193. ගෙරි මරා කන එකකුගේ පුතකු ගේ වස්තුව

star_outline

තව ද කළ පාප ය වැනි වූ ම අනිෂ්ට විපාක දක්වන්ට ගෙරි මරා කන එකකුගේ පුතකුගේ වස්තුව කියමු.

කෙසේද යත් -

සැවැත් නුවර ගෙරි මරා කන එකෙක් ගෙරි සරක් මරා ගෙන තුල් තුල් මස් පිසවා පියා අඹු දරුවන් හා සමග වැද හිඳ තෙමේ ත් කයි. අධික දෙයක් මිලයට ත් විකුණෙයි. මෙ තෙමේ මෙ ලෙසින් පස් පනස් හවුරුද්දක් මුළුල්ලෙහි ගෙරි සරක් මරා කා දවස් යවා ගන්නේ ළඟ විහාරයෙහි වැඩ හිඳිනා බුදුන්ට වේවයි වහන්දෑට වේ ව යි එක දවසෙක ත් බත් සැන්දක් පමණ වේව යි හඹු සාළුවක් පමණ වේව යි නුදුන් විරූ ය. තෙමේ කෙතෙක් මාළු ඇත ත් දඩ මසක් කුඩ මසු කෙනෙකුන් නැති ව නො කයි.

ඒ එක් දවසක් දාවල් දවස මුළුල්ලෙහි දඬ මස් විකුට පියා තමන්ට පිසන පිණිස මස් කඩක් දී ලා නාන්ට ගියේ ය. උන් නාන්ට යා දී උන්ගේ යාළුවාණ කෙනෙක් උන්ගේ ගෙට අවුත් ‘අපගේ ගෙට අමුත්තාණ කෙනෙක් අවු ය. අමුතු බතක් දෙන්ට මාළු නැත. විකුණන්ට තුබූ දඩ මසෙක් ඇත් නම් දෙව’යි කියා උන්ගේ අඹුවන්ට කිවු ය. ‘විකිණි මසෙක් නැත. මුඹගේ යාළුවාණෝ රනු ත් වුවමනා හෙයින් ගෙය නිපස් නොවන විචරට ත් නොතබා විකොට පියාණන්ට ගියෝ ය’යි කිවුය. ‘එසේ කියන්ට නො කැමැත්තේ ය. ගෙය එසේම නිපස්ද? සුඟක් වුවත් දෙන්ට වුව මැනවැ’යි කිවුය. මුඹගේ යාළුවාණන්ට රෑට පිසන්ට තුබූ දඩ මස් සුඟක් විනා නැතැ’යි කිවු ය. ‘ඒ වුව ත් දෙන්ට වුව මැනව’යි කී කල්හි ‘දඩ මසක් නැති ව බත් නොකත් දෙන්ට බැරි’ය යි කිවු ය. එ සේ බැරි ය, බැරි ය කීව ත් තුමූ ම ගෙ වැද ලා මස් හැර ගෙන ගියෝ ය. ගෙරි මරා කන්නෝත් නා පියා අවුත් බත් කන්ට හුන්නෝ අඹුව ත් බත් ලා ලා පලා කොළත් ලා ලූ කල්හි පිසන්ට දුන් දඩ මස් කොයි දැ’යි විචාරා ‘නැතැ’යි කී කල්හි ‘නැති වන්ට කාරණ කිම්දැ’යි කිවු ය.

මුඹගේ යාලුවාණ කෙනෙක් අමුත්තාණ කෙනකුන් ආව යි කියා ලා විකිණි දඩ මස් විචාරා අවුත් රෑට පිසන්ට දීලා ගිය දඩ මස් මුත් නැතැ’ යි ඒ දෙන්ට බැරි යයි කීවත් බලයෙන් ගෙට වැද ලා තුමූ ම හැර ගෙන ගියෝ ය’යි කිවුය. ‘මම දඩ මස් නැති ව නො කමි. ගොසින් ගෙනව’යි කිවු ය. ‛උන් හැර ගෙන ගිය දෙය ගෙනෙන්ට පිළිවන් ද? අදට කා පුව මැනවැ’යි කිවු ය. එ සේ මම් නො කමි’ කියා ලා කන්ට ලූ බත් ඉවත් කරවා පියා- ගෙට පිටි පස්සේ ගොනෙක් සිටියේ ය. යකඩක් හැර ගෙන ඌ කරා ගොසින් ඌගේ දිව මුලට බා කපා හැර ගෙන ගොසින් පිසන්ට කල් යන හෙයින් අඟුරේ ලා පලවා බත් මත්තේ තබා ගෙන හිඳ බත් පිඬක් කට තබා අරින් මස් සුඟකුත් කට තිබී ය. ඒ ඇසිල්ලෙහි මදිව මුලදීම කැඩී ගොසින් බත් මණ්ඩය පිට ම හී කර්‍ම ය වැනි වූ ම අනිෂ්ට විපාක ය ලද. ඒ ගොනා ද කටින් ලේ වගුරුව වගුරුවා ඇතුළු ගෙට වැද ලා හඬා ඇවිද්දි. ඒ වේලාට ගෙරි මැරුවාගේ පුතා ද පියා ළඟ සිටියේ ය. මෑණියෝ ‘පුත තෙල කටින් ලේ වගුරුව වගුරුවා හඬා ඇවිදිනා ගොනා දුටු වා ද? තුලූ විඳිනා දුක් තොපට ත් පැමිණියේ වී නම් නපුර. තෙපි ජීවත් වවු නම් මාත් නො බලා කැමති තැනකට යව’යි කීවු ය. උයි ත් මරණ භයින් තැති ගෙන මෑණියන් වැඳ ලා තක්සලා නුවරට ගියෝ ය. ගෙරි මරුවා ද ගොනා පරිද්දෙන් ගෙය මුළුල්ලෙහි හඬා ඇවිද මිය ගොසින් අවීචියේ උපන. ගොනා ත් මෙළේ ය.

ගෙරි මරුවාගේ පුතා ත් තක්සලා නුවරට ගොසින් බඩාල් කර්‍මාන්ත උගත. උන්ගේ ඇදුරු බඬාලාණෝ කම්මල සිට ගමට යන්නෝ මෙවෙනි පළඳනාවක් කොට ලව යි කියා ලා කම්හල රඳවා ගියහ. උයි ත් කියා ලූ ලෙස පලඳනාව කළහ. ආචාරි අවුත් පලඳනාව දැක ‘මූ කොයි ගියෝ වත් ජීවත්විය හෙති. කර්මාන්තය යහපතැ’යි තමන්ගේ විය පැමිණි දුවණි කෙනකුන් සරණ පාවා දුන්හ. බඩාල් දුවණියෝ ද උන්ට දාව දරුවන් බුදක් ලත්හ. ඒ දරුවෝ ද පියාණන් අතින් බඩාල් සිල්ප ඉගෙන පසුව කලක දී සැවත් නුවරට ගොසින් එහි ගෙ දොර ඇතිව වසන්නෝ සැදෑ සිත් ඇති වූහ. උන්ගේ පියාණෝ ද තක්සලා නුවර රඳා හිඳිනෝ පිනක් කොට පිනින් මූකුරා ගැන්මක් නූවත් වයසින් මූකුරා ගොසින් මාලු වූහ. උන්ගේ දරුවෝ පියාණන් දුර්‍වල හෙයින් තමන් ළඟට ගෙන්වා ගෙන අන්තිම අවස්ථාවෙහි ආසන්නකර්‍ම කොට පියාණන් නමින් දන් දෙම්හ’යි බුදු පාමොක් සඟනට ආරාධනා කැරවූහ. ආරාධනා කරවා ලා දෙවන දවස් බුදු පාමොක් වහන්දෑ ගෙයි වඩා හිඳුවා ලා සකස් කොට වළඳවා ලා වළඳා අන්තයෙහි බුදුන්ට ‘ස්වාමීනි, මේ දන ජීවත් ව හුන් අපගේ පියාණන්දෑ නමින් දුනුම්හ. උන්දෑට බණ වදාළ යහපතැ’යි කිවු ය.

බුදුහු ත් උන් බණවා ලා ‘උපාසකයෙනි, තොපි මාලු ව ගියව ඇඟත් පඬුවන් පෑ ව ගොසින් විළික්සුණු පතක් වැනි වුව. පරලොව යන ගමනට පින් නමැති සාලක් බතකුත් සපයන්ට ත් නො වී ය’යි වදාරා ලා බණ වදාරන සේක්. උපාසකයෙනි, තොපි දලුවේ පටන් ක්‍රම ක්‍රමයෙන් මූකුරා විළික්ස බිම් හුණු පරඬල් පතක් මෙන් බාල අවස්ථාවේ පටන් ක්‍රම ක්‍රමයෙන් මූකුරා දැන් මාලු වුව. විළික්සුණු පත හෙන්ට අසන්න වූවා සේ‍ මරණත් ආසන්න ව සිටියේ ය. තව ද දුර බෑර ගමන් යන්නවුන්ට සැපයූ බතක් සාලක් නැත්තා සේ පරලෝ යන්නා වූ තොපට පින් නමැති මාර්ගෝපකරණ ත් නැත. එ සේ වූ තෙපි මුහුද නැව් නට වුන් දිවයින් සොයන්නා සේ කුසල් නමැති පිහිටක් කොට ගනුව. කොට ගන්නා පිහිටට වහ වහා වීර්‍ය්‍ය කරව. කරන වීර්‍ය්‍යය ත් සමර්ථ අවස්ථාවෙහි ම කිරීමෙන් නුවණැති වත් වව. වඩනා ලද වීර්‍ය්‍යයෙන් රාගාදී වූ සිත් පිරිසිදු ව නිවන් සාදා ගනුව’යි වදාළ සේක.

දේශනා කෙළවර මාලු උපාසකයෝ සෝවාන් වූහ. තව ත් බොහෝ දෙනාට මේ දේශනාව සප්‍රයෝජන වි ය. දෙවන දවසු ත් බුදුන්ට දන් දෙවා ලා වළඳා අන්තයෙහි මාලු උපාසකයන්ට බණ වදාරන්ට බුදුන්ට ආරාධනා කළහ. බුදුහු ත් උන්ට බණ වදාරන සේක්- ‘හෙම්බා තොපි ගෙවී ගොසින් නිමන්ට ආසන්න වූ ආයු ඇත්තව’ ආදී වයස ත් මධ්‍යම වයස ත් නිමා ගොසින් කෙළවර වයසත් නිමන්ට ආසන්නය එහෙයින් මියන්ට ආසන්නව සිටියව. යම්සේ ගමන් යන්නාහු අතුරු මඟ දී වුවත් කළමනා දෙය කෙරෙමින් රඳා හිඳිත් ද පරලොවට යන්නවුන්ට එ සේ නැත. මුඹින් මුඹින් මළ විට ම පර ලොවට පැමිණෙත් මුත් දන් පින් නිසා අතුරේ රැඳීමෙක් කවුරුන්ට ත් නැත. ඒ හැම විතරට ත් මිය පරලොව යන තොපට නිවන් පුරවදනා තෙක් ජීවත් වන ලෙසට පින් නමැති බත් සාලුත් සසර කතරට සපයා ගත් දෙයෙක් නැත. එ සේ වූ තොපි සසර නමැති මහමුහුදින් නිවන් පර තෙරට නැඟී යන්ට වීර්‍ය්‍ය නමැති කුඹක් ඇති නුවණ නමැති රුවල් ඇති, පින් නමැති නැවක් ඉදි කරව. එ ලෙස කොට ජාති ජරාදී වූ දියෙන් පිරුණු සසර මහ මුහුදින් එතර වව’යි වදාළ සේක. මහලු උපාසකයෝ එ දවස් අනගැමි වූහ. සෙසු බොහෝ දෙනාට ත් මේ දේශනාව සප්‍රයෝජන වි ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් සත් පුරුෂොපාශ්‍ර ය කොට ගෙරි මැරුවාණන්ගේ පුතණුවන් තමන් කොට ගත් පිනක් නැතත් සත් පුරුෂ වූ දරුවන්ගේ සමවායෙන් බුදුන් කරා පැමිණ නිවන් දුටුවා සේ ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කටයුතු.