තව ද ආත්ම ශක්ති ය නොදැන්මෙහි දෝෂ දක්වන්නට ලාළුදායි තෙරුන් වහන්සේගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
සැවැත් නුවර පස් කෙළක් විචර ආර්‍ය්‍ය ශ්‍රාවකයෝ ඇත. ඌ පෙරවරු දවස දන් දී ලා පස්වරු වේලේ වෙහෙරට ගොසින් බණ අසති. බණ අසා පියා යන කල ත් අදහස් දැන වදාරන බණ හෙයින් අගසවු දෙදෙනා වහන්සේගේ ගුණ මුඛ නොපෝනා තරමේ කියති. ලාළුදායි තෙරුන් වහන්සේ ඔබගේ ගුණ කථා බොහෝ කොටම අසා තමන් වහන්සේගේ ඥාන ශක්තිය නොදැන ඔබ්බේ නොදත්තවුන්ට අශක්ති ය හඟවන්නා සේ ‘උපාසකවරිනි, අගසවු වහන්දෑගේ බණ අසා තෙපි එ සේ ගුණ කියන්නා අපගේ බණක් ඇසූ නම් කැලම ගුණ කියන්නාවා ද ‘යි කියන දෑය. මිනිස්සු ඒ අසා ‘මුන් වහන්සේ ත් එක් බණ කියන තැනක් නියා ය. මුන් වහන්සේ ගෙනුත් බණක් අසම්හ’යි තෙරුන් වහන්සේ කරා ගොසින් ‘ස්වාමීනි, අද අප හැම බණ අසන දවසක. දාවල් දවස් අපට බණ වදාළ යහපතැ’යි කිවු ය. උන් වහන්සේ ද දන්නා බණක් නැතත් ආරාධනාව ඉවසූ සේක.
උයි ත් බණ අසන වේලාට අවුත් ‘ස්වාමීනි, බණ වදාළ යහපතැ’යි කිවු ය. ලාළුදායි තෙරුන් වහන්සේ ද බණ කීමට බැරි වුවත් ආසනයට නැඟීම පිළිවන් බැවින් අස්නට පැන නැඟී ලා විසිතුරු වූ විජිනි පත්‍රයකු ත් හැර ගෙන නැතක් වේලා ත් හිඳ එක බණ පදයකුත් කටට නො එන හෙයින් ‘මම පසු ව පාළි පිරුවා පියමි. අනික් තැනක් කියන බව ය’යි කියා ලා හස්නෙන් බට දෑ ය. උපාසකවරු ද අනික් තැනක් ලවා බණ කියවා පියා පාළි කියවන්ට නැවත ත් ආසනයට නැංවූ ය. උන්දෑද පාළි පමණකු ත් කටට නොඑන හෙයින් ‘මම රෑ දවස් බණ කියමි. අනික් තැනක් පාළි පිරිවුව මැනවැ’යි කියා ලා අස්නෙන් බට දෑය. උපාසකවරු ද මුන්දෑගේ අශක්තිය ම හැඟුණ හෙයින් දෝ අනික් තැනක් ලවා පාළි කියවා පියා රෑ දවස් තෙරුන් වහන්සේ ගෙනා වූ ය. උන් වහන්සේ දාවල් දවස් නො පෙනෙන දෙය රෑ දවල් කැලම නො පෙනෙන හෙයින් කිසිවකුත් නො දැක ‘මම අලුයම් වේලෙහි කියමි. පෙර සවස අනික් තැනක් කිව මැනවැ’යි කියා ලා අස්නෙන් බට දෑය. උපාසකවරු ද පෙර සවස අනික් තැනක් ලවා කියවා පියා පෙරළා අළුයම බණට ගෙන් වූ ය. අනික් තැනකට බාර කොට නැඟී සිටී ම මුත් බණෙක් නො වැටහිණ.
බොහෝ දෙන දඬුපත් ආදිය හැර ගෙන ‘නුවණ නැති වහන්ස, මුඹ අග සවු දෙදෙනා වහන්සේගේ බණ කීම් යහපතැයි අප කී කල්හි මුඹ ත් බණ කියන සේ දන්නා නියාවක් හැඟවූයේ වේ ද? දැන් දෙ තුන් විටක් විතර නො කියන්ට කාරණ කිම් දැ’යි බසින් ම භයගන්වා ලා නැඟී සිට යන්ට වන් කල්හි ලුහුබඳ වා ගත්හ. උන්දෑ ද යන දෑ මහානුභාව සම්පන්න තැනට කළ ස්පර්ධාව හෙයින් අත් පස් වළෙක හුණු දෑ ය. බොහෝ දෙන කථා උපදවන්නාහු ලාළුදායි තෙරුන් වහන්සේ අගසවු දෙදෙනා වහන්සේ සේ ම තමන් දෑ ත් බණ කියන නියාවක් හඟවා අප හැම බණ අසම්හ යි කී කල සතර වාරයක් දක්වා අස්නට නැඟී බණක් ම කියා ගත නුහුණු දෑ ය. බණට ආරාධනා කොළෝ ද, මෙ සේ බණ කිය නො හෙන කල අගසවු දෙ නමට ස්පර්ධා කරන්ට කාරණ කිම්දැ යි දඬු පත් ආදි ය හැර ගෙන ලුහු බඳවා අත් පස් වළෙක හෙළා ගත්හ’යි කථාව ඉපැද වූ ය. ඒ කථාව වහන්දෑ කෙරෙහිත් පැවැත්ත. බුදුහු වහන්දෑගෙන් ඒ කථාව අසා ‘මහණෙනි, තුලූ ආත්මශක්ති ය නොදැන අත් පස් වළ හුණු යේ දැන් මතු නො වන්නේ වේ ද, පෙර හූරු ව උපන් කලෙක ත් සිංහයන් හා ස්පර්ධා කොට සිංහයන්ගෙන් වදිනා භයින් නැවතෙනු නිසා අත් පස් වළෙක ගැලුණෝ ම වේ දැ’යි වදාරා -
“චතුප්පදො අහං සම්ම - ත්‍වම්පි සම්ම චතුප්පදො,
එහි! සීහ! නිවත්තස්සු - කින්නු භීතො පලායසි”
යනාදී මේ ජාතක ය විස්තර කොට වදාළ සේක. එ කල සිංහයාණෝ නම් සැරියුත් මහ තෙරුන් වහන්සේ ය. හූරාණෝ නම් ලාළුදායි වහන්දෑ ය.
බුදුහු මේ දේශනාව ගෙන හැර වදාරා ‘මහණෙනි, ලාළුදායි තෙමේ යන්තම් බණක් ඉගෙන අභ්‍යාස තර නො කොළෝය. එ හෙයින් යම් කිසි කෙනෙක් යම් කිසි ශිල්පයක් ඉගෙන උගත් පමණක් මුත් ආසෙවනය නො කෙරෙත් ද, ආසෙවනය නොකිරීම ඒ ශිල්පයට මල ගැස්මක් හා සරි ය. ගිහි ගෙයි වසන්නවුන්ට විර්‍ය්‍ය නැත් නම් ඇති වන කිසිවකු ත් නැති හෙයින් වීර්‍ය්‍ය නැති වීම කෘෂි වණික් ආදියට මළ ගැසීමක් හා සරි ය. ශාසනික තැනට ත් විර්‍ය්‍ය මුල්ව ප්‍රතිපත්ති පූරණ ය වත් මුත් සෙසු ලෙසක නොවන හෙයින් වීර්‍ය්‍ය නැති වීම පිළිවෙත් පිරීමටත් මල ගැසීමක් හා සරි ය.
‘තව ද ගිහි වුවත් පැවිදි වුවත් කුසී ව සිරුරු පිළිදැගීම නො කරන්නවුන්ට ශරීරය පැහැපත් නොවේද, එ හෙයින් කුසී වීම ශරීර වර්ණයට මල ගැසීමක් හා සරිය. නැවත යම් කෙනෙක් ගෙරි සරක් රකිනෝ වී නම් ඔහු තුමූ පමාව ම නිඳීමෙන් කෙළි ලළුවෙන් දවස් යවත් නම් ඒ ගෙරි සරක් ක්‍රම ක්‍රමයෙන් නසිතොත් මුත් වැඩියුරු වීමක් නැති හෙයින් යමක් රකිනවුන් පමා වීම ත් මල ගැස්මක් හා සරිය. නැවත ශාසනික කෙනෙකුන් වුව ත් සදොර රැක ගත නොහෙ ත් නම් කෙලෙස්හු අවසර ලැබ පියා ශාසනයෙන් චුත කෙරෙති. එ හෙයින් පමාව විසීම සිල් රක්‍ෂා කරන්නවුන්ට ත් මළ ගැස්මක් හා සරි ය’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් පර්‍ය්‍යාප්තියෙහි අභියෝග ය කරතත් ආසෙවන ය බහුල ව එයි ත් මල නො ගස්වා අගාරික වුව ත් අනගාරික වුව ත් වීර්‍ය්‍ය බහුල ව උපදවා ගත් ගුණයෙක් ඇත්නම් එයි ත් නොපිරිහෙළා ගුණ සංරක්‍ෂණයෙහි ත් නො පමා ව ලොවී ලොවුතුරා සැපත් සෑදිය යුතු.