තව ද ක්‍රම ක්‍රමයෙන් සිද්ධ වූ කුසලයෙහි ත් විපාකයෙහි අඩු නැති නියාව හඟවන්ට එක්තරා බ්‍රාහ්මණයාන කෙනකුන්ගේ වස්තුව දක්වමු.
කෙ සේ යත් -
ඒ බමුණනෝ එක් දවසක් උදාසන ම නික්ම වහන්දෑ සිවුරු වළඳිනා නියාව බල බලා සිටියෝ ය. ඒ සිවුරු වළඳනා තැන ත් තණ වසා පියා තිබෙයි. එක් නමක් - සිවුරු වළඳනා ගමනේ තණෙයි ගෑවි ලා පින්නෙන් සිවුරු තෙමිණ. බමුණානෝ ඒ දැක දෙවන දවස් හුදැල්ලක් ගෙනවුත් එ තැන කළ විටක් සා කොට සැස ඉදි කළහ. දෙ වන දවස් එ තැනට අවුත් සිවුරු වළඳනා එක් නමකගේ සිවුරු කන බිම ගෑවී පස් ගෑවෙන්නා දැක වැලි ගෙනවුත් ලා ලූ ය. එක් දවසක් පෙරවරු අවු තදව සිවුරු වළඳනා වහන්දෑගේ ඇඟින් ඩා වැගිරෙන්ට වන. ඒ දැක මඬුවක් ලවා ලූය. නැවත දවසක් පෙරවරු වැස්සක් වැස වහන්දෑ තෙමී ගියා දැක එ තැන ගෙයකු ත් කරවා ලා පූජා කොට ගේ පිළිගන්වනු නිසා බුදුපාමොක් සඟනට ආරාධනා කොටලා ගෙය ඇතුළෙත් පිටතත් වඩා හිඳුවා ලා දන් දී වළඳා අන්තයෙහි බුදුන්ට බණට ආරාධනා කොට ලා තමන් එ තැන තණ හල තැන් පටන් සියලු පවත් ම දැන්වූහ.
බුදුහුත් උන්ගේ බස් අසා බමුණානෙනි, නුවණැත්තෝ මඳින් මඳින් වුව ත් පින් කොට බොහෝ කෙරෙතී’ වදාරා ‘බමුණානෙනි, යම් සේ බඩාල්ලු රත්රන් මේ වර කරන කල එක වර කළ ගිනි වරින් ම රිදී භාග ය දවා කසළ හැර කර්‍මක්‍ෂම කට නොහෙත් ද නො එක් වර කොට කර්‍ම ක්‍ෂම කිරීමෙන් ඔටුනු ආදී නො එක් ආභරණ කෙරෙත් ද, එ පරිද්දෙන් නුවණැත්තෝ මඳින් මඳින් වුවත් නො එක් වර පින් කරන්නාහු කෙලෙස් කිලුටු පින් නමැති ගින්නෙන් දවා හැර සිත් නමැති ඝන රන් ලොවී ලොවුතුරා ගුණ නමැති පළඳනා කිරීමට තරම් කෙරෙතී වදාළ සේක. දේශනා කෙළවර බමුණානෝ ක්‍රම ක්‍රමයෙන් පින් කළා සේ ම ක්‍රම ක්‍රමයෙන් මාර්ග ඵල ලබන්නාහු පළමුකොට සෝවාන් වූහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් බමුණානන් ආදි තණ කසළ හළා සේ ම තදඞ්ග වශයෙන් කෙලෙසුන් නසා පසු ව වැලි ලා ධූලි පැටි කළා සේ ම විකඹීම් වශයෙන් කෙලෙසුන් නසා පසුව ගෙය කරවා බිම් භිත්තිවල සුණුවම් කරවා සියලු ලෙසින් ම ධූලි නැති කළා සේම සමුච්ඡෙද වශයෙන් කෙලෙසුන් නසා මාර්ගාධිගම ඵලාධිගම කටයුතු.
________