තව ද ලෝභයෙහි ආදීනව දක්වන්ට තිස්ස නම් භික්ෂු කෙනකුන්ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත්-
සැවැත් නුවර වසන එක් කුල දරුවාණ කෙනෙක් සසුන් වැද මහණ ව මාලු පැවිද්ද ත් ලදින් කලෙක දනවු විහාරයක වස් විසූ සේක්-වස් අන්තයෙහි අට රියන් හිණ කඩක් ලදින් සැවැත් නුවරට ගොසින් ඒ හිණ කඩ තබා ලන නියායෙන් නැඟණියන් අතට දෙවා ලූ සේක. උයි ත් හිණ කඩ ඉතා දළ හෙයින් මාගේ බෑණන් වහන්සේට තරම් නො වන්නේ ය’යි සිතා මුවා ත් යහපත් කරයකින් කපා හරවා පියා වන ලා කොටා පියා පොළා නවාම්[1] කොට ගෙන සීන් කොට හූ කැට ගෙන හිණ කඩක් වියවා ලූය. තෙරුන් වහන්සේ ද හූ ඉදි කටු සපයා ගෙන ගෙත්තම් කරන වහන්දෑ ත් නිල කොට ගෙන නං උපාසිකාවන් ඔබ ගොසින් සිවුරක් කරන නියායෙන් තොප අතට දෙවා ලූ පිළිය දෙවා ලව’යි ඉල්ලූ සේක.
උයි ත් නව රියන් හිණ කඩ ගෙනවුත් බෑණන් වහන්සේ අතට දුන්හ. උන් වහන්සේත් හිණකඩ සීන් නියාව බලා දෝ නොහොත් ලෝභය බලවත් හෙයින් මාරුවක් කොළෝ නමුත් ය’යි මැන පියා ‘අපගේ හිණ කඩ දළ. රියන් ගණනිනු ත් අට රියන. මේ හිණ කඩ සීන. නව රියන. තුබූ ගමනේ සීන් ව දික් වන්ට කාරණ නැත. මේ තොපගේ වත් මුත් අපගේ නො වෙයි. අනුන් සන්තකයෙන් අපට ප්‍රයෝජන ත් නැත. අප ගෙන් තබා ලූ හිණ කඩ ම දෙවා පියව’යි කී සේක. ‘මෙය මුඹ වහන්සේගේ ම ය. හැර හත මැනැවැ’ යි කීව නො ඉවසන සේක. තමන් කළ ලෙස මුළුල්ල ම කියා ලා දෙවාපූ ය. උන් වහන්සේත් එවිට අතට හැර ගෙන වෙහෙරට ගොසින් සිවුරු ගෙත්තමට පටන් ගත් සේක. උපාසිකාවෝ ත් ගෙත්තම් කරන වහන්දෑට බත් දුන්හ. ගෙත්තම් කොට නිමි දවස් දනත් සරහා දුන්හ.
උන් වහන්සේ ත් සිවුර රඳා අතට හැර ගෙන බලා සිවුරෙහි පෑය බලවත් හෙයින් ලෝභ යත් බලවත් ව පසු ව වළඳිමී සිතා සිවුර පත් කොට තබා ලා එ දවස් රෑ ම මිය ගොසින් සිවුරෙහි හිණි කුණුව උපන්දෑ ය. නං උපාසිකාවෝ ත් තෙරුන් වහන්සේ මළ නියාව අසා ගණයට ගොසින් හැඬුය. වහන්දෑ ද උන් වහන්සේ ආදාහන කරවා ලා ගිලන් තැනක් නැති බැවින් බෙදා ගන්නා ලෙසට පෙනී තුබූ සිවුර ගෙන්වූ සේක.
ඒ හිණි කුණානෝ ත් ‘මේ වහන්දෑ මාගේ සිවුර බෙදන සේ කැ’යි තමන්ගේ බසින් හඬා දොඩා ගෙන සිවුරේ ඇවිදිති. බුදුහු ගඳ කිළියේ වැඩහිඳ ම දිව කනින් හිණිකුණා හඬන හඬ අසා අනඳ මහ තෙරුන් වහන්සේ බණවා ලා ‘අනඳයෙනි, තිස්සයන්ගේ සිවුර නොබෙදා සතියක් තබා පියන්ට කියව”යි වදාළ සේක. ඔබත් එ ලෙස ම කැරවූ සේක. හිණි කුණානන්ට ආයු සත් දවසකට ම හෙයින් හිණි කුණානෝ මිය තුසී දෙව් ලොව උපන්හ.
බුදුහු ත් අට වෙනි දවස් සම්මුඛ වූ තැනක් ඒ සිවුර බෙදාගන්ට විධාන කළ සේක. වහන්දෑ ත් සිවුරු දුර්‍වල නමකට හැම තැන්ගේ අනුමතින් පමුණුවා පී සේක. වහන්දෑ ද මළ සත් දවසක් තබවා පියා අට වැනි දවස් බෙදා ගන්ට බුදුන් විධාන කරන්ට කාරණය දත නොහී කාරණ කිම්දෝ හෝ’යි කථාව ඉපැදවූ සේක.
බුදුහු ඒ අසා “මහණෙනි, තිස්සයෝ සිවුරෙහි කළ ලෝභයෙන් බාධා නැති ව තනතුරක් ලබන කෙනකුන් මඳ වැරැද්දකට ලබන යන්තම් විග්‍රහයක් සේ හිණි කුණු ව ඉපැද තොප හැම ඒ සිවුර බෙදන්ට වදිනා ම ‘මා සන්තක ය උදුරති’ යි හඬා ගෙන ඈත මෑත දිවෙයි. ඉදින් තෙපි සිවුර බෙදා ගත්තු නම් කෙරෙහි සැටී නරකයේ උපද්දි. එ නිසා එ දවස් බෙදීමට බාධා කෙළෙමි. දැන් මිය ගොසින් තුසී දෙව් ලොව උපන. සිවුර බෙදා ගන්ට මා කීවේ ඉනැ’යි වදාරා බණ වදාරන සේක්-‘මහණෙනි, යම් සේ යකඩින් ඇති වූ මළ එ ම යකඩ කා නසා ද, එ පරිද්දෙන් ලෝභයත් යම් කෙනකුන්ගේ සන්තානයෙහි ඇති වී නම් ම ලෝභ ය සත්‍වයන් සතර අපායට පමුණුවයි. අනික් පමුණුවන කෙනෙක් නැතැ’ යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙනා නිවන් දුටහ.
එ හෙයින් සත් පුරුෂයන් විසින් ලෝභ ය හරනට උත්සාහ කටයුතු.
-
නවාම-නඩාව, ↑