්-විරිත්–ජනකථා ආදිය උගන්වන සමාජ දර්ශන ග්‍රන්ථයක් වශයෙනුත්, ලඞ්කාවාසීන් අතර සම්භාවිත ය. දඹදිව සිදුවූ කථා ප්‍රවෘත්ති ලක්දිව ගැමි වහරෙහි ආ උපමා-උපහාසාදියෙන් සරසා රසවත් කරන ලද මේ ග්‍රන්ථය මහනුවර රජුන්ගේ සිංහල සිංහාසනයට සමාන යැයි කියහැක. අපරදිග සැලැස්මක් අනුව නිමවා අපරදිගින් පිරිනැමුණු ඒ ආසනයෙහි ලක්දිව රන් කැටයම් මැණික්-රාජලාඤ්ඡනාදියෙන් සැරසීමෙන් අපරදිග ලක්ෂණය අතුරුදහන් වූවා සේ පොතේ ඇතුළත් දඹදිව කථා වස්තු කියවන විට සිතෙහි පහළ වනුයේ ලක්දිව සිදු වූ කථා ප්‍රවෘත්ති ලක්ෂණයන් ය.
විවිධ රසයෙන් රස කැවුන, හාස්‍ය රසයෙන් පිරි කථා වස්තු ඇති හෙයින් සද්ධර්‍ම රත්නාවලිය සැදැහැ ඇත්තන් මෙන් ම සැදැහැ නැත්තන් ද, බෞද්ධයන් මෙන් ම අබෞද්ධයන් ද, කියවන්නකි. සිනමා බැලීමට අවසර නැති බර සිල් ඇත්තවුන්ට ද මෙය කියවීමෙන් උපවිඥානයෙහි වුවමනා පමණ බෞද්ධ චිත්‍ර ජව්නිකා පහළ කර ගත හැක.
නිතර පොත් අස්සේ හිස ගසා ගැනීම නිසා පාණ්ඩිත්‍යයෙන් ඉදී-බෙරිවී ගිය හිස් නැති පොත පත කියවීමෙන් හා අවට බැලීමෙන් ලබා ගත් නිවහල් වූ පළල් අවබෝධයක් ඇති ගැමි ජීවිතයේ රස විඳ නාගරික පරිසරයෙන් ඔප් නැඟුනු අදහස් ඇති, පඬිවරු මෙය අගනා සිංහල සාහිත්‍ය ග්‍රන්ථයක් ලෙස සලකති.
සිංහල සාහිත්‍යය දියුණු වේවා!
මෙයට,
පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිර
2504 පෙරබවාරි 28 දින
1961
මාරපණ ශාස්ත්‍රොදය පිරුවන්හි දී ය.
සද්ධර්‍මරත්නාවලිය
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.