197. එක්තරා කුලදරුවාණ කෙනකුන් ගේ වස්තුව

star_outline

තව ද සියලු කිලුටින් අවිද්‍යා කිලුට බලවත් නියාව හඟවන්ට එක්තරා කුල දරුවාණ කෙනකුන් ගේ වස්තුව දක්වමු.

කෙසේ ද යත් -

ඒ කුල දරුවාණන්ට ජාති ආදීන් සරි තරම් වූ කුමාරිකා කෙනකුන් ගෙනවුත් පාවා දුන්හ. උයිත් ආ දවස් පටන් තමන්ට ම තිබී ආ නුගුණයක් බැවින් පරපුරුෂ සංසෙවායෙහි ඇසිරෙති. ඒ කුල දරුවාණෝ ද උන්ගේ ව්‍යභිචාර පරකම නිසා උන් නිර්ලජ්ජි වුව ත් තමන් ලජ්ජා ඇති බැවින් කිසි කෙනකුනුත් දක්නට මැළිව බුදුන්ට උපස්ථාන ත් දවස් ගණනක් නැති ව පසු ව බුදුන් කරා ගොසින් ‘කුමක්ද? උපාසක ය, දවස් ගණනක් නුදුටුමෝ වනැ’යි වදාළ කල්හි උපාසකයෝ අඹුව අනාචාර පර හෙයින් ඊට ලජ්ජාවෙන් නා නියාව කිවු ය.

බුදුහු ඒ අසා ‘හෙම්බා උපාසක ය, පෙරත් මා බෝධිසත්‍ව අවස්ථාවෙහි මේ බන්දක් ම කියා තොප මා කරා ආ ගමනෙහි ‘ගෑනු නම් පැන් තොට ආදිය හා සරියෝ ය. නුවණැත්තවුන් විසින් ඊට අමුත්තක් නො සිතිය යුතු ය’යි කීමි. තොපි භවයෙන් සැඟවුණු හෙයින් සලකා ගත නො හෙව. වන්නාට තොප සලකා ගත නොහෙන පසු එ වක අප කී සැටි ය දැන් අසව’යි වදාරා-

“යථා නදී ච පන්ථො ච - පානාගාරං සභා පපා

එවං ලොකිත්‍ථියො නාම – වෙලා තාසං න විජ්ජති”

යනු හෙයින් ‘යම් සේ ගඟත්, මහවත් මඟ ත්, රා සොඬුන් රා බොන්නා වූ ගෙය ත්, බොහෝ දෙන රැස් වන තැන ත්, පැන් ළිඳත් සියල්ලවුන්ට සාධාරණ මුත් එක් කෙනකුන්ටම නියම ව නොතිබේ ද, එ පරිද්දෙන් ස්ත්‍රීහු ත් අවසර ලත් නියායෙන් උත්තම අධම සියල්ලවුන්ට ම සාධාරණයහ. එ හෙයින් උපාසකයෙනි, තොපි ත් ඊට සහන ය කරව’යි වදාරා ලා බණ වදාරන සේක්- ‘යම් ස්ත්‍රී කෙනෙක් පරපුරුෂ සේවායෙහි හැසිරෙ ත් නම් රක්‍ෂා කළහු ගෙන් නෙරිති. දෙමවුපියෝ ත් නො කැමැත්තාහ. දෙ ලෙසින් ම ඔහු අනාථ ව අසරණ ව ඇවිදිති. ඒ හෙයින් ස්ත්‍රී පුරුෂ දෙ පක්‍ෂයට ම පරපුරුෂ සංසේවා හා පරදාර පරිග්‍රහ ය කිලුටු ය. දන් දෙන්නවුන්ට මසුරු සිත නම් දානාද්ධ්‍යාස ය නවතන හෙයින් කිලුටු ය. සියලු ම අකුසලයෝ මෙලෝ පරලෝ දෙක්හි ම වැඩ සාදා දී නො ලන හෙයින් ඉතා කිලුටු වූය. ඒ හැමටත් වඩා මෝහ ය නම් සියල්ලකට ම බාධාව සිටිනා හෙයින් බලවත් කිලුටෙකැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් දුශ්චරිතයෙනු ත් නැවත මසුරු සිත් නැති ව දන් දීමෙහි තර අදහස් ඇති ව සව් කෙලෙසුන් නසා අධිමුක්ති වූ ලෙසින් ත්‍රිවිධ බෝධීන් එක්තරා බෝධියකට පැමිණිය යුතු.